19. සට්ඨි නිපාතය
1. සෝණක ජාතකය (529)
කස්ස සුත්‍වා සතං දම්මි යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, නෛෂ්ක්‍රම්‍ය (නික්මයාම) පාරමිතාව අරභයා වදාළ සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ධර්ම සභාවේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව වර්ණනා කරන්නා වූ භික්‍ෂූන්ගේ මැද වැඩ හිඳ, මහණෙනි, දැන් පමණක් නොව, පෙර ද තථාගතයන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මෙන්නේ, යයි වදාරා අතීතය ගෙනහැර පෑ සේක.
අතීතයේ රජගහනුවර මගධ රජු රාජ්‍යය කර වීය. බෝසත්හු ඔහුගේ අග මෙහෙසියගේ කුසයෙහි උපන්හ. නම් තබන දිනයේ ඔහුට අරින්දම කුමාර යයි නම් කළහ. ඔහු උපන් දිනයේ ම පුරෝහිතයා ගේ ද පුතා උපන්නේය. සෝණක කුමාර යයි ඔහුට නම් කළහ. ඔවුන් දෙදෙනා ම හුදකලාව වැඩී වයස්ගත කල්හි උතුම් රූපශ්‍රීයෙන් යුක්ත වූයේ රූපයෙන් විශේෂ නොවී තක්‍ෂිලාවට ගොස්, ඉගෙනගත් ශිල්ප ඇත්තෝ, නික්ම, සියළු ආගම් ශාස්ත්‍ර ද, දේශචාරිකා ද දැනගන්නෙමුයි අනුපිළිවෙලින් චාරිකා කරන්නෝ බරණැසට පැමිණ රාජ උද්‍යානයේ වාසයකොට දෙවෙනි දවසේ නගරයට පිවිසියහ. ඒ දවස ද, ඇතැම් මිනිස්සු බ්‍රාහ්මණයාගේ වචනය අනුව කටයුතු කරන්නෙමුයි, කිරිබත් පිළියෙල කරවා, ආසන පනවා, පැමිණෙන්නා වූ ඒ කුමාරයන් දැක, ගෙදරට පිවිසවා, පනවන ලද ආසනවල හිඳුවාපීය. එහි බෝසතුන්ට පනවන ලද ආසනයේ පිරිසිදු වූ කසී ඇතිරිල්ලක් විය. සෝණකට රතු ඇතිරිල්ලකි. ඔහු නිමිති දැක අද ම මගේ ප්‍රිය මිත්‍ර වූ අරින්දම කුමරු බරණැස් රජ වන්නේය. මට සේනාපති තනතුර දෙන්නේ ය යයි දැනගත්තේය. ඒ දෙදෙනා ම කරන ලද බත් කිස ඇත්තේ උයනට ම පෙරළා ගියහ.
එකල බරණැස් රජු කළුරිය කිරීමෙන් සත් දවසක් ගත විය. පුතුන් නැති රාජකුලය නිසා ඇමති ආදීහු ස්නානය කර රැස්වී, රජ තනතුරට සුදුස්සෙකු සමීපයට යන්නේ යයි, රාජ රථය යොදවා පිටත් වූහ. ඔහු නගරයෙන් නික්ම අනුපිළිවෙලින් උයනට ගොස් උයන්දොර නැවතී නැගෙන්නට සුදුසුව සිටියේය. බෝසත්හු මංගල ගල්තලාවේ හිසේ සිට පොරවා හොත්තේය. සෝණක කුමාරයා ඔහු සමීපයේ සිටියේය. ඔහු තූර්ය නාදය අසා, අරින්දමගේ රාජරථය එයි. අද මෙතුමා රජ වී, මට සෙනෙවි තනතුර දෙන්නේය මට මේ ඉසුරු බැවින් අර්ථයක් නැත. මොහු ගිය කල්හි නික්ම ගොස් පැවිදි වන්නෙමියි සිතා එකත්පසකට වී සිටියේය. පුරෝහිතයා උයනට පිවිස හොත්තා වූ, බෝසත් දැක, තූර්ය නාදය හඬනැංවී බෝසත් අවදි වී පෙරළී, ටික වේලාවක් හොවී සිට, නැගිට ගල් තලාවේ පර්යංකයෙන් හිඳ ගත්තේය. ඉක්බිති පුරෝහිතයා ඔහුට ඇඳිලි බැඳගෙන මෙසේ කීවේය. දේවයන් වහන්ස, ඔබ රජකමට පැමිණෙහි. අපුත්‍රක වූ රාජකුලයෙන් කිම. දේවයන් වහන්ස මෙසේ ම ය. එසේ වී නම් යහපති. ඉක්බිති ඔහුම එහිදී ම අභිෂේක කරවා රථයට නංවා ගෙන මහත් පිරිවරින් නගරයට පිවිසියහ. ඔහු නුවර පැදකුණු කොට ප්‍රාසාදයට නැංගේය. ඔහු මහත් වූ කීර්තිය ඇත්තේ සෝණක කුමරු සිහිපත් නොවීය.
