7. ගුණ ජාතකය (157)
යෙන කාමං පණාමෙති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරනසේක් ආනන්ද තෙරුන්ට සළු දහසක් ලැබීම අරබයා වදාළ සේක. කොසොල් රජුගේ අන්තඃපුරයෙහිද තෙරුන් වහන්සේගේ ධර්මය පුහුණු කිරීමේ පුවත මෙයට මුලින් මහාසාර ජාතකයෙහි ආයේමය. (ඒකක නිපාත, ලිත්ත වර්ගය 10, ජාතකය 2) මෙසේ තෙරුන් වහන්සේ රජුගේ අන්තඃපුරයෙහි ධර්මය පුහුණු කරන කල්හි රජතුමාට කහවනු දහසක් වටිනා පිළි දහසක් තෑගි වශයෙන් ලැබුණි. රජතුමා එයින් පිළිපන්සියයක් බිසෝවරුන් පන්සියයකට දුන්නේය. ඒ බිසෝවරු ඒ සියලු පිළි තබාගෙන සිට දෙවන දින ආනන්ද තෙරුන් වහන්සේට පූජාකොට තම තමන් විසින් පැරණි පිළි පොරවාගෙන රජතුමාගේ උදේ ආහාර ගන්නා ස්ථානයට ගියාහුය.
රජතුමා මවිසින් තොපට දහසක් අගනා පිළි දෙවන ලදි. කුමක් නිසා තොපි ඒවා නොහැඳ ආවාහුදැයි විචාළේය. දේවයන් වහන්ස! අප විසින් ඒවා තෙරුන් වහන්සේට පූජා කරන ලදි. ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඒ සියල්ලම පිළිගන්නා ලද්දේද? එසේය දේවයන් වහන්ස! සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තුන්සිවුරු අනුදැන වදාරන ලදි. ආනන්ද තෙරුන් වහන්සේ රෙදි වෙළඳාම කරන්නාහුයයි හඟිමි. උන්වහන්සේ විසින් බොහෝ පිළි ගන්නා ලදැයි තෙරුන් වහන්සේ කෙරෙහි කිපී උදේ ආහාර ගෙන විහාරයට ගොස් තෙරුන් වහන්සේගේ පන්සලට පිවිස තෙරුන් වැඳ හුන්නේ ස්වාමීනි! අපේ මාලිගාවේ බිසෝවරු නුඹවහන්සේ සමීපයෙහි බණ ඉගෙන ගනිත්ද බණ අසත්දැයි විචාළේය. එසේය මහරජ! ගතයුතු දෙයක් ඉගෙන ගනිත්, ඇසිය යුතු දෙයක් අසත්. කිම ඔවුන් බණ අසනු පමණක්ද? නොහොත් නුඹ වහන්සේට වස්ත්ර හෝ පොරෝණා දෙත්දැයි විචාළේය. මහරජ, අද දහසක් අගනා පිළි පන්සියයක් දුන්නාහුය. ස්වාමීනි, ඔබවහන්සේ ඒවා පිළිගත් සේක්ද? එසේය මහරජ, බුදුරජාණන් වහන්සේ විසින් තුන්සිවුරු පමණක් අනුදැන වදාරණ ලද්දේද? එසේය මහරජ, බුදුරජාණන් වහන්සේ විසින් එක් භික්ෂුවකට තුන්සිවුරු පමණක් පරිහරණයට අනුදැන වදාළ නමුත් වැඩිපුර පිළිගැනීම වළක්වා නැත. ඒ නිසා මවිසින්ද දිරාගිය සිවුරු ඇති වෙනත් භික්ෂූන්ට දීමට ඒ සළු පිළිගන්නා ලදි. ඒ භික්ෂූන් වහන්සේලා ඔබවහන්සේ වෙතින් සළු ලබාගෙන පැරණි දිරාගිය සිවුරුවලට කුමක් කරන්නාහුද? පැරණි සිවුරුවලින් උතුරුසළු සකස්කර ගන්නෝය. පැරණි උතුරුසළුවලින් කුමක් කරන්නෝද? පැරණි උතුරුසළුවලින් අඳනකඩ සකස් කරන්නෝය. පැරණි අඳනකඩවලින් කුමක් කරන්නෝද? (නිදන) ඇතිරිලි කරන්නෝය. (නිදන) ඇතිරිලිවලින් කුමක් කරන්නෝද? බුමුතුරුණු (බිමට එලන පාපිසි) කරන්නාහ. පැරණි බුමුතුරුණුවලින් කුමක් කරන්නෝද? ඒවායින් පාපිසි කරන්නාහ. පැරණි පාපිසිවලින් කුමක් කරන්නෝද? මහරජ සැදැහෙන් දෙන ලද දේවල් විනාශ කිරීමට ඉඩ නැත. ඒ පැරණි පාපිසි පිහියකින් කෑලි කපා මැටි මිශ්රකොට සෙනසුනෙහි මැටි ආලේපයට ගනිති. ස්වාමීනි! ඔබවහන්සේලාට දෙන සිවුරු පිළි පාපිස්ස දක්වා විනාශ වීමට ඉඩක් නොලැබේද? එසේය මහරජ, අපට දෙන දේවල් විනාශවීමට ඉඩක් නොලැබේ. කුමන හෝ ප්රයෝජනයකට ගතයුතු වෙයි.
රජතුමා සතුටුව සොම්නසට පත්වී රජගෙයි තබා තිබූ ඉතිරි සළු පන්සියයද ගෙන්වාගෙන තෙරුන් වහන්සේට පූජාකොට එහි ආනිසංස අසා තෙරුන්ට වැඳ පැදකුණු කොට ගියේය. තෙරුන් වහන්සේ මුලින් ලැබුණු සළු පන්සියය දිරාගිය සිවුරු ඇති භික්ෂූන්ට දුන් සේක. උන්වහන්සේ පන්සියයක් පමණ වූ එකට වාසය කරන (සද්ධි විහාරික) භික්ෂූහු සිටිති. උන්වහන්සේලා අතුරෙන් එක් ලාබාල භික්ෂුවක් තෙරුන් වහන්සේ බොහෝ උපකාර කරයි. පන්සල අමදියි. බොන පැන් පරිභෝග පැන් ගෙනවිත් තබයි. දැහැටි දඬු, මුහුණ සෝදන පැන්, නහන පැන් දෙයි. වැසිකිළිය, ගිනිහල්ගෙය, සෙනසුන් ආරක්ෂා කරයි. අත් පා වැඩීම, පිට ඉලීම ආදියද කරයි. තෙරුන් වහන්සේ පසුව ලැබුණු පිළි පන්සියයම මේ භික්ෂුව මට බොහෝ උදව් උපකාර කරයි. ඒ නිසා යුතුකමක් වශයෙන් සියල්ලම උන්වහන්සේට ම දුන් සේක. ඒ භික්ෂුව ද සියලු සළු බෙදා තමන්ගේ සම උපාධ්යායවරුන්ට දුන්නේය.