10. විනීලක ජාතකය (160)
එවමෙව නූන රාජානං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ බුදුකෙනෙකුගේ ස්වරූපය ගැනීම මුල් කරගෙන මේ දේශනා කළ සේක. දෙව්දත් තෙරුන් වහන්සේ ගයා ශීර්ෂයට වැඩම කළ අගසව් දෙනමට බුද්ධ විලාශය දක්වා සැතපුණු කල අගසව් දෙදෙනා වහන්සේ ධර්මදේශනා පවත්වා තමන් ඇසුරුකොට වෙසෙන භික්ෂු පිරිස (පන්සියයක්) රැගෙන වේළුවනාරාමයට ගියාහුය. එවිට බුදුරජාණන් වහන්සේ විසින් අගසව් දෙනම අමතා සාරිපුත්තයෙනි! දෙව්දත් තෙරුන් වහන්සේ තොප දැක කුමක් කළාහුදැයි විචාරණ ලද්දාහු ස්වාමීනි! ඔහු බුද්ධ ලීලාව දක්වා මහත් විනාශයට පැමිණියේ යයි දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයෙනි! දේවදත්ත තෙර මාව අනුකරණය කරන්නට ගොස් විනාශයට පත් වූයේ අද පමණක් නොවේ, පෙරත් විනාශයට පත්වූයේ යයි වදාරා තෙරුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර විදේහ රට මිථිලා නුවර වේදේහ රජු රජ කරන කල්හි බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගෙන ඉපිද වැඩිවියට පැමිණියාහු තක්සලා නුවර සියලු ශිල්ප ඉගෙන ගෙන පියාගේ ඇවෑමෙන් රාජ්යයෙහි පිහිටියහ. එකල්හි එක් රන්වන් හංස රාජයෙක් ගොදුරුබිමේදී කැවිඩියක (කාක්කියක) සමග සංවාසයෙහි යෙදුනේය. කැවිඩිය පුතෙකු (පැටවෙකු) බිහිකළාය. ඒ පැටවාට මවගේ හෝ තාත්තාගේ ස්වරූපය නොවීය. ඉක්බිති ඔහු ඉතා නිල්පැහැ වූ බැවින් ‘විනීලක’ යයි නම් තැබූහ. හංසරාජයා නිතර ගොස් පුත්රයා (පැටවා) බලයි. හංසයාට පුත් වූ අන්ය හංස පෝතකයෝ දෙදෙනෙක් සිටියාහුය. ඔවුහු තම පියා නිතර මිනිස් වාසයට යනු දැක පියාණෙනි! ඔබ කුමක් නිසා නිතර මිනිස් වාසයට යන්නෙහිදැයි ප්රශ්න කෙළේය. දරුවනි! එක් කැවිඩියක හා සංවාසයෙහි යෙදීමෙන් එක් පුත්රයෙක් උපන්නේය. ඔහුගේ නම විනීලකයි. මම ඔහු දැකීමට යමියි පිළිතුරු දුන්නේය. ඔව්හු කොතැන්හි වසත්ද? විදේහ රටේ මිථිලාවට නුදුරෙහි අසවල් නම් තැන එක්තරා තල්ගසෙක මුදුනේ වසතියි කීවේය. පියාණෙනි! මිනිස් වාසය නම් සැක සහිතය. බිය සහිතය. ඔබතුමා එහි නොයන්න. අපි ගොස් ඔහුව රැගෙන එන්නෙමුයි කියා හංස පෝතකයෝ දෙදෙනා පියා විසින් කියන ලද සලකුණු අනුව එහි ගොස් ඒ විනීලකයා එක් කුඩා ලීයක හිඳුවා හොටෙන් දඬු කෙළවර අල්ලාගෙන මිථිලා නගරය උඩින් නික්මුණාහ. ඒ අවස්ථාවෙහි වේදේහ රජතුමා සම්පූර්ණ සුදු අසුන් හතර දෙදෙනකු යෙදූ උතුම් රථයක හිඳ නගරය පැදකුණු කරයි. විනීලක ඒ සිද්ධිය දැක මෙසේ සිතුවේය. මගේත් විදේහ රජුගේත් අතර කවර වෙනසක්ද? එතුමා අසුන් හතර දෙනෙකු යෙදූ රථයක හිඳ නගරයෙහි ඔබිමොබ හැසිරෙයි. මම වනාහි හංසයන් යෙදූ රථයක (ලීයක හිඳ) හිඳ ගමන් කරමියි හෙතෙම අහසින් යමින්,
එව මෙව නූන රාජානං වෙදෙහං මිථිලග්ගහං,
අස්සා වහන්ති ආජඤ්ඤා යථා හංසා විනීලකං.
