8. සුහනු ජාතකය (158)
නයිදං විසමසීලෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් නොහික්මුණු භික්‍ෂූන් දෙනමක් මුල් කරගෙන දේශනා කළ සේක. එසමයෙහි දෙව්රම් වෙහෙරෙහි ද නොහික්මුණු සැඩපරුෂ සැහැසි භික්‍ෂුවක් සිටියේය. පිටිසරබද පෙදෙසකද එවැනි භික්‍ෂුවක් සිටියේය. ඉක්බිති දිනක් පිටිසරබද භික්‍ෂුව කිසියම් කටයුත්තක් සඳහා දෙව්රමට වැඩියේය. සාමණේරයන් වහන්සේලා ද ලාබාල භික්‍ෂූහු ද උන්වහන්සේගේ සැඩපරුෂ භාවය දනිත්. මේ නොහික්මුණු දෙනමගේ කෝලාහල බලන්නෙමුයි කුහුලින් ඒ භික්‍ෂුව ජේතවනවාසි කලහකාරී භික්‍ෂුවගේ පන්සලට යැවූහ. චණ්ඩ වූ දෙනම ඔවුනොවුන් දුටුගමන්ම සැසඳුනහ. ගැළපුනහ. අත්, පා, පිට පිරිමැදීම් ආදිය කළාහුය. “ඇවැත්නි, අනුන් කෙරෙහි චණ්ඩ වූ ඵරුෂ වූ සාහසික වූ චණ්ඩ භික්‍ෂූහු දෙකම ඔවුනොවුන් සමගිව සතුටින් ප්‍රියවාසයෙන් යුක්ත වූවාහුය”යි දම්සභාවෙහිද භික්‍ෂූහු කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කර මහණෙනි! මා එන්නට පළමු මෙහි කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා නොහික්මුණු භික්‍ෂු දෙදෙනා වහන්සේ ගැනයයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මේ දෙදෙනා සැඩ පරුෂ සැහැසිව සිට එක්වූ විට ඔවුනොවුන් සමගිව සතුටු වෙමින් ප්‍රියමනාප භාවයට පත් වූවාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ ඒ රජුගේ හැම කටයුත්තෙහිදීම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා වූහ. ඒ රජතුමා ස්වභාවයෙන්ම ධනයට ටිකක් ලෝබියෙකි. රජතුමාට මහාසෝණ නම් චණ්ඩ අශ්වයෙක් ඇත. ඉක්බිති උතුරු දිසාවෙහි වූ (උත්තරාපථ) අශ්ව වෙළෙන්දෝ අසුන් පන්සියයක් ගෙනාවාහුය. අශ්වයන් ගෙනා බව රජුට දැන්වූහ. එයින් පෙර වනාහි බෝධිසත්ත්වයන් වහන්සේ අසුන් මිළ නියමකොට අඩු නොකොට මුදල් ලබා දුන් සේක. රජතුමා ඔහුගෙන් වාසියක් නොමැති නිසා මැලිව අනෙක් ඇමතියෙකු කැඳවා දරුව! අසුන් මිළ නියම කරව. මිළ නියම කිරීමේදී පළමුව මහාසෝණ නම් වූ අසු යම්සේ ඒ අසුන් අතරට පිවිසෙයිද, එසේ පිටත්කර එවා අසුන් හපා කා තුවාල කරවා දුර්වල අවස්ථාවේ මුදල් අඩුකොට මිළ නියම කරන්නයි කීවේය. ඒ ඇමතියා යහපතැයි පිළිගෙන එසේ කෙළේය.
