2. සුනඛ ජාතකය (242)
බාලො වතායං සුනඛො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් අම්බල කොට්ඨික නම් ආසන ශාලාව අසල බත් අනුභව කරන බල්ලෙකු අරබයා වදාළ සේක. ඒ බලුපැටියා උපන් කාලයේ (ආසන සාලාවට) පැන් ගෙනයන්නෝ ඌ රැගෙන විත් එහිදී පෝෂණය කළාහුය. ඒ සුනඛයා පසුකලෙක එහි බත් අනුභව කරමින් මහත් ශරීර ඇත්තෙක් විය. ඉක්බිති එක්දිනක් එක්තරා ගම්වැසි පුරුෂයෙක් ඒ ස්ථානයට පැමිණියේ සුනඛයා දැක පැන් ගෙන එන්නන්ට උතුරු සළුවද කහවණුවක්ද දී හම්පටියකින් බැඳ ඌ රැගෙන ගියේය. ඔහු (ඌ) රැගෙන යද්දී නොබිරුවේය. දෙන දෙන දේ කමින් ඔහු පසුපස ගියේය. ඉක්බිති ඒ පුරුෂයා මේ බල්ලා දැන් මට ප්රිය කරතියි (ආදරය කරයි) සිතා සම්පටින් නිදහස් කළේය. ඒ සුනඛයා මුදාහළ මොහොතෙහිම එක පිම්මේ ආසන ශාලාවලටම ගියේය. භික්ෂූහු ඒ දැක ඌ විසින් කළ ක්රියාව දැක සවස් කාලයේ දම්සභාවෙහිදී ඇවැත්නි! ආසන ශාලාවෙහි සිටි බල්ලා බැම්මෙන් මිදීමේ දක්ෂයෙක් වී මුදාහළ මොහොතෙහිම නැවත ආවේයයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමකර, මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! ඒ සුනඛයා බන්ධයෙන් මිදීමේ දක්ෂයෙකු වූයේ දැන් පමණක් නොවේ. පෙරත් දක්ෂයෙක් වී යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසී රට එක්තරා මහා සම්පත් ඇති කුලයක ඉපිද වැඩිවියට පත්ව ගෘහවාසයට පත්වූහ. එකල බරණැස් නුවර එක්තරා මිනිසෙකුට බල්ලෙක් සිටියේය. එ් සුනඛයා බත්පිඩු ලබමින් මහත් සිරුර ඇත්තේ විය. ඉක්බිති එක් ගම්වැසියෙක් බරණැසට පැමිණියේ ඒ සුනඛයා දැක අයිතිකරුට උතුරු සළුවක් හා කහවනුවක් දී බල්ලා ලබාගෙන හම්පටියකින් ඌ බැඳගෙන පටි කෙළවර අල්ලාගෙන යන්නේ කැලෑවට ඇතුල්වන තැනදී එක් ශාලාවකට පිවිස සුනඛයා බැඳ ලෑල්ලක වැතිරී නිදා ගත්තේය. එකල බෝසතාණන් වහන්සේ කිසියම් කරුණක් සදහා කැලයට පිවිසෙමින් හම්පටින් බැඳ සිටි ඒ බල්ලා දැක
බාලො වතායං සුනඛො යො වරත්තං න ඛාදති,
බන්ධනාච පමුඤ්චෙය්ය අසිතොච ඝරං චජෙ
බන්ධනාච පමුඤ්චෙය්ය අසිතොච ඝරං චජෙ
යන පළමු ගාථාව කීහ.
වරපට නොකන මේ සුනඛයා ඒකාන්තයෙන් මෝඩය. බන්ධනයෙහි මිදුනේ සතුටින් ගෙට යන්නේය.
එහි, පමුඤ්චෙය්ය යනු මුදා හරින්නේය. මෙයම පාඨයයි. අසිතොච ඝරං චජෙ යනු ආහාර ඇත්තෙක්ව තෘප්තියට පත්ව, හොඳහිත ඇතිව තමන්ගේ වාසස්ථානයට යන්නේය.
ඒ අසා සුනඛයා -
අට්ඨිතං මෙ වනස්මිං මෙ අථො මෙ හදයෙ කතං,
කාලඤ්ච පතිකංඛාමි යාව පස්සුපතු ජනො
කාලඤ්ච පතිකංඛාමි යාව පස්සුපතු ජනො
යන දෙවන ගාථාව කීවේය.