ඔහු නගරයට පිවිසි කල්හි අවුත් ගල්තලාවේ හුන්නේය. ඔහු ඉදිරිපිට සල්ගසකින් නටුවෙන් ගිලිහුණු ඉදුණු කොලයක් වැටුණේය. ඔහු එය දකිත්ම එය යම්සේ ද, මගේ සිරුර ද ජරාවට පත්වන්නේය යයි අනිත්‍ය වශයෙන් විදර්ශනා වඩා පසේබුදුබවට පත්වූ සේක. එකෙණෙහිම ඔහුගේ ගිහි ස්වරූපය අතුරුදන් විය. පැවිදි ස්වරූපය පහළ විය. එතුමෝ යලි පුනර්භවයක් නැතැයි උදන් අනමින් නන්ද මුල පර්වතයට ගිය සේක. බෝසත්හු ද අවුරුදු හතළිහකට පසුව සිහිකොට, මගේ සහායක සෝණක කොහේදැයි, සෝණක නැවත නැවත සිහිකරන්නේ ද, මා විසින් අසන ලද්දේ වේවා, දක්නා ලද්දේ වේවායි විස්තරයක් නොමැතිව අලංකාර වූ, රාජ පළඟේ උස්තැනක සිටින්නේ ගාන්ධර්ව නාටක නැටුම් ගැයුම් ආදියෙන් පිරිවරණ ලද සම්පත් අනුභව කරමින්, කිසිවෙකු හෝ මා සමීපයට පැමිණ අසා සෝණක අසවල් තැන වාසය කරයි යයි කියන්නේ නම්, ඔහුට සියයක් ධනය දෙන්නෙමි. යමෙක් හිමියා දැක, දන්වන්නේ නම් ඔහුට දහසක් යයි එක් උදානයක් සිහිපත්කොට ගීත වශයෙන් උදම් අනන්නේ පළමු ගාථාව කීවේය.
වැළි කෙළියෙහි පටන් යහළු වූ සෝණකයන් ගැන මට යමෙක් කියන්නේ ද? ඔහු වසන තැනක් අසා කියන්නෙකුට මම සියයක් දෙමි. ඔහු දැක කියන්නෙකුට මම දහසක් දෙමි.
ඉක්බිති ඔහුගේ කටින් උදුරා ගන්නාක් මෙන් එක නාටක ස්ත්‍රියක් එම ගීතය ගායනා කළාය. ඉක්බිති සිතන්නී, අපගේ රජු ගීතවලට ප්‍රියයි සිතා සියල්ලෝ අන්තඃපුර ස්ත්‍රීහු එම ගීතය ගායනා කළහ. අනුපිළිවෙලින් නගරවාසීහුද, ජානපදිකයෝ ද එම ගීතය ගැයූහ. රජු ද නැවත නැවත එම ගීතය ම ගායනා කරයි. අවුරුදු පනහක් ඇවෑමෙන් ඔහුගේ බොහෝ දූ පුත්තු ද වූහ. ජ්‍යෙෂ්ඨ පුත්‍රයා දීඝායු කුමාර නම් විය. එකල සෝණක පසේ බුදුරජ අරින්දම රජු දකිනු කැමැත්තේ යමියි, ඔහුට කාමයන්හි ආදීනව ද, නෛෂ්ක්‍රම්‍යයේ ආනිශංස ද පවසා පැවිදි වෙස් ගන්වමියි, සිතා සෘද්ධියෙන් ආකාශයෙන් ගොස් උයනේ වැඩ හුන්නේ ය. එකල මව විසින් එවන ලද සත් හැවිරිදි පංච චූළක කුමාරයා උයන් සෙවනේ දර කඩමින් යළි යළිත් ඒ ගීතය ගායනා කෙළේය. ඉක්බිති පසේබුදුරජු ඔහු කැඳවා, ළදරුව, නුඹ අන් එක් කථාවක්වත් නොකියා, එක ම ගීතයක් ගායනා කෙළෙහි. කිම, අනෙකක් නොදන්නෙහිදැයි විචාළේය. ස්වාමීනි, දනිමි. අපගේ රජු ගේ මේ ප්‍රියතම ගීතයයි. එහෙයින් එය නැවත නැවත ගායනා කරමි. මේ ගීතයට පිළිතුරු ගීතයක් ගායනා කරන්නා වූ කිසිවෙකු හෝ පෙර දක්නා ලද්දේද? ස්වාමීනි, නොදක්නා ලද්දෙමි. මම ඔබට එය උගන්වන්නෙමි. රජුගේ සමීපයට ගොස් පිළිතුරු ගීතය ගායනා කිරීමට හැකිවන්නෙහි. ස්වාමීනි, එසේය. ඉක්බිති ඔහුට පිළිතුරු ගීතය ප්‍රකාශ කරමින්, මය්හසුත්‍වා යනාදිය කීවේය. එය උගන්වා ඔහු පිටත් කෙළේය. කුමාරය, යන්න, මේ පිළිතුරු ගීතය රජු ඉදිරියේ ගායනා කරන්නැයි රජු ඔබට මහත් ඉසුරු දෙන්නේ යයි, දරවලින් කිම ඉක්මනට යන්න යනුවෙනි.