3. මහාබෝධි ජාතකය (528)
කින්නු දණ්ඩං කිමජිනං යන මෙය ශාස්තෲන් වහන්සේ, ජේතවනයේ වැඩවාසය කරන සේක්, ප්‍රඥා පාරමිතාව අරභයා වදාළ සේක. කථා වස්තුව උම්මග්ග ජාතකයේ සඳහන් පරිදි වන්නේය. එකල ශාස්තෲන් වහන්සේ මහණෙනි, දැන් පමණක් නොව පෙරත් තථාගතයන් වහන්සේ ප්‍රඥා සම්පන්න වූයේ, අනුන්ගේ ප්‍රවාද ප්‍රලාප මර්දනය කරන ලද්දේ ම යයි වදාරා අතීතය ගෙනහැර පෑ සේක.
අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, බෝධිසත්ත්වයන් වහන්සේ කසීරට අසූ කෙළක් ධනය ඇති උසස් බ්‍රාහ්මණ මහාසාල කුලයෙහි උපන්හ. බෝධිකුමරු තිස්ස යයි නම් කළහ. ඔහු වැඩිවිය පැමිණි කල්හි තක්ෂිලාවේ ඉගෙන ගත් ශිල්පය ඇත්තේ, පෙරළා පැමිණ ගෙදර මැද වසන්නේ පසුකාලයේ කාමයන් හැර දමා හිමවත් පෙදෙසට පිවිස පරිබ්‍රාජික පැවිද්දෙන් පැවිදි වී එහි ම වනමුල් ගෙඩි ආහාර කොට ඇත්තේ, බොහෝ කලක් වාසය කොට, වර්ෂා රහිත සමයේ හිමවතින් බැස, චාරිකාවේ හැසිරෙන්නේ අනුපිළිවෙලින් බරණැසට පැමිණ රාජ උද්‍යානයේ වාසයකොට දෙවන දවසේ පරිව්‍රාජක වේශයෙන් නගරයෙහි පිඬු පිණිස හැසිරෙන්නේ රජ දොරටුවට පිවිසියේය. මාලිගාවේ සිටි රජු සීමැදුරු කවුළුවෙන් ඒ තාපසයාණන් දැක, ඔහුගේ සංවර භාවයෙහි පැහැදී, ඔහු තම මාලිගාවට ගෙන්වා පිළිසඳර කථාවෙන් පසුව ස්වල්ප වූ ධර්ම කථාවක් අසා විවිධ රසමසවුලෙන් යුත් ආහාර වේලක් පිළිගැන්වීය. බෝධිසත්ත්වයෝ බත පිළිගෙන මෙසේ සිතූහ. මේ රාජ කුලය වනාහි බොහෝ දෝෂ ඇත. බොහෝ පස මිතුරෝ ද වෙති. කවරෙක් නම් මේ මගේ උපන් බය දුරුකරන්නේද? හෙතෙම නුදුරෙහි සිටි රාජ හිතෛෂි එක් පිඟුවන් පාට බල්ලකු දැක ලොකු බත් ගුලියක් ගෙන ඌට දෙනු කැමැත්ත පෙන්වීය. රජු දැන බල්ලාගේ භාජනය ගෙන්වා ගෙන බත් ගෙන දුන්නේය. බෝධිසත්ත්වයෝ ඔහුට දී බත් කිස නිම කළහ. රජු ද ඔහුගේ ප්‍රතිඥාව ගෙන ඇතුල් නගරයේ රාජ්‍ය උද්‍යානයේ පන්සලක් කරවා පැවිදි පිරිකර දී, ඔහු එහි වාසය කරවූ සේක. දිනපතා ද ඔහුට දෙතුන් වතාවක් උපස්ථානයට ද එළඹියේය. භෝජනාවස්ථාවේ බෝසත්හු නිතර ම රජ පුටුවේ ම වාඩිවී රාජභෝජන ම අනුභව කරති. මෙසේ දොළොස් අවුරුද්දක් පමණ ඉක්මිණි.
ඒ රජුගේ ඇමතියෝ ඔහුට අර්ථයෙන් ද, ධර්මයෙන් ද අනුශාසනා කරති. ඔවුන් අතර අයෙක් අහේතුවාදී වූහ. එකෙක් ඊශ්වර නිර්මාණවාදියෙකි. එකෙක් පෙර කළ කර්මවාදියෙකි. එකෙක් උච්ඡේදවාදියෙකි. එකෙක් කැත් විද්යාවේදියෙකි. ඔවුන් අතර අහේතුක වාදියා, මේ සත්ත්වයෝ සංසාර ශුද්ධි වාදීහු යයි මහජනයාට ඉගැන්වීය. ඉස්සර නිර්මාණවාදියා, මේ ලෝකය, ඊශ්වරගේ නිර්මාණයකැයි මහජනයාට ඉගැන්වීය. පුබ්බේකතහේතුවාදියා මේ සත්ත්වයන්ට සැපක් හෝ දුකක් උපදින ලබන්නේ පෙර කරන ලද කර්මයෙන් ම යයි මහජනයාට ඉගැන්වීය. උච්ඡේදවාදියා මෙයින් පරලොව ගිය කෙනෙක් නම් නැත. මේ ලෝකය මෙතනින් කෙළවර වේ යයි මහජනයාට ඉගැන්වීය. ඛත්තවිජ්ජාවාදියා, මව්පියන් මරා හෝ තමන්ගේ වැඩ කළ යුතුයයි මහජනයාට ඉගැන්වීය. ඔවුහු රජුගේ විනිශ්චයේ නියුක්ත වූවෝ අල්ලස් ගැනීමේ නිරතව සිට ස්වාමිවරුන් නැත්තෝ ස්වාමින් කරත්. සැමියන් ඇත්තෝ සැමියන් නැත්තෝ කරති.