අස් වෙළෙන්දෝ නොසතුටුව ඔහු විසින් කළ ක්‍රියාව බෝසතාණන් වහන්සේට දැන්වූහ. බෝසතාණන් වහන්සේ කිම තොප නගරයේ හීලෑ නොවූ අශ්වයෙකු නැද්දැයි විචාළේය. ඇත ස්වාමීනි! සුහනු නම් හීලෑ නොවූ අශ්වයා සැඩ පරුෂය. එසේ නම් නැවත අසුන් වෙළඳාමේ එනවිට ඒ අශ්වයා රැගෙන එව. ඔවුහු යහපතැයි පොරොන්දු වී නැවත එන්නාහු ඒ නොකීකරු අශ්වයා ගෙන්වාගෙන ආවාහුය. රජතුමා අශ්ව වෙළඳුන් ආ බව අසා සීමැදුරු කවුළුව විවෘතකොට අසුන් බලා මහාසෝණ අශ්වයා අසුන් මධ්‍යය මුදා හැරියේය. අශ්ව වෙළෙන්දෝ මහාසෝණ අසු එනු දැක සුහනු නම් අසු මුදා හැරියේය. ඔවුහු ඔවුනොවුන් වෙත පැමිණ සිරුර ලෙවකමින් සිටියාහුය. රජතුමා බෝසතුන් විචාළේය. මිත්‍රය! මේ නොහික්මුණු අසුන් දෙදෙනා අනුන් සැඩපරුෂ සැහැසිව අනු අසුන් සපා කා ගිලන් බවට පමුණුවත්. එසේ වුත් මුන් දෙදෙනා ඔවුනොවුන්ගේ ශරීර ලෙවකමින් සතුටු වෙමින් සිටියාහුය. මේ කුමක් නිසාද? බෝධිසත්ත්වයන් වහන්සේ මහරජ, මොවුහු විසම ස්වභාව ඇත්තෝ නොවෙති. ඔවුහු එක ස්වභාව, සම අදහස් ඇත්තෝ වෙතියි කීය.
නයිදං විසම සීලෙන සොණෙන සුහනුස්සහ,
සුහනූපි තාදිසොයෙව යො සොණස්ස ස ගොචරො
පක්ඛන්‍දිනා පගබ්භෙන නිච්චං සන්‍දාත ඛාදිනා,
සමෙති පාපං පාපෙන සමෙති අසතා අසන්ති.
යන මේ ගාථා දෙක කී සේක.
සූහනූ නම් අශ්වයා සෝණ නම් අශ්වයා සමග ප්‍රේම කරයි. එය තමාගේ නොගැලපෙන (විෂම) ස්වභාවය නිසා නොවේ. සොණ අශ්වයාගේ හැසිරීම යම්සේද සූහනූ අශ්වයාද එසේමය.අශ්වයන් වෙත පනින ස්වභාව ඇති කායික අසංවරතා ආදියෙන් යුක්ත නිතර තමා බැඳ තබන ලණුව කන ගතියෙන් යුක්ත පව්කාර ගති ඇති තැනැත්තා සමග දුශ්ශීලකම සමාන වන්නේය. එසේම අසත්පුරුෂයා වැරදි හැසිරීමෙන් යුක්ත පුද්ගලයා සමග සමාන වන්නේය.
එහි නයිදං විසමසීලෙන සොණෙන සුහනුස්සහ යනු සුහන නම් වූ කුළු අශ්වයා සෝණ අසු සමග පෙම්කරයි යන යම් කරුණක් වේද මෙය තමාගේ විසම ස්වභාවය නිසා සිදුවන්නක් නොවේ. තමාගේ සම ස්වභාවය නිසාම සෝණ සමග පෙම්කරයි. මේ දෙදෙනාම තමතමන්ගේ අනාචාර බවෙන්ද දුසිල් බවෙන්ද සම ස්වභාව, සම අදහස් ඇත්තාහුයි. සුහනූපි තාදිසොයෙව යො සොණස්ස සගොචරො යනු සෝණ යම්සේද සුහනු ද එසේමය. සෝණ යමක් අරමුණු කරයි ද, සුහනු ද එයම අරමුණු කරයි. සෝණ අශ්වයන් අරමුණුකොට ඇත්තේ අශ්වයන් සපා කන්නේ යම්සේද සුහනු ද එසේම ය. මෙයින් ඔවුන්ගේ සමාන අරමුණු ඇති බව දක්වයි.