2. උම්මාදන්තී ජාතකය (527)
නිවෙසනං කස්සනුදං සුනන්දා යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයේ වැඩවාසය කරන සේක් කළකිරුනු භික්ෂුවක් අරභයා වදාළ සේක. ඔහු එක දවසක් සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නේ එක් අලංකාරයෙන් පිළියෙල කරන ලද උතුම් රූපශ්‍රීයෙන් හෙබි ස්ත්‍රියක් දෙස බලා, බැඳුණු සිතැත්තේ සිත වාවා ගැනීමට නොහැකිව විහාරයට ම ගොස්, එතැන් පටන් හුලකින් විද්දාක් මෙන් රෝගී වූයේ, භ්රාන්තියට පත් මුවකු හා සමානව කෘශ වූයේ, ධමනි අක්‍රිය වූයේ, පඬුවන් පැහැ ගැන්වූයේ, සුදුමැළි වූයේ නොඇලුණේ ක්‍රියාකාරකම්වල සිත් පැහැදීමක් නොලබන්නේ, ආචාර්ය උපාධ්‍යායවත් ආදිය හැර කමටහන් උදෙසීම ආදි යෝග භාවනා ආදියේ උකටලිව කල්ගත කෙළේය. හෙතෙම සහායක භික්ෂූන් විසින්, පෙර ඔබ ඇවැත්නි, පැහැදුණු ඉඳුරන් ඇත්තේ දැන් විපිළිසරව මුව පැහැ ඇත්තේ, අප, ඇවැත්නි, කුමන කරුණක් නිසාදැයි විචාරන්නේ, නො සතුටුවෙමි යි කීවේය. ඉක්බිති ඔහුට ඔබ ඇවැත්නි, සතුටුවෙව. බුද්ධෝත්පාද කාල නම් දුර්ලභය. එසේම ධර්මශ්රවණය ද, මිනිස් ආත්ම භාවය ද එසේය. ඒ ඔබ මනුෂ්‍යභාවයක් ලැබ දුක් කෙළවර කිරීමට ප්‍රාර්ථනා කරමින් කඳුළු පිරි ඤාති ජනයා හැර, ශ්‍රද්ධාවෙන් පැවිදි වී කුමන කරුණක් නිසා, කෙලෙස් වසඟයට යහිද? කෙලෙස් නම්, ගැඩවිල් පණුවකු හටගැනීමක සියළු බාල ජනයන්ට සාධාරණ, රුක් ඵලයකට බඳු උපමා ඇති ඔවුන්ට වස්තුභූත වූ, අප්‍රසාදය පිණිස වූ කාමයෝ බොහෝ දුක් ඇත්තෝය. බොහෝ උවදුරු සහිත වූ වෙහෙස ගෙන දෙන ආදීනවයකි. මෙහි බොහෝසෙයින් කාමයෝ ඇටසැකිල්ලක් බඳුය. කාමයෝ මස් වැදැල්ලක් හා සමානය. කාමයෝ තණකොළ ගිණිහුළකට හා සමානය. කාමයෝ ගිනිඅඟුරු හා සමානය. කාමයෝ සිහිනයක් බඳුය. කාමයෝ ණයට ඉල්ලා ගත් දෙයක් බඳුය. ඉල්ලිමක් බඳුය. කාමයෝ විෂ සහිත ගසක ගෙඩි හා සමානය. කාමයෝ තියුණු ආයුධයක් හා සමානය. කාමයෝ සර්ප හිසක් හා බඳුය. නුඹ මෙබඳු ආකාර වූ ශාසනයේ පැවිදි වී මෙසේ අනර්ථකාරී වූ ක්ලේශ වසඟයට ගියේ යයි අවවාද කොට, තමන්ගේ කථාව පිළිගැන්වීමට නොහැකිවන්නේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ධර්ම සභාවට යොමුකර, මහණෙනි; කිම, අකමැත්තා වූ භික්ෂුවක් රැගෙන ආවාහුදැයි, වදාළ කල්හි, ස්වාමීනි, මොහු වනාහි කළකිරුණු කෙනෙකැයි කීවාහුය. ශාස්තෲන් වහන්සේ සත්‍යයක්දැයි විචාරා, සත්‍යය යයි ස්වාමීනි’යි කී කල්හි, භික්ෂුව, පෞරාණික පණ්ඩිතයෝ රාජ්‍යය විචාරන්නාහු කෙලෙස් උපන් කල්හි ඒ වසඟයට නොගොස්, සිත් වලකා නුසුදුස්සක් නොකළාහුයයි කියා අතීතය ගෙනහැර පා වදාළ සේක.
