18. පඤ්ඤාස නිපාතය
1. නළිනිකා ජාතකය (526)
උඩ්ඩයහතෙ ජනපදො යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, පුරාණ බිරිඳක පෙළඹවීමක් අරබයා වදාළ සේක. කථාවට මාතෘකා වූ ඒ භික්ෂුව කවර තැනැත්තියක් නිසා කළකිරුණේදැයි විචාරා පුරාණ බිරිඳ නිසා යයි කී කල්හි මහණ පෙරද ඇය ඔබට අයහපත්කාරී වූවා, නුඹ ඇය නිසා, ධ්යානයෙන් පිරිහී මහා විනාශයකට පැමිණියේ යයි කියා අතීතය ගෙනහැර පෑ සේක.
අතීතයේ බරණැස බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි බෝධිසත්ත්වයෝ උසස් බ්රාහ්මණ මහාසාල කුලයෙහි ඉපිද වැඩිවියට පැමිණියේ ඉගෙනගත් ශිල්ප ඇත්තේ සෘෂි ප්රව්රජ්යාවෙන් පැවිදි වී ධ්යාන අභිඥා උපදවා හිමවත් පෙදෙසේ කල්ගත කළහ. අලම්බුසා ජාතකයෙහි කියන ලද පරිද්දෙන් ඒ නිසා එක් මුව දෙනක් ගැබක් ලැබ පුත්රයකු වැදුවාය. ඉසිසිංග යයි ඔහුට නමක් විය. ඉක්බිති ඔහු ගේ පියා ඔහු නිසි වයසට පැමිණි කල්හි පැවිදිකොට කිසුණු පිරියම් උගැන්වීය. නොබෝ කලකින් ම ධ්යාන අභිඥා උපදවා ධ්යාන සුවයෙන් කල්ගත කෙළේය. දැඩිසේ තපස් කිරීමෙන් උතුම් ලෙස දිනන ලද ඉඳුරන් ඇත්තේ විය. ඔහුගේ ශීල තේජසින් ශක්ර භවන කම්පා විය. ශක්රයා ආවර්ජනා කරමින්, ඒ කාරණය දැන උපායෙන් ඔහුගේ සිල් බිඳෙන්නෙමියි අවුරුදු තුනක් මුළුල්ලේ සකල කාසි රටෙහි වර්ෂාව නවතාලීය. රට, ගින්නෙන් දැවුනාක් මෙන් විය. ශස්ය නොවැඩෙනා කල්හි දුර්භික්ෂයෙන් පෙලුණු මිනිස්සු රැස්වී රාජාංගනයේ උද්ඝෝෂණය කළහ. ඉක්බිති රජතුමා වා කවුළුවෝ සිට මේ කිමෙක්දැයි ඔවුන් විචාළේය. මහරජතුමනි, අවුරුදු තුනකින් වර්ෂාව නොලැබෙන්නේ මුළු රටම කැලඹී යයි. මිනිස්සු දුකට පත්වූවෝ, වර්ෂාව වස්සවන්න මහරජතුමනි, රජු සිල් සමාදන් වී පෙහෙවස් සමාදන්ව වාසය කරන්නේ නමුත් වැසි වැස්සවීමට නොහැකි විය.
එකල ශක්රයා රාත්රී අඩක් ගෙවුනු පසු ඔහුගේ සිරියහනට පිවිස, ඒකාලෝක කො අහසේ සිටියේය. රජු ඔහු දැක, නුඹ කවරෙක්දැයි විචාළේය. මම ශක්රයා වෙමි. කවර අර්ථයකින් ආවේද? දේවයන් වහන්ස, රටෙහි වර්ෂාව නැත. වර්ෂාව ලබාදෙනු මැනවි. වැසි නොවැසීමට කාරණය දන්නෙහිද? නොදනිමි. මහරජ, හිමවත් පෙදෙසේ ඉසිසිංග නම් තාපසයෙක් වාසය කරයි. උග්රතපස් ඇත්තේ පරම ඉඳුරන් දිනන ලද්දේය. ඔහු නිතර වැසිවසින කල්හි කිපී, අහස දෙස බැලීය. ඒ නිසා වර්ෂාව නොවසියි. දැන් එයට කුමක් කළ යුතුද? ඔහුගේ තපස බිඳි කල්හි වැස්ස වසීවි. කවරෙක් ඔහුගේ තපස බිඳීමට සමත් වේද? ඔබගේ දියණිය නළිනිකා, ඔහුගේ තපස බිඳීමට සමර්ථ වෙයි. ඇය කැඳවා අසවල් නම් ඇති තැනට ගොස් තාපසයාගේ තපස බිඳින්නැයි යවව. මෙසේ ශක්රයා රජුට අවවාද කොට සිය වාසස්ථානයට ගියේය. රජ දෙවෙනි දිනයේ ඇමතියන් සමග සාකච්ඡා කොට දුව කැඳවා පළමු ගාථාව කීවේය.
නලිනී කුමරිය! මුළු රට නියඟින් දැවේ. ජනපද වැසියා කැළඹෙයි. රට ද නැසෙන්නේය. එව නළිනිකා යන්න මාගේ රටට වැසි නවතන්නා වූ බමුණා මා වෙත රැගෙන යන්න.