අස්සා වහන්ති ආජඤ්ඤා යථා හංසා විනීලකං.
යන පළමු ගාථාව කීවේය.
කාරණා කාරණ දන්නා වූ හංසයෝ මා උසුළන්නා සේ අශ්වයෝ විදේහයට අධිපති වූ මියුලු නුවර රජතුමා උසුළති.
එහි, එව මෙව යනු මෙසේම, නූනාති-සිතා බැලීමේ නිපාතයකි. ඒකාන්ත යන අර්ථයෙහිද සුදුසු වේ. වෙදෙහං යනු වේදේහ රටට අධිපති, මිථිලග්ගහං යනු මිථිලා ගෙය, මිථිලාවෙහි ගෙයක් කොට වසන්නේය යන අර්ථයි. ආජඤ්ඤාති - කාරණා කාරණ දන්නා, යථාහංසා විනීලකං යම්සේ මේ හංසයෝ විනීලක නම් වූ මාව උසුලත්ද එසේම (මේ අශ්වයෝ රජතුමා) උසුලති.
හංස පෝතකයෝ විනීලකගේ වචන අසා කිපී මෙහිම මොහු බිම හෙළා යන්නෙමුයි සිතාත් එසේ කළොත් පියා අපට මොනවා කියාදැයි ගැරහීමට බියෙන් පියා ළඟට පමුණුවා ඔහු විසින් කළ කී දෙය පියාට කීවාහුය. ඉක්බිති පියා ඔහුට කිපී ඇයි නුඹ මගේ පුත්රයන්ට වඩා අධිකතරද? යමෙක් මගේ පුත්රයන් යටපත් කරගෙන රථයෙහි යෙදූ අසුන් මෙන් සමාන කළාද? තමන්ගේ තරම නොදන්නෙහිය. මේ ස්ථානය ඔබට නුසුදුසුයි. තමන්ගේ මව වසන තැනටම යවයි තර්ජනය කොට
විනීල! දුග්ගං භජසි අභූමිං තාත! සෙවසි,
ගාමන්තිකානි සෙවස්සු එතං මාතාලයං තවා.
ගාමන්තිකානි සෙවස්සු එතං මාතාලයං තවා.
යන දෙවන ගාථාව කීවේය.
විනීලක! ඔබ දුර්ගය හෙවත් හිමවත ඇසුරු කරව. දරුව! නොබිම සේවනය කරව. ගම් කෙළවර සේවනය කරව. මේ අසූචි දමන ස්ථානය ඔබට සුදුසුයි.
එහි, විනීල යනු ඌට නමින් අමතයි. දුග්ගං භජසි යනු ඔවුන්ගේ විසීමෙන් ගිරිදුර්ග ඇසුරු කරහි. අභූමිං තාත සෙවසි යනු දරුව! විෂම වූ පර්වත නුඹ භූමිය නොවේ. (නුඹ) එය ඇසුරු කරහි. එයට එළඹෙහි. එතං මාතාලයං තව යනු මේ ගම කෙළවර වූ අසූචි දමන තැන්ද අමු සොහොන් ද නුඹට මව් ගෙදරයි. වාසස්ථානයයි එහි යව. මෙසේ කවුඩාට තර්ජනය කොට යවා මිථිලා නුවර අසූචි දමන ස්ථානයටම බස්සා එවයි පුතුන්ට අණ කෙළේය. ඔවුහු එසේ කළාහුය. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක.
එකල විනීලක නම් දේවදත්තය. හංස පෝතකයන් දෙදෙනා අගසව් දෙදෙනාය. පියා ආනන්දය. වේදේහ රජතුමා නම් ලොව්තුරා බුදුවූ මම ම වූයෙමි යි වදාළ සේක.
පළමුවන දළ්හ වර්ගය නිමියේය.
2. සන්ථව වර්ගය
1. ඉන්දසමානගොත්ත ජාතකය (161)
න සන්ථවං කාපුරිසෙන කයිරා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් අකීකරු භික්ෂුවක් මුල් කරගෙන වදාළ සේක. එම කථාපුවත නවවන නිපාතයෙහි ගිජ්ඣ ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට මහණ, නුඹ පෙරත් අකීකරුකමින් නුවන ඇත්තන්ගේ වචනය පිළි නොගෙන මත් ඇතාගේ පාවලින් සුනුවිසුනු කරන ලද්දේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.