1. සබ්බදාඨ ජාතකය (241)
සිගාලො මානත්ථද්ධො යන මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. දෙව්දත් තෙර අජාසත් රජු පහදවාගෙන උපදවන ලද ලාභසත්කාර දිගුකල් පවත්වාගෙන යාමට අසමත් විය. නාලාගිරි ඇතු මෙහෙයවූ විට සිදුවූ ප්රාතිහාර්යය (ජනයා) දුටු කාලයේ පටන් ඔහුගේ ඒ ලාභසත්කාර අතුරුදහන් විය. ඉක්බිති එක්දිනක් භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි! දෙව්දත් තෙර ලාභ සත්කාර උපදවාගෙන දිගුකල් පවත්වා ගෙනයාමට නොහැකි වී යයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කිනම් කතාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දෙව්දත් තමන්ට උපන්නා වූ ලාභසත්කාර අතුරුදහන් කර ගත්තේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ අතුරුදහන් කරගත්තේ යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරද්දී ත්රිවේදයෙහිද අටළොස් (18) ශිල්පයන්හිද පරතෙරට ගිය බෝසතාණන් වහන්සේ ඔහුගේ පෙරවි බමුණා වූහ. ඔහු පඨවීජය මන්ත්රය (පොළව ජයගැනීමේ මන්ත්රයක්) දනී. පඨවීජය මන්ත්රය යනු ආවර්ජන මන්ත්රය යයි කියනු ලැබේ. ඉක්බිති එක්දිනක් බෝසතාණන් වහන්සේ ඒ මන්ත්රය සජ්ඣායනා කරන්නෙමියි එක්තරා එළිමහන් තැනක ඇති ගල්තලාවක් මත හිඳගෙන සජ්ඣායනා (හඬ නගා කීම) කළහ. ඒ මන්ත්රය වනාහි විධි (නියමයන්) අනුගමනය නොකළ අන් කෙනෙකුට ඇසිය නොහැකිය. ඒ නිසා ඔහු එවැනි තැනක සජ්ඣායනා කරයි. ඉක්බිති ඔහු සජ්ඣායනා කරන කාලයෙහි එක් බෙනයක හුන් එක් හිවලෙක් ඒ මන්ත්රය අසාගෙන සිටීමෙන්ම ප්රගුණ කළේය. ඒ හිවලා වනාහි මේ ජීවිතයට පෙර ආත්ම භාවයේදී පඨවීජය මන්ත්රය පුහුණු කළ එක් බමුණෙක් විය. බෝසතාණන් වහන්සේ සජ්ඣායනාකොට නැගිට, ඒකාන්තයෙන් මේ මන්ත්රය මට කටපාඩම් (ප්රගුණ) යැයි කීහ. හිවලා බෙනයෙන් එලියට පැමිණ එම්බා බමුණ! මේ මන්ත්රය ඔබට වඩා මට ප්රගුණයයි කියා පලාගියේය. බෝසතාණන් වහන්සේ මේ හිවලා මහත් අකුසලයක් (පහත් දෙයක්) කරන්නේ යැයි සිතා ගනිවු, ගනිවු යයි ටිකදුරක් ලුහුබැන්දේය. හිවලා පලාගොස් කැලයට පිවිසියේය.
හිවලා ගොස් එක් හිවලියකගේ ඇඟ ටිකක් හැපුවේය. ස්වාමීනි! ඇයිදැයි කී කල්හි ඔබ මා ගැන දන්නෙහිද, නොදන්නෙහිදැයි ඇසීය. ඈ එසේය දනිමියි කියා පිළිගත්තාය. හිවලා පඨවීජය මන්ත්රය මතුරා නොයෙක් සියගණන් හිවලුන්ට අණකොට සියලුම ඇත්, අස්, සිංහ, ව්යාඝ්ර, ඌරු, මුව ආදී සිවුපාවුන් තමන් සමීපයට ළංකර ගත්තේය. රැස් කරවා සබ්බදාඨ නම් රජව එක් හිවලියක අගමෙහෙසිය කරගත්තේය. ඇතුන් දෙදෙනෙකුගේ පිටෙහි සිංහයෙක් සිටී. සිංහයාගේ පිටෙහි සබ්බදාඨ නම් හිවල් රජ හිවල් අගමෙහෙසිය සමග හිඳියි. මහත් සම්පත් විය. හිවලා මහත් සම්පතින් ප්රමාද වී මානය උපදවාගෙන බරණැස් රාජ්යය අල්ලා ගන්නෙමියි සිතා සියලු සිව්පාවුන් පිරිවරන ලද්දේ බරණැස් නුවරට නුදුරු තැනකට පැමිණියේය. සිව්පාවුන්ගේ පිරිස් ප්රමාණය දොළොස් යොදුනක් දුරට විය. හිවලා නුදුරෙහි සිටියේම මට රාජ්යය දෙව, නැතිනම් යුද්ධ හෝ කරවයි රජුට පණිවිඩ යැවීය. බරණැස් නුවරවාසීහු බියෙන් තැතිගෙන නගරයෙහි දොරටු වසාගෙන සිටියාහුය.
බෝසතාණන් වහන්සේ රජු වෙත එළඹ මහරජතුමනි, බිය නොවන්න. සබ්බදාඨික හිවලා සමග යුධ කිරීම මට බාරයි. මා හැර ඔහු සමග යුධ කිරීමට සමත් වෙනත් කෙනෙක් නම් නැත. ඔහු රජුද නගරවාසීන් ද සනසා කුමක්කොට සබ්බදාඨික මේ රාජ්යය අල්ලා ගන්නේදැයි පළමුකොට ඔහුගෙන් විචාරන්නෙමියි සිතා දොරටු අට්ටාලයට නැග, සබ්බදාඨ! කුමක්කොට මේ රාජ්යය ගන්නෙහිදැයි විචාළේය. සිංහනාද කරවා මහජනයා ශබ්දයෙන් තැති ගන්වා ගන්නෙමියි කීවේය. බෝසතාණන් වහන්සේ කළ යුත්තක් ඇතැයි දැන අට්ටාලයෙන් බැස දොළොස් යොදුන් පමණ වූ බරණැස නුවරවැසි සියලුදෙනාම කන්සිදුරු උඳු (මෑ) පිටිවලින් තවරා ගන්නැයි බෙර හැසිරවීය. මහජනයා බෙර අණ අසා යටත් පිරිසෙයින් බළලුන් දක්වාම සියලු සිව්පාවුන්ගේද, තමන්ගේද කන් සිදුරු අනුන්ගේ ශබ්දයක් අසන්නට නොහැකිවන සේ උඳුපිටිවලින් තවරා ගත්හ.