9. මෝර ජාතකය (159)
උදෙතයං චක්ඛුමා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරනසේක් එක්තරා කලකිරුණු භික්‍ෂුවක් මුල් කරගෙන දේශනා කළ සේක. භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂුව බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන ලද්දේ ඇත්තද? මහණ! නුඹ කලකිරුණෙහිදැයි කී කල්හි එසේය ස්වාමීනියි කියා කුමක් දැක දැයි විමසූවිට එක්තරා අලංකාර කොට සරසන ලද සිරුරක් ඇති ස්ත්‍රියක දැකීමෙන් යයි කීවේය. ඉක්බිති එම භික්‍ෂුව බුදුරජාණන් වහන්සේ මහණ! ස්ත්‍රිය නම් නුඹ වැන්නෙකුගේ සිත කුමක් නිසා නොකළඹන්නේද? පෙර දවස නුවණ ඇති අය පවා ස්ත්‍රීන්ගේ කටහඬ අසා සත්සියයක් අවුරුදු පුරුදු නොකළ කෙලෙස් ඉඩ ලැබුණු අවස්ථාවේදීම මතුවිය. පිරිසිදු අයත් කෙලසන්නෝය. උතුම් කීර්තිමත් අයත් අපකීර්තියට පත්වෙති. අපිරිසිදු චරිත ඇති අය ගැන කියනුම කවරේදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී, බෝසතාණන් වහන්සේ මොණර ආත්මයෙහි පිළිසිඳගෙන බිත්තර අවස්ථාවේදීම කිණිහිරි මල් කැකුලක පැහැයෙන් යුක්තව බිත්තරය බිඳ නික්මෙන්නේ දැකුම්කලු වූයේ ද පැහැදීම ඇතිකරන ස්වභාවයෙන් යුක්ත වූයේ ද පියාපත් අතර රතුවන් ඉරිවලින් බබලනසුළු වූයේද රන්වන් පැහැ ඇත්තෝ වූහ. හෙතෙම තම ජීවිතය රකින්නේ පර්වත වළලු තුනක් ඉක්මවා හතරවන වළල්ලෙහි එක්තරා දණ්ඩක හිරඤ්ඤ නම් පර්වත තලයෙහි වාසය කෙළේය. ඒ මොණරා උදෑසන පර්වතය මුදුනේ සිටිමින් හිරඋදාව බලා තමාගේ ගොදුරු (ආහාර) බිමෙහි ආරක්‍ෂා වීම පිණිස බ්‍රහ්ම මන්ත්‍රය බඳිමින් “උදෙතයං” ආදී ගාථාව කීහ.
උදෙතයං චක්ඛුමා එකරාජා,
හරිස්ස වණ්ණො පඨවිප්පභාසො,
තංතං නමස්සාමි හරිස්ස වණ්ණං පඨවිප්පභාසං,
තයජ්ජ ගුත්තා විහරෙමු දිවසන්ති.
ඇස් ඇති, එකම රජා වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙමේ නැගෙයි. එහෙයින් රන්වන් වූ, පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
එහි, උදෙති යනු පෙරදිග අහසින් උදා වෙයි. චක්ඛුමා යනු සියලු සක්වල වාසීන්ගේ අඳුර නසා ඇස් ලැබීම (පෙනීම) සිදුකරන නිසා (සූර්යයා) විසින් ඔවුන්ට දෙන ලද යම් ඇසක් ඇද්ද ඒ ඇස කරණකොට ඇස් ඇත්තා වූ. ඒකරාජා යනු සියලුම සක්වල එළිය කරන්නන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වන බැවින් ඒකරාජ නමි. හරිස්ස වණ්ණොති රන්වන් පැහැ ඇත්තේ ස්වර්ණ වර්ණය යනු අර්ථයි. පොළොව බබුළුවයි යන අර්ථයෙන් පඨවිප්පභාසො. තං තං නමස්සාමි යනු ඒ නිසා එබඳු වූ ඒ පින්වතුන් වහන්සේට නමස්කාර කරන්නෙමි. වඳින්නෙමි. තයජ්ජ ගුත්තා විහරෙමු දිවසං යනු තා විසින් අද රක්‍ෂා කරන ලද්දාහු වී මේ දවස සිව් ඉරියව්වෙන් යුතුව සැපසේ වසන්නෙමු.
මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ මේ ගාථාවෙන් හිරුට වැඳ දෙවන ගාථාවෙන් අතීතයේ පිරිනිවන්පෑ බුදුවරයන් වහන්සේලාට මෙන්ම බුදුගුණයන්ට ද නමස්කාර කරයි.
