2. සිඟාල ජාතකය (152)
අසමෙක්ඛිතකම්මන්තං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවාසය කරනසේක් විසල්නුවර වාසී එක්තරා කරණවෑමි පුත්‍රයෙකු අරබයා වදාළ සේක. ඔහුගේ පියා වනාහි රජතුමාගේ අන්තඃපුර බිසෝවරුන්ගේ, රජකුමරුවන්ගේ රාජ කුමාරිකාවන්ගේද රැවුල කැපීම, කෙස් සැකසීම, අන්දම් තැබීම ආදී සියලු කටයුතු කරයි. සැදැහැ ඇත්තේය. ප්‍රසන්නය. තෙරුවන් සරණ ගියේය. සමාදන් වූ පන්සිල් ඇත්තේය. අතරින් පතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අසමින් කාලය ගතකරයි. හෙතෙම එක්දිනක් රජමාලිගාවේ වැඩකිරීමට යන ගමන් තම පුත්‍රයාද රැගනෙ ගියේය. ඒ තරුණ පුත්‍රයා එහි දෙවඟනක් හා සමාන වූ අලංකාර කර සැරසුණු ලිච්ඡවී කුමාරිකාවක් දැක කෙලෙස් වසඟව පිළිබඳ සිත් ඇතිව පියා සමග රජ මාලිගාවෙන් නික්මී අවුත් අර රූපත් කුමාරිකාව ලැබෙන්නේ නම් ජීවත් වන්නෙමි. නොලැබෙන්නේ නම් මෙහිම මාගේ මරණය වන්නේ යයි ආහාර වර්ජනය කොට ඇඳ වැළඳගෙන හොත්තේය.
ඉක්බිති පියතුමා ඔහු වෙත එළඹ දරුව! නොලැබිය යුතු දෙයට ආසා නොකරව. ඔබ පහත් ජම්මයක් ඇති කරණවෑමියෙකුගේ පුත්‍රයෙකි. ලිච්ඡවී කුමාරිකාව ක්‍ෂත්‍රිය දියණියකි. උසස් කුල ඇත්තීය. ඈ නුඹට නුසුදුසුය. නුඹේ ජාතියට ගෝත්‍රයට සමාන වෙනත් කුමාරිකාවක ගෙන එන්නෙමියි කීවේය. හෙතෙම පියාගේ කථාව පිළි නොගනියි. ඉක්බිති ඔහුට මව, සහෝදරයා, සහෝදරී, පුංචිඅම්මා, බාප්පා ආදී සියලුම නෑයෝද හිතමිත්‍රයෝද රැස්වීම කරුණු පැහැදිලි කළහ. ඒ ගැන අවබෝධ කරවීමට නොහැකි වූහ. ඔහු එහිම මලානික වී අතිශයින්ම මැලවී මරණයට පත්විය. ඉක්බිති ඔහුගේ පියා මළසිරුර පිළිබඳ කටයුතු ද මියගිය අය වෙනුවෙන් කරන කටයුතු ද නිමවා ශෝකය තුනීව ගියාට පසුව බුදුරජාණන් වහන්සේ වැඳපුදා ගන්නෙමියි බොහෝ සුවඳමල් විලවුන් ගෙන මහවනයට ගොස් උන්වහන්සේ වැඳපුදා එකත්පස්ව හුන්කල්හි උපාසකය! මෙතෙක් දවසක් නොදැක්කේ ඇයිදැයි වදාළ කල්හි පුතා පිළිබඳ සිද්ධිය දැනවීය. එවිට උන්වහන්සේ උපාසකය! නුඹේ පුතා නොලැබිය යුතු දෙය කෙරෙහි ආසාව උපදවා විනාශයට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙරත් විනාශයට පැමිණියේ යයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමවත් පෙදෙසෙහි සිංහ යෝනියෙහි උපන් සේක. ඔහුට