5. ගග්ග ජාතකය (155)
ජීව වස්සසතං ගග්ග යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමය, සමීපයෙහි පසේනදී කොසොල් රජතුමා විසින් කරවන ලද රාජකාරාමයෙහි වැඩවාසය කරන සේක් තමන්ගේ කිඹිසීමක් අරබයා දේශනා කළ සේක. එක්දිනක් බුදුරජාණන් වහන්සේ රාජකාරාමයේ සිවුපිරිස් මැද හිඳගෙන දම් දෙසමින් කිඹිසූ සේක, එකල බොහෝ භික්ෂූන් වහන්සේලා, භාග්යවතුන් වහන්සේ බොහෝ කලක් ජීවත් වෙත්වා! සුගත තථාගතයන් වහන්සේ බොහෝ කලක් ජීවත් වෙත්වායි උස්හඬින් මහා ශබ්ද කළාහුය. ඒ හඬින් ධර්ම දේශනාවට බාධා ඇතිවිය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඉදින් මහණෙනි! කිඹිසීමක් ගියවිටක දිගාසිරි ලැබේවා!යි ආවැඩූ පමණින්ම ආයුෂ බොහෝ වේද? ආ නොවැඩුවොත් ආයුෂ මදවේදැයි භික්ෂූන් විචාළහ. ස්වාමීනි! එය එසේ නොවේයයි භික්ෂූහු කීහ. මහණෙනි! කිඹිසුමක් ගියවිට දිගාසිරි වේවායි නොකිය යුතුයි. යමෙක් එසේ කියන්නේ නම් ඒ භික්ෂුවට දුකුලා ඇවැතක් සිදුවෙයි. එකල්හි වනාහි මහජනයා භික්ෂූන් කිඹිසූ විට ඔබවහන්සේලාට දිගාසිරි ලැබේවායි කියති. භික්ෂූහු කුකුස නිසා බියෙන් ප්රති උත්තර නොදෙත්. (කථා නොකරත්) එවිට මිනිස්සු ශ්රමණ ශාක්ය පුත්රයන් වහන්සේලාට දිගාසිරි වේවායි කියනු ලබන්නේ ප්රති උත්තර නොකියන්නෝ යයි බුදුරජාණන් වහන්සේට එම කරුණු සැල කළාහුය. මහණෙනි! ගිහියෝ දුටු දෙයින් ශුභා ශුභ ඇතැයි සිතන්නාහුය. “මහණෙනි! ගිහියන් විසින් දිගාසිරි වේවා’යි කියනු ලබද්දී දිගාසිරි වේවායි අනුදැන වදාරමි.” “ස්වාමීනි! දිගාසිරි පැතීමත් පෙරළා දිගාසිරි පැතීමත් කවදා සිට ඇති වූවක්දැ”යි භික්ෂූහු විමසූහ. මහණෙනි! දිගාසිරි පැතීමත් පෙරළා දිගාසිරි පැතීමත් පෙර සිට පැවත එන්නකැයි දේශනා කළ බුදුරජාණන් වහන්සේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසී රට එක්තරා බමුණු කුලයක උපන් සේක. ඔහුගේ පියා වෙළඳාම් කොට ජීවිතය ගත කරයි. ඔහු සොළොස් වයස් වූ තම පුත් බෝසතාණන් වහන්සේ ලවා කදාවලලු ආදී බඩු ඔසවාගෙන ගම් නියම්ගම් හැසිරෙන්නේ බරණැසට පැමිණ දොරටුපාලයන් නිවසෙහි බත් පිසවා අනුභව කොට රෑ නිදන තැනක් නොලැබ අවේලාවෙහි මෙහි එන්නා වූ ආගන්තුකයන් නවතින්නේ කොහිදැයි විචාළේය. ඉක්බිති මිනිස්සු ඔහුට නගරයෙන් පිටත