6. අලීන චිත්ත ජාතකය (156)
අලීනචිත්තං නිස්සාය යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් උත්සාහය අත්හළ භික්ෂු කෙනෙකුන් වහන්සේ නමක් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව එකොළොස්වන නිපාතයෙහි සංවර ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ භික්ෂුව වනාහි බුදුරජාණන් වහන්සේ විසින් ඇත්තද මහණ? ඔබ වීර්ය අත්හළෙහිදැයි විමසූ කල්හි එසේය ස්වාමීනි!යි කීවේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහණ! නුඹ පෙර ආත්මයක උත්සාහකොට මස් වැදැල්ලක් හා සමාන ලාබාල කුමාරයෙකුට දොළොස් යොදුනක් වූ බරණැස් නුවර රාජ්‍යය ලබා දුන්නා නේද? දැන් මෙබඳු සම්බුදු සසුනෙහි පැවිදිව උත්සාහය අත්හළේ කුමක් නිසාදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී එනුවරට ආසන්නයේ වඩු කාර්මිකයන්ගේ ගමක් විය. එහි පන්සියයක් වඩු කාර්මිකයෝ වාසය කරති. ඔවුහු නැවෙන් ජල ප්රවාහයෙන් ඉහළට (උඩුගං බලා) ගොස් කැලයෙහිදී ගෙවල් තැනීමට ගන්නා දඬුපත් කැබලිකොට එහිම තනා මහල් දෙමහල් ආදී ප්‍රභේද ඇති ගෙවල් පිළියෙලකොට කණුවේ සිට සියලු දැව ලකුණුකොට ගංඉවුරට ගෙනගොස් නැවට පටවා දියපහරට අනුව (යටිගං බලා) නගරයට ගෙනවුත් යමෙක් යම් ආකාරයේ ගෙයක් කැමති වෙත්ද ඔවුන්ට ඒ ආකාරයේ ගෙවල් තනා දී කහවණු ගෙන නැවතත් එසේ ගොස් ගෙවලට දැව ගෙන එන්නාහ. මෙසේ ඔවුන්ගේ ජීවිත ගෙවද්දී එක් කලෙක කඳවුරු බැඳ දැව කැබලි කරන්නවුන් නුදුරෙහි එක් ඇතෙක් දිරාගිය කිහිරි උලක් පෑගුවේය. ඒ උළ ඇතාගේ කකුළ තුළට පසාරුවිය. බලවත් වේදනා ඇතිවිය. කකුළ ඉදිමී සැරව හටගත්තේය. වේදනාවෙන් පීඩිත ඇතා වඩුවන් දැව කැබලි කරන හඬ අසා මේ වඩුවන් නිසා මගේ කකුළ (තුවාළය) සුවකරවා ගත හැකියයි සිතමින් තුන්පාදයෙන් ඔවුන් සමීපයට ගොස් නුදුරෙහි හොත්තේය. වඩුවෝ ඉදිමුණු කකුළ දැක ළඟට ගොස් පයෙහි උලක් ඇනී ඇති බව දැක සියුම් ආයුධයකින් උළ වටේ පාදා ලනුවක් බැඳ අදිමින් උළ ඉවත්කොට සැරව මිරිකා හැර උණුදියෙන් සෝදා සුදුසු බෙහෙත් ගල්වා නොබෝ දිනකින් තුවාළය සුව කළාහුය.