බාල සහෝදරයෝ හය දෙනෙක්ද එක් සහෝදරියක්ද වූහ. සියලු දෙනාම රන් ගුහාවක වාසය කරති. ඒ ගුහාවට නුදුරෙහි රිදී පර්වතයක එක් පළිඟු ගුහාවක් ඇත. එහි එක් හිවලෙක් වාසය කරයි. පසුකලෙක සිංහයන්ගේ මව්පියෝ මියපරලොව ගියාහුය. ඒ සිංහයා නැගණිය වූ සිංහ පෝතිකාව රන් ගුහාවෙහි රඳවා ගොදුරු පිණිස නික්මී මස් ගෙනවුත් ඇයට දෙත්. ඒ හිවලාද සිංහ පෝතිකාව දැක පිළිබඳ සිත් ඇතිවිය. ඇගේ මව්පියන් ජීවත්ව සිටියදී ඊට ඉඩක් ලැබුණේ නැත. හිවලා ඒ සත්දෙනාම ගොදුරු පිණිස ගියකල්හි පළිඟු ගුහාවෙන් බැස රන්ගුහාවේ දොරටුව ළඟට ගොස් සිංහ පෝතිකාවගේ ඉදිරියේ පස්කම් ගුණයෙන් යුත් මෙබඳු රහස් කථාවක් කීවේය. සිංහ පෝතිකාවෙනි! මමද සිව්පාවෙක් වෙමි. නුඹද සිව්පා දෙනකි. නුඹ මගේ බිරිඳ වෙව. මම නුඹේ ස්වාමියා වන්නෙමි. ඒ අපි සමගියෙන් සතුටින් වසන්නෙමු. නුඹ මෙතැන් පටන් ආදරයෙන් මට සංග්‍රහ කරව යනුයි. ඈ හිවලාගේ වචන අසා මේ හිවලා සිවුපාවුන් අතුරෙන් පහත්, නින්දා ලැබිය යුතු සැඩොලෙකු හා සමානය. අපි උතුම් රජ කුලයට හා සමානයි. මොහු වනාහි මා සමග අසභ්‍ය නුසුදුසු දෙයක් කියයි. මම මෙබඳු කථාවක් අසා ජීවිතයෙන් කුමක් කරන්නෙම්ද? හුස්ම හිරකරගෙන මැරෙන්නෙමියි සිතුවාය. අනතුරුව ඇයට මෙබඳු අදහසක් ඇතිවිය. මට මෙබඳු මරණයක් යුතු නොවේ. මගේ සහෝදරවරු එනතෙක් සිට ඔවුන්ට කියා මැරෙන්නෙමියි. හිවලාද ඇගේ සමීපයෙන් ප්‍රතිවචනයක් (උත්තරයක්) නොලබා දැන් මෑ මා කෙරෙහි බැඳීමක් නැතැයි දොම්නසට පැමිණ රිදී ගුහාවට පැමිණ නිදා ගත්තේය.
ඉක්බිති එක් සිංහ පොව්වෙක් මීහරක් ඇතුන් ආදී සතුන් අතුරෙන් එක්තරා සතෙකු මරා මස් අනුභවකොට නැගණියගේ කොටස ගෙනවුත් නග! මස් අනුභව කරවයි කිවේය. සොයුර! මම මස් අනුභව නොකරමි. මැරෙන්නෙමියි කීවාය. කුමක් නිසාදැයි ඇසූවිට ඈ ඒ සිද්ධිය කීවාය. දැන් ඒ හිවලා කොහිදැයි විමසූවිට රිදී ගුහාවෙහි සිටින හිවලා අහසෙහි සිටින්නේ යයි සිතමින් සහෝදරය! කිම නොදක්නෙහිද? ඒ තෙමේ රිදී පර්වතයෙහි අහසෙහි හොත්තේය යි කීවාය. සිංහ පෝතකයා රිදී ගුහාවෙහි නිදන බව නොදන්නේ අහසෙහි නිදන්නේ යයි හැඟීමෙන් යුතුව හිවලා මරන්නෙමියි සිංහ වේගයෙන් පැන රිදී ගුහාවට පපුවෙන්ම පහර දුන්නේය. සිංහ පෝතකයා පැළුණු හදවතින් එහිම මරණයට පත්ව පර්වත පාමුල වැටුණේය.
