3. ගුත්තිල ජාතකය (243)
සත්තතන්තිං සුමධුරං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. ඒ කාලයේ භික්ෂූහු දෙව්දත් තෙරුන්ට ඇවැත්නි, දේවදත්තයිනි! සම්මා සම්බුදු රජාණන් වහන්සේ නුඹවහන්සේගේ ගුරුවරයාය. නුඹ උන්වහන්සේ නිසා ත්රිපිටකය ඉගෙන ගත්තෙහි, ධ්යාන හතර උපදවා ගත්තෙහි, ගුරුවරයාගේ සතුරෙකු වීම නම් යුතු නොවේ යයි කීහ. එවිට දේවදත්ත, ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයෝ මට ගුරුවරයා වන්නේ කෙසේද? මා විසින් මගේ උත්සාහයෙන්ම තුන්පිටකය ඉගෙන ගන්නා ලදි. ධ්යාන සතර උපදවා ගන්නා ලදීයයි කියමින් ගුරුවරයා ප්රතික්ෂේප කළේය. භික්ෂූන් වහන්සේලා ඒ ගැන දම්සභාවෙහිදී ඇවැත්නි! දෙව්දත් තෙරුන් ගුරුවරයා ප්රතික්ෂේපකොට බුදුරජාණන් වහන්සේට සතුරු වී මහා විනාශයට පත්වීයැයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එතනට අවුත් මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි, දෙව්දත් ගුරුවරයා ප්රතික්ෂේප කොට මට සතුරු වූයේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ විනාශයට පත්වූයේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගාන්ධර්ව කුලයෙහි උපන් සේක. ඔහුට ගුත්තිල කුමාරයා යැයි නම් තැබූහ. ඔහු වැඩිවියට පත්ව ගාන්ධර්ව ශිල්පයෙහි නිමාවට පත්ව ගුත්තිල ගාන්ධර්වයා නමින් මුළු දඹදිවෙහි ප්රධාන ගාන්ධර්වයා විය. ඔහු බිරිඳක් පෝෂණය නොකර අන්ධ මවුපියන් පෝෂණය කරයි. එකල්හි බරණැස් නුවර වැසි වෙළෙන්දෝ වෙළෙඳාම පිණිස උදේනි නුවරට ගොස් උත්සවය දැනුම් දුන් කල්හි සම්මාදම්කොට බොහෝ මල්, සුවඳ, විලවුන්ද, කන බොන දෑද රැගෙන සෙල්ලම් කරන ස්ථානයේ රැස්ව මුදල් දී එක් ගාන්ධර්වයෙකු ගෙනඑවයි කීවාහුය. ඒ කාලයෙහි උදේනි නුවර මූසිල ජ්යෙෂ්ඨ ගාන්ධර්වයා වෙයි. ඔවුහු ඔහු (මූසිල) කැඳවාගෙන ගොස් තමන් වෙනුවෙන් වීණා වාදනය කරවූහ.
මූසිල වීණාවාදකයාද වීණාව උත්තම සැදුමෙන් සාදා වාදනය කළේය. ඒ වෙළඳුන්ට ගුත්තිල ගාන්ධර්වයාගේ වීණා වාදනයෙහි ඇති පළපුරුද්ද නිසා මූසිලයාගේ වාදනය බටපතුරක් පහුරුගානවා වැනියැයි වැටහුනේය. එකෙක්වත් කිසිවක් නොකීවේය. ඉක්බිති ඔවුහු සතුටට පත්වූ බවක් නොදැක්වුණහ. මූසිලයා ඔවුන් සතුටු වූ ආකාරයක් නොදක්වන කල්හි ඉතා රළුකොට මම ගායනා කරමි. (කාරණය එයයයි) සිතමින් (වීණාව) මැදුම් සැදුමෙන් සාදා වාදනය කළේය. ඔවුහු එවිටත් මධ්යස්ථ වූහ. ඉක්බිති