4. උරග ජාතකය (154)
ඉධූරගානං පවරො පවිට්ඨො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සෙන්පතියන් දෙදෙනෙකුගේ කලහයක් අරබයා වදාළ සේක. කොසොල් රජුගේ වනාහි සේවක හමුදා ප්රධානී ඇමතියන් දෙදෙනෙක් ඔවුනොවුන් දුටු තැන කෝලහල කරත්. ඔවුන්ගේ අමනාපය මුළු නගරය පුරා ප්රකට විය. රජතුමාටවත්, නෑ මිතුරන්ටවත් ඔවුන් සමගි කරන්නට නොහැකි වූහ. දිනක් බුදුරජාණන් වහන්සේ අලුයම් වේලාවෙහි ධර්මාවබෝධයට සුදුසු (හේතු සම්පත්) නෑයන් ඇද්දැයි බලමින් ඒ ඇමතියන් දෙදෙනාට සෝවාන් වීමට හේතු සම්පත් ඇති බව දැක දෙවන දින හුදකලාව සැවැත්නුවරට පිඬු පිණිස වැඩමකොට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ගෙයි දොරටුව ළඟ වැඩසිටි සේක. හෙතෙම නික්ම අවුත් පාත්රය ගෙන බුදුරජාණන් වහන්සේ ගේ තුළට වඩමවා ගෙන ගොස් අසුනක් පනවා වැඩසිටීමට සැලැස්වීය. උන්වහන්සේ එහි වැඩසිට ඔහුට මෛත්රී භාවනාවේ අනුසස් වදාරා සුදුසු මානසික තත්ත්වයක් ඇති බව දැන චතුරාර්ය සත්යය දේශනා කළ සේක. ඔහු සත්ය දේශනාව අවසානයේදී සෝවාන් ඵලයෙහි පිහිටියේය.
බුදුරජාණන් වහන්සේ ඔහු සෝවාන් වූ බව දැනගෙන ඔහු ලවා පාත්රය ගෙන්වා ගෙන නැගිට අනිත් ඇමතියාගේ ගේ දොරටුව ළඟට වැඩම කළ සේක. ඔහුද පැමිණ ශාස්තෲන් වහන්සේට වැඳ ස්වාමීනි! ගෙට වැඩමවනු මැනවයි ආරාධනා කොට වඩා හිඳවීය. අනෙක් ඇමතියාද පාත්රයත් රැගෙන බුදුරජාණන් වහන්සේ සමගම ගෙට පිවිසියේය. උන්වහන්සේ ඔහුට ද එකොළොස් ආකාර (සැපසේ නිදයි, සැපසේ පුබුදියි ආදී) මෛත්රියෙහි අනුසස් වර්ණනා කොට ධර්මාවබෝධයට සිත නැඹුරු වූ බව දැන සිව්සස් දේශනා කළ සේක. දේශනාව අවසානයේ ඔහුද සෝවාන් ඵලයෙහි පිහිටියේය. මෙසේ ඒ දෙදෙනාම සෝවාන් වී ඔවුනොවුන්ගේ වැරදි ප්රකාශකොට සමා කරවා සමගිව සතුටු වෙමින් සම අදහස් ඇත්තෝ වූහ. එදවසම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී එකට අනුභව කළාහුය. බුදුරජාණන් වහන්සේ දන් වළඳා නිමවා විහාරයට වැඩම කළ සේක. ඔවුන්ද බොහෝ මල්, සුවඳ ජාති ද, ගිතෙල් මීපැණි, උක් පැණි ආදියද රැගෙන බුදුරජාණන් වහන්සේ සමගම නික්මුණාහ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා විසින් වත් පිළිවෙත් දැක්වූ කල්හි “සුගතොවාදය” දී ගඳකිළියට වැඩම කළ සේක.