ඉක්බිති අනෙක් සහෝදරයාද ආවේය. ඈ ඔහුට ද එසේ කීවාය. හෙතෙම එසේම කොට මරණයට පත්ව පර්වත පාමුල වැටුණේය. මෙසේ සහෝදරයන් හදදෙනෙකුම මළ කල්හි හැමටම පසු බෝසතාණන් වහන්සේ පැමිණි සේක. ඈ ඔහුටද ඒ කාරණය කියා දැන් ඒ හිවලා කොහිදැයි විමසූ කල්හි ඒ හිවලා රිදී පර්වත මතුවෙහි අහසෙහි නිදන්නේ යයි කීවාය. බෝසතාණන් වහන්සේ සිවලුන්ට අහසෙහි ආධාරයක් නම් නැත. රිදී ගුහාවෙහි නිදන්නෙකු වන්නේ යයි සිතූහ. හෙතෙම පර්වත පාමුලට බැස සහෝදරයන් හයදෙනා මරණයට පත්ව ඇති බව දැක මොවුහු තමන්ගේ මෝඩකම නිසා විමසීමේ නුවණ නොමැතිකමින් රිදී ගුහාව බව නොදන හදවතින් මැරුණාහු වන්නෝ යයි සිතා නොවිමසා ඉතා ඉක්මනින් ක්‍රියා කිරීමේ ප්‍රතිඵල මෙබඳු වේයයි කියා
අසමෙක්ඛිත කම්මන්තං තුරිතාභි නිපාතිනං,
සානි කම්මානි තප්පෙන්ති උණ්හං වජ්ඣොහිතං මුඛෙ.
යන පළමු ගාථාව කීවේය.
මනාකොට නොවිමසා කරන ලද ක්‍රියා ඇති (නොවිචාරා) වහා කටයුතු පටන් ගත්තා වූ පුද්ගලයා උණු අහරක් මුඛයෙහි තැබීමෙන් මුඛය දැවෙන්නා සේ තමන්ගේ ක්‍රියාවෝ (ඔහු) තවත්,
එහි, අසමෙක්ඛිත කම්මන්තං තුරිතාභි නිපාතිනං යනු යම් පුද්ගලයෙක් යම්කිසි ක්‍රියාවක් කරනු කැමැති වෙයි නම් එහි දොස් නොවිමසා සොයා නොබලා ඉක්මන් වී වේගයෙන් වහාම ඒ ක්‍රියා කරන්නට ඉදිරිපත් වෙයි. පනියි. පිළිපදියි නම් ඒ නොවිමසා කරන ලද ක්‍රියා ඇති වහා කටයුතු පටන් ගන්නා වූ ඒ පුද්ගලයා මෙසේ කරන ලද ඒ ක්‍රියාවෝ සානි කම්මානි තප්පෙන්ති ශෝකයට පමුණුවත්, ක්ලාන්ත කරත්. හරියට උණ්හං වජ්ඣොහිතං මුඛෙ යම්සේ අනුභව කරන්නෙකු විසින් මෙය සිසිල්ය. මෙය උණුසුම් යයි සොයා නොබලා ගිලිය යුතු උණුසුම් දෙයක් මුඛයට ඇතුල් කරයිද තබයිද මුඛයත් උගුරත්, ආමාසයත් දවයි. ඔහුද ක්ලාන්ත වෙයි. මෙසේ ඒ ක්‍රියාවෝ එබඳු පුද්ගලයා තවත්.
ඉක්බිති ඒ සිංහයා මේ කථාව කියා මගේ සහෝදරවරු උපායෙහි අදක්‍ෂ බැවින් හිවලා මරන්නෙමුයි ඉතා වේගයෙන් පැන තමන්ම මළාහුය. මේ වනාහි මෙසේ නොකොට පළිඟු ගුහාවෙහි නිදන්නා වූ ම සිවලාගේ හදවත පලන්නෙමි යි සිතා සිංහයා සිවලා නගින බහින මාර්ගය සලකා මාර්ගයට මුහුණලා සිට තෙවරක් සිංහනාද කළේය. පොළොව සමග අහස එකනින්නාද විය. පළිඟු ගුහාවෙහි නිදන්නා වූ බියෙන් තැතිගත් සිවලාගේ හදවත පැළුණි. ඒ හිවලා එහිම මරණයට පත්විය.