අමනුෂ්යයන් අරක් ගත් ශාලාවක් ඇත. කැමති නම් එහි නවාතැන් ගන්න යයි කීවාහුය. බෝසතාණන් වහන්සේ පියාණනි! එන්න යමු. යකාට බිය නොවන්න. මම යකා දමනය කොට නුඹ වහන්සේගේ දෙපාමුල හෙලන්නෙමි යි කියා, පියා සමග එහි ගිය සේක. ඉක්බිති ඔහුගේ පියා ලෑල්ලක වැතිරුණේය. පුතා පියාගේ පා පිරිමදිමින් හුන්නේය. එහි අරක්ගත් යක්ෂයා දොළොස් වසක් වෙසමුණු රජුට උවටැන් කොට ඒ ශාලාව ලබා මේ ශාලාවට පිවිසි මිනිසුන් අතුරෙන් යමෙක් කිඹිසි විට දිගාසිරි වේවා’යි කියයිද ඒ ජීවප්රතිජීව වචන කියන්නන් හැර එසේ නොකියන අයව කෑම වර ලැබුවේය. ඒ අමනුෂ්යයා ගෙය මැද ඇති කණුවේ වසයි. ඔහු බෝසතාණන්ගේ පියා කිඹිසවීමට තම බලයෙන් සියුම් කුඩක් විහිදෙව්වේය. ඒ කුඩු අවුත් පියාගේ නාස්පුඩු දෙකට පිවිසියේය. පියා ලෑල්ලෙහි සිටිමින්ම කිඹිසීය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට දිගාසිරි වේවායි නොකී සේක. යක්ෂයා ඔහුව කෑමට කණුවෙන් බසියි. බෝසතාණන් වහන්සේ ඔහු බසින බව දැක මොහු විසින් මගේ පියා කිඹිසවන ලද්දේ වන්නේය. මේ තෙමේ කිඹිසි විට දිගාසිරි වේවා’යි නොකියන්නේ කන යක්ෂයා වන්නේ යයි සිතා පියා වෙනුවෙන්
ජීව වස්සසතං ගග්ග අපරානිච වීසතිං,
මා මං පිසාචා ඛාදන්තු ජීව ත්වං සරදොසතං
මා මං පිසාචා ඛාදන්තු ජීව ත්වං සරදොසතං
යන පළමු ගාථාවෙන් කීවේය.
පියාණෙනි! ඔබ අවුරුදු එකසිය විස්සක් ජීවත් වව්. ප්රේතයෝ මාව නොකත්වා. නුඹ එකසිය විසි අවුරුද්දක් ජීවත් වේවා!
එහි ගග්ග යනු පියා නමින් අමතයි. අපරානිච වීසතිං යනු තවත් වසර විස්සක් ජීවත් වේවා! මා මං පිසාචා ඛාදන්තුං යනු පිසාචයෝ මා නොකත්වා. ජීව ත්වං සරදො සතං යනු නුඹ වනාහි අවුරුදු විස්සක් වැඩි සියවසක් හෙවත් අවුරුදු එකසිය විසිවසරක් ජීවත් වේවා! සරත් සෘතු සියයක් යයි ගණන් ගන්නාවිට අවුරුදු සියයම වෙයි. එය පෙර කී විස්සත් සමග ගත්කල විස්සක් අධික යයි මෙහි අදහස් කරන ලදි.
යක්ෂයා බෝසතාණන් වහන්සේගේ කීම අසා මේ තරුණයා දිගාසිරි වේවායි පළමුව කී බැවින් කෑමට නොහැක්කෙමි. මොහුගේ පියා වනාහි කන්නෙමැයි පියා සමීපයට ගියේය. පියා එන්නා වූ යක්ෂයා දැක, මේ යක්ෂයා පෙරළා දිගාසිරි වේවායි නොකියන අය කන යක්ෂයකු වන්නේ යයි සිතා පෙරළා දිගාසිරි පතන්නෙමි’යි සිතීය. පියා පුතා මුල්කරගෙන,