ඇතා තුවාළය සුව වී මේ වඩුවන් නිසා මා විසින් දිවි ලබන ලද්දෙමි. දැන් මා විසින් ඔවුන් උදව්වක් කරන්නට වටී යනුවෙන් සිතුවේය. ඇතා එතැන් පටන් වඩුවන් සමග ගස් ඇදගෙන යයි. ගස් අහින (සසින) අයට කඳන් පෙරළා දෙයි. වෑ පොරෝ ආදිය ළංකර දෙයි. හොඬවැලේ ඔතාගෙන කලු නූලේ කෙළවර අල්ලා ගනියි. වඩුවෝද කෑම ගන්නා අවස්ථාවේදී එකිනෙකා බත්පිඩ බැගින් පිඩු පන්සියයක් දෙති. ඒ ඇතාට හැම ආකාරයෙන්ම සුදු වූ ආජානීය නම් උසස් වර්ගයේ පුතෙක් වූ ඇත් පොව්වෙක් ඇත. ඒ නිසා ඇතාට මම දැන් මහල්ලෙක්මි. දැන් මා විසින් මේ වඩුවන්ගේ කටයුතු කිරීමට පුතා පවරා දී යන්නට වටී යන මේ අදහස ඇතිවිය. ඇතා වඩුවන් නොදන්වාම වනයට ගොස් ඇත්පැටවා කැඳවා ගෙනවුත්, මේ ඇත්පොව්වා මගේ පුතාය. තොප විසින් මගේ ජීවිතය රැකදෙන ලදි. මම නුඹලාට වෙදකම් කුලිය වශයෙන් මොහුව පවරා දෙමි. මේ ඇත්පොව්වා තොපට මෙතැන් පටන් වැඩකටයුතු කර දෙන්නේ යයි කියා, මෙතැන් පටන් පුත, මා විසින් යම් වැඩ කොටසක් කළා නම් එය නුඹ කළ යුතුයයි කියා ඇත්පොව්වාට අවවාද දී වඩුවන්ට පවරා දී තෙමේ කැළයට පිවිසියේය.
එතැන් පටන් ඇත්පොව්වා වඩුවන් කියන විදියට ක්‍රියා කරන්නේ කීකරුව සියලු කටයුතු කරයි. ඒ වඩුවෝද ඇතාව බත් පිඩු පන්සියයකින් පෝෂණය කරති. ඇත්පොව්වා වැඩ කොටස නිමවා ගඟට බැස දියකෙළි කෙළ එයි. වඩුවන්ගේ දරුවෝද ඌ සොඬ ආදියෙන් අල්ලාගෙන ජලයෙහිද ගොඩබිමද ඔවුන් සමග සෙල්ලම් කරත්. ආජානීය ඇත්තුද අශ්වයෝද මිනිස්සු ද වනාහි ජලයෙහි මල, මුත්‍රා නොකරති. එනිසා ඒ ඇතාද ජලයෙහි මල මුත්‍ර නොකොට ජලයෙන් පිටත ගංඉවුරෙහිම කරයි. ඉක්බිති එක්දිනක ගඟ ඉහළට වැස්සක් වැස්සේය. අඩක් වියළි ඇත් ඉලත්තියක් (ඇත් වසුරු) වැසි ජලයෙන් ගඟට පාවී යන්නේ බරණැස් නගරය අසල තොටුපලේ එක් ලැහැබක රැඳුණේය. ඉක්බිති රජතුමාගේ ඇත්ගොව්වෝ ඇතුන් නාවන්නෙමුයි ඇතුන් පන්සියයක් රැගෙන ගියාහුය. ආජානීය ඇත් ඉලත්තියේ සුවඳ දැනී එක් ඇතෙකුවත් ගඟට බැසීමට උත්සාහ නොකළේය. සියල්ලෝම වලිගය ඔසවාගෙන පලායාමට පටන් ගත්හ. ඇත්ගොව්වෝ ඇතුන් පිළිබඳ කරුණු දන්නා අය (ඇදුරන්ට) සැල කළාහුය. ඔවුහු ජලයෙහි උවදුරක් විය යුතුයයි ජලය පිරිසිදුකොට ගඟ අයිනේ ලැහැබක තිබූ ඒ ආජානීය ඇත් ඉලත්තිය දැක මේ හේතුව යයි දැන සැලියක් ගෙන්වාගෙන එහි ජලය පුරවා ඇත්වසුරු එහි දියකර ඇතුන්ගේ ශරීරවලට ඉස්සවූහ. ඔවුන්ගේ සිරුරු සුවඳවත් විය. එවිට ඇත්තු ගඟට බැස නාන්නට පටන් ගත්හ.