තොප කියන දැය මා විසින් දැඩිව සිතට ගන්නා ලදි. මගේ සිතෙහිද ඒ අදහස ඇත. (මා විසින්) මගේ ද ඔබේද අදහස හදවතෙහි (තැන්පත්) කරන ලදි. පලා යන්නට නිසි කල් බලමි. මේ ජන තෙමේ නිද්රෝපගත වේවා!
එහි, අට්ඨිතං වෙ වනස්මිං මෙ යනු තෙපි කියන දෙය මා විසින් දැඩි ලෙස සිතට ගන්නා ලද්දේමය. මගේ සිතෙහි ද ඒ අදහසම ඇත. අථො මෙ හදයෙ කතං යනු ඉක්බිති මාගේද තොපගේද කීම හදවතෙහි (සිතෙහි) තැන්පත් කරන ලද්දේමය. කාලඤ්චපතිකංඛාමි යනු කාලය උදාවනතුරු බලා සිටිමි. යාව පස්සුපතූ ජනො යනු මහජනයා නිදනතුරු, නින්දට බැසගන්නා තුරු මම බලාපොරොත්තුවෙන් සිටිමි. අනිත් අතට, (මිනිසුන් නින්දට යාමට පෙර මා වරපට කන්නට ගියොත්) මේ බල්ලා පලායතියි රාවයක් ඇති වුවහොත් (එය මගේ අදහසට බාධාවකි) එහෙයින් රාත්රී භාගයෙහි සියලුදෙනාම නිදිගත් කල්හි සම්පටිය කා පලා යන්නෙමියි කීහ. ඌ මෙසේ කියා මහජනයා නිදිගත් කල හම්පටිය කා සතුටු සිතින් තම ස්වාමියාගේ නිවසටම ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා සුනඛයා අදත් එම සුනඛයාමය. නුවණ ඇති පුරුෂයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
3. ගුත්තිල ජාතකය (243)
සත්තතන්තිං සුමධුරං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. ඒ කාලයේ භික්ෂූහු දෙව්දත් තෙරුන්ට ඇවැත්නි, දේවදත්තයිනි! සම්මා සම්බුදු රජාණන් වහන්සේ නුඹවහන්සේගේ ගුරුවරයාය. නුඹ උන්වහන්සේ නිසා ත්රිපිටකය ඉගෙන ගත්තෙහි, ධ්යාන හතර උපදවා ගත්තෙහි, ගුරුවරයාගේ සතුරෙකු වීම නම් යුතු නොවේ යයි කීහ. එවිට දේවදත්ත, ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයෝ මට ගුරුවරයා වන්නේ කෙසේද? මා විසින් මගේ උත්සාහයෙන්ම තුන්පිටකය ඉගෙන ගන්නා ලදි. ධ්යාන සතර උපදවා ගන්නා ලදීයයි කියමින් ගුරුවරයා ප්රතික්ෂේප කළේය. භික්ෂූන් වහන්සේලා ඒ ගැන දම්සභාවෙහිදී ඇවැත්නි! දෙව්දත් තෙරුන් ගුරුවරයා ප්රතික්ෂේපකොට බුදුරජාණන් වහන්සේට සතුරු වී මහා විනාශයට පත්වීයැයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එතනට අවුත් මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි, දෙව්දත් ගුරුවරයා ප්රතික්ෂේප කොට මට සතුරු වූයේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ විනාශයට පත්වූයේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගාන්ධර්ව කුලයෙහි උපන් සේක. ඔහුට ගුත්තිල කුමාරයා යැයි නම් තැබූහ. ඔහු වැඩිවියට පත්ව ගාන්ධර්ව ශිල්පයෙහි නිමාවට පත්ව ගුත්තිල ගාන්ධර්වයා නමින් මුළු දඹදිවෙහි ප්රධාන ගාන්ධර්වයා විය. ඔහු බිරිඳක් පෝෂණය නොකර අන්ධ මවුපියන් පෝෂණය කරයි. එකල්හි බරණැස් නුවර වැසි වෙළෙන්දෝ වෙළෙඳාම පිණිස උදේනි නුවරට ගොස් උත්සවය දැනුම් දුන් කල්හි සම්මාදම්කොට බොහෝ මල්, සුවඳ, විලවුන්ද, කන බොන දෑද රැගෙන සෙල්ලම් කරන ස්ථානයේ රැස්ව මුදල් දී එක් ගාන්ධර්වයෙකු ගෙනඑවයි කීවාහුය. ඒ කාලයෙහි උදේනි නුවර මූසිල ජ්යෙෂ්ඨ ගාන්ධර්වයා වෙයි. ඔවුහු ඔහු (මූසිල) කැඳවාගෙන ගොස් තමන් වෙනුවෙන් වීණා වාදනය කරවූහ.