භික්ෂූන් වහන්සේ සවස් කාලයෙහි දම්සභාවෙහි කථාවක් මතුකළහ. ඇවැත්නි! ශාස්තෲන් වහන්සේ අදාන්තයන් දමනය කරන සේක. හුඟකලක් උත්සාහ කළත් රජතුමාට ඒ මහ ඇමතියන් දෙදෙනා සමගි කරවන්නට නොහැකි විය. නෑ මිතුරන්ටද නොහැකි විය. ඔවුහු එක දවසින්ම තථාගතයන් වහන්සේ විසින් දමනය කරන ලදහ. බුදුරජාණන් වහන්සේ දම්සභාවට වැඩම කර, මහණෙනි! දැන් මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා ඇමතියන් දෙදෙනා දමනය කිරීමේ පුවත ගැන යයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මේ ඇමතියන් දෙදෙනා සමගි කෙරෙව්වෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී එම නුවර නැකත් උත්සවයක් සඳහා කල් දැන්වූ කල්හි මහත් සැණකෙලියක් විය. බොහෝ මිනිස්සු ද දෙවි, නාග, ගුරුළු ආදීහුද සැණකෙළිය බලන්නට රැස්වූහ. එහි එක්තැනෙක එක් නයෙක් ද ගුරුළෙක් ද උත්සවය නරඹමින් එක්ව සිටියාහුය. නයා ද ගුරුළාගේ ගුරුළු බව නොදන්නේ දසරුවෙහි (උරහිසෙහි) අත තැබීය. ගුරුළා කවරෙකු විසින් මගේ උරහිසෙහි අත තැබුවේදැයි නැවතී බලන්නේ නාගය බව හැඳින ගත්තේය. නයා ද ඌ දෙස බලන්නේ ගුරුළා හැඳිනගෙන මරණ බියෙන් තැති ගත්තේ නගරයෙන් නික්මී ගඟ මතුපිටින් පලා ගියේය. ගුරුළා ද නයා අල්ලා ගනිමියි ලුහුබැන්දේය. ඒ කාලයෙහි බෝසතාණන් වහන්සේ තවුසෙකු වී ඒ ගංතෙර පන්සලක වාසය කරන සේක් දවල් දාහය සංසිඳුවා ගැනීමට දියරෙද්ද ඇඳගෙන වැහැරි සිවුර ගඟ අයිනේ තබා ගඟට බැස ස්නානය කරති. නයා මේ පැවිද්දා නිසා පණ රැක ගන්නෙමැයි ප්රකෘති ස්වභාවය හැර දමා විශාල ඉන්ද්රනීල මාණික්යයක ස්වරූපය ගෙන පට්ටාවලින් වියූ වස්ත්රය අස්සට පිවිසියේය. ගුරුළා ලුහුබඳින්නේ ඌ සිවුර අස්සට පිවිසි බව දැක වල්කලා සිවුරට ඇති ගෞරවය නිසා අල්වා නොගෙන බෝසත් තවුසා අමතා ස්වාමීනි! මම කුසගින්නෙන් පෙළෙමි. නුඹවහන්සේගේ සිවුර ගනු මැනවි. මේ නාගයා කන්නෙමියි ඒ කාරණය පැහැදිලි කිරීමට
ඉධුරගානං පවරො පවිට්ඨො, සෙලස්ස වණ්ණෙන පමොක්ඛ මිච්ඡං,
බ්රහ්මඤ්ච වණ්ණං අපචාය මානො, බ්රභූක්ඛිතො නො විසහාමි භොත්තුං.
බ්රහ්මඤ්ච වණ්ණං අපචාය මානො, බ්රභූක්ඛිතො නො විසහාමි භොත්තුං.
යන පළමු ගාථාව කීවේය.
මේ තවුස් පොරෝණය අස්සට උතුම් නයෙක් පිවිසියේය. සෛල වර්ණයෙන් යුත් මේ නයා මගෙන් මිදීමක් කැමැති වෙයි. ඔබතුමාගේ බ්රහ්මත්වයට ගරු කරන්නෙමි. ඒ නිසා බඩගිනි වුවත් නාගයා කෑමට නොහැකි වෙමි.
එහි, ඉධූරගානං පවරො පවිට්ඨො යනු මේ වැහැරි පොරෝනය අස්සට උතුම් නාගරාජයෙක් පිවිසියේය. සෙලස්ස වණ්ණෙන යනු මැණික් පැහැයෙන් විශාල මැණිකක් මෙන් වී පිවිසියේය යන අර්ථයි. පමොක්ඛ මිච්ඡං යනු මා වෙතින් මිදීමක් කැමති වෙයි. බ්රහ්මඤ්ච වණ්ණං අපචාය මානො යනු මම වනාහි නුඹ වහන්සේගේ බ්රහ්මත්වයට ශ්රේෂ්ඨත්වයට පුදන්නේ ගරු කරන්නේ බ්රභූක්ඛිතො නො විසහාමි භොත්තුං යනු මේ නයා පොරෝණය අස්සට පිවිසියේය. බඩගිනි ඇතත් කන්නට නොහැක්කෙමි.