මූසිලයා මොවුන් කිසිවක් නොදනිතියි සිතා තමනුත් නොදත්තෙකු මෙන් වී තත් ලිහිල්කොට වාදනය කළේය. ඔවුහු එවිටත් කිසිවක් නොකීහ. ඉක්බිති මූසිලයා, එම්බා වෙළෙන්දනි! මා වීණා වාදනය කරනවිට කුමක් නිසා තොප සතුටු නොවන්නහුදැයි ඇසීය. ඔබ වීණා වාදනය කළෙහිද? මොහු වීණාව සකස් කරගනිතියි අපි කල්පනා කළෙමුයි කීහ. නුඹලා මට වඩා උතුම් ආචාර්යවරයෙකු ගැන දනිව්ද? නැතිනම් නොදන්නා කමින් සතුටු නොවව්දැයි ඇසීය. වෙළෙන්දෝ බරණැස් නුවර ගුත්තිල ගාන්ධර්වයාගේ වීණා හඬ අසා ඇති අයට නම් ඔබේ වීණා හඬ ස්ත්රීන් දරුවන් නළවන හඬ වැනියයි කීහ. එසේනම් තොප විසින් දුන් මුදල ආපසු බාරගනිව්. මට ඒවායින් ප්රයෝජනයක් නැත. එහෙත් බරණැසට යනවිට මාත් රැගෙන යන්නැයි කීය. ඒ වෙළෙන්දෝ යහපතැයි පිළිගෙන ආපසු යන ගමන් ඔහුද රැගෙන බරණැසට ගොස් ඔහුට මෙය ගුත්තිල පඬිතුමා වාසය කරන ස්ථානයයි කියා තම තමන්ගේ ගෙවල්වලට ගියාහුය.
මූසිලයා බෝසතාණන් වහන්සේගේ ගෙට පිවිස, බෝසතාණන් වහන්සේගේ එල්ලා තිබුණු උසස් වීණාව දැක එය රැගෙන වාදනය කළේය. ඉක්බිති බෝසතාණන් වහන්සේගේ මව්පියන් අන්ධ බැවින් ඔහු නොදැක මීයන් වීණාව කතියි සිතා සූ සූ මීයන් කතියි කීවාහුය. ඒ අවස්ථාවේදී මූසිල වීණාව තබා බෝසතාණන් වහන්සේගේ මව්පියන්ට වැඳ තොපි කොහි සිට ආවෙහිදැයි ඇසූ කල ඇදුරුතුමා ළඟ ශිල්ප ඉගෙනීම පිණිස උදේනි නුවර සිට ආවෙමියි කීවේය. (මව්පියන්) යහපතැයි කී කල්හි ගුරුතුමා කොහිදැයි විමසා දරුව (ඔහු) බැහැරට ගියේය. අද එන්නේය (යන මේ පිළිතුර) අසා එහිම හිඳ ආවා වූ බෝධිසත්ත්වයන් දැක උන්වහන්සේ සමග කරන ලද පිළිසඳර කතා ඇත්තේ තමන් ආ කාරණය දැන්වීය. බෝසතාණන් වහන්සේ දේහ ලක්ෂණ විද්යාව දන්නෙකි. උන්වහන්සේ ඔහුගේ අසත්පුරුෂ බව දැන, දරුව! යව, ඔබට ශිල්ප නැතැයි ප්රතික්ෂේප කළහ. හෙතෙම බෝසතාණන් වහන්සේගේ මව්පියන්ගේ පා අල්ලා (වැඳ) උපකාර කරමින් ඔවුන් සතුටුකොට (පුතා ලවා) මට ශිල්ප ලබා දෙවන්නැයි ඉල්ලීය. බෝධිසත්ත්වයන් වහන්සේ මවුපියන් නැවත නැවතත් කියද්දී එය නොසලකා හැරීමට නොහැකි වූයේ ශිල්ප දුන්හ. ඔහු බෝසතාණන් වහන්සේ සමගම රජ ගෙදරට යයි. රජතුමා ඔහු දැක ගුරුතුමනි! මොහු කවරක්දැයි විචාළේය. මහරජතුමනි, ඒ මගේ අතවැසියෙකියි කීහ. හෙතෙම ක්රමයෙන් රජතුමාගේ විශ්වාසවන්තයෙක් විය. බෝසතාණන් වහන්සේ ගුරු මුෂ්ඨි නොතබා තමන් දන්නා ක්රමයටම සියලු ශිල්ප උගන්වා, දරුව! ඔබේ ශිල්පය අවසාන යැයි කීහ.