යෙ බ්‍රාහ්මණා වෙදගූ සබ්බ ධම්මෙ, තෙ මෙ නමො තෙ ච මං පාලයන්තු,
නමත්‍ථු බුද්ධානං නමත්‍ථු බොධියා, නමො විමුත්තානං නමො විමුත්තියා,
ඉමං සො පරිත්තං කත්‍වා මොරො චරති එසනාති.
සියලු (රූපාදීස්කන්ධ) ධර්මයන් සිය නැණින් දැනගත්තා වූ යම් (ක්‍ෂීණාශ්‍රව) බමුණු කෙනෙක් ඇද්ද ඔවුනට මගේ නමස්කාරය වේවා! ඒ උතුමෝ මා පාලනය කෙරෙත්වා. බුදුවරයනට මාගේ නමස්කාරය වේවා! බෝධි ඥානයටද මාගේ නමස්කාරය වේවා! අරහත් ඵල විමුක්තියෙන් විමුක්තිය ලැබූ අයටද මාගේ නමස්කාරය වේවා! (තදංගාදී) විමුක්තියටද මාගේ නමස්කාරය වේවා! ඒ මයුරයා මේ පිරිතකොට ගොදුරු සෙවීම පිණිස හැසිරේ.
එහි යෙ බ්‍රාහ්මණා යනු යමෙක් බහා තබන ලද පව් ඇත්තාහුද පිරිසිදු වූ බමුණෝ වූවාහුද වෙදගූ යනු වේදයන්ගේ පරතෙරට ගියාහු යන අර්ථයෙන් වෙදගූ නමි. වේදයන් කරණකොට ගියාහුය යන අර්ථයෙන්ද පරතෙරට වෙදගූ නමි. මෙහි වනාහි සංඛත අසංඛත ධර්ම දැනගෙන ප්‍රකටකොට ගියාහුය යන අර්ථයෙන් වෙදගූ නමි. එබැවින්ම සබ්බ ධම්මෙ යනුවෙන් කීය. සියලු ස්කන්‍ධ ආයතන ධාතු යන ධර්මයන් ස්වලක්‍ෂණ, සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් තමන්ගේ නුවණින් දැන, ප්‍රකට කොට ගියාහු ත්‍රිවිධ මාරයන්ගේ (මච්චුමාර, කිලෙසමාර, අභිසංඛාර මාර) මුදුන මැඩ දසදහසක් ලෝකධාතූන් මහත් සේ නාදකරවා බෝමැඩදී සම්බුද්ධත්වයට පැමිණ උන්වහන්සේලා මාගේ මේ නමස්කාරය පිළිගනිත්වා! තෙ මෙ නමො යනු උන්වහන්සේලා මාගේ මේ නමස්කාරය පිළිගනිත්වා! තෙ ච මං පාලයන්තු යනු මෙසේ මා විසින් නමස්කාර කරන ලද්දේ ඒ භාග්‍යවතුන් වහන්සේලා මාව පාලනය කෙරෙත්වා! ආරක්‍ෂා කරත්වා! රකිත්වා! නමත්‍ථු බුද්ධානං නමත්‍ථු බෝධියා නමො විමුත්තියා යනු මේ මාගේ නමස්කාරය අතීතයේ පිරිනිවි බුදුවරයන් වහන්සේලාට වේවා! උන්වහන්සේලාගේම සිව් මගෙහි ද සිව් ඵලයෙහි ද නුවණ නමැති බෝධිය පිණිස වේවා! එසේම රහත්ඵල විමුත්තියෙන් මිදුනා වූ උන්වහන්සේලාට වේවා! උන්වහන්සේලාගේ තදංග විමුක්ති, විෂ්කම්භන විමුක්ති, සමුච්ඡේද විමුක්ති, පටිප්පස්සද්ධි විමුක්ති, නිස්සරණ විමුක්ති යනුවෙන් යම් පස් ආකාර විමුක්තියක් වේද උන්වහන්සේලාගේ ඒ විමුක්තියට ද මගේ මේ නමස්කාරය වේවා! ඉමං සො පරිත්තං කත්‍වා මොරො චරති එසනා යනු මේ පද දෙක වනාහි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව වදාළ සේක. එහි අර්ථය මහණෙනි! ඒ මොණරා මේ පිරිත මේ ආරක්‍ෂාව කරගෙන තමන්ගේ ගොදුරුබිම මල් ගෙඩි ආදිය පිණිස නොයෙක් ආකාර සෙවීම් පිණිස හැසිරෙයි.