අතීතයේ සිවි රටෙහි අරිට්ඨපුර නගරයේ සිවි නම් රජු රාජ්‍යය කෙළේය. බෝධිසත්ත්වයෝ ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි උපන්හ. සිවි කුමාරයා යයි ඔහුට නම් කළහ. සේනාපතියා ගේ බිරිඳ වූ පුතකු වැදුවාය. ඔහුට අභිපාරකයයි නම් කෙළේය. ඒ දෙදෙනාම සහායක ව වැඩෙන්නාහු සොළොස් අවුරුදු වී තක්ෂිලාවට ගොස්, ශිල්ප උගෙන පැමිණියහ. රජ පුතුට රාජ්‍යය පැවරීය. ඔහු ද අභිපාරක සේනාපති තනතුරේ තබා ධාර්මිකව රාජ්‍යය කර වූයේය. ඒ නගරයේම කිරීටවච්ඡ නම්, අසූ කෙළක් ධනය ඇති සිටුවරයකුට දුවක උපන්නාය. ඇය උත්තම රූපශ්‍රීයෙන් ද, සෞභාග්‍ය සම්පන්න බැවින් ද, ශුභ ලක්ෂණයෙන් ද සමන්විත වූවාය. ඇයට නම් තබන දිනයෙහි උම්මාදන්ති යයි නම් කළහ. ඇය සොළොස් අවුරුදු කාලයේ මිනිස් ස්වභාවය ඉක්මවා, දිව්‍ය අප්සරාවක් වැනි මනා රූප සම්පත්තියකින් යුක්ත වූවාය. යම් යම් පෘථග්ජනයෝ ඇය බලත් ද, ඔවුහු ස්වකීය විලාශයෙන් සිටීමට නොහැකිවන්නේ ප්‍රාණ මදයෙන් මෙන් ක්ලේශ මදයෙන් මත්වී, සිහිය පිහිටුවා ගැනීමට පවා නොහැකි වූහ.
ඉක්බිති ඇයගේ කිරීටවච්ඡ නම් පියා, රජු වෙත එළඹ දේවයන් වහන්ස, මගේ නිවසේ ස්ත්‍රී රත්නයක් උපන්නාය. රජුගේ සුදුසු නිමිත්ත පාඨක බ්‍රාහ්මණයන් යවා, ඇය විමසා, කැමැති දෙයක් කරව යයි කීවේය. රජු; යහපතැයි කියා, බ්‍රාහ්මණයන් යැවීය. ඔවුහු සිටු ගෙදරට ගොස්, කරන ලද සත්කාර සම්මාන සහිත කිරිබත් සංග්‍රහ පිළිගත්හ. එකෙණෙහි උම්මාදන්තිය, සර්වාලංකාරයෙන් සැරසී, ඔවුන් ඉදිරියට ආවාය. ඔවුහු ඇය දැක, සිහිය පිහිටුවා ගැනීමට නොහැකි වූවා, කෙලෙස් මදයෙන් මත් වී තමන් ආහාර අනුභව කොට නො නිමි බව ද නො දැනුණහ. ඇතැමෙක් බත්ගුලි ගෙන අනුභව කරමුයි හැඟීමෙන් හිසෙහි තබාගත්හ. ඇතැමෙක් කිහිල්ල අතරේ තැබූහ. ඇතැමෙක් බිත්තියට පහර දුන්හ. සියල්ලෝ උමතු වූහ. ඇය ඔවුන් දැක, මොවුහු මගේ ලක්ෂණ විමසන්නාහු දැයි ඔවුන් බෙල්ලෙන් අල්ලාගෙන ඉවත් කරවු යයි ඔවුන් ඉවතට ඇද දැම්ම වූහ. ඔවුහු අකුළාගත් මුහුණ ඇතිව රාජ මන්දිරයට ගොස්, දේවයන් වහන්ස, උම්මාදන්තිය කිපුණි යයි එම ස්ත්‍රිය කාළකණ්ණි තැනැත්තියකි. ඔබවහන්සේට නුසුදුසු යයි කීවාහුය. රජු ඇය කාළකණ්ණි යයි නො ගෙනාවේ ය. ඇය එම පුවත අසා, මම වනාහි කාලකණ්ණියෙකැයි රජු විසින් නොගන්නා ලදි. කාළකණ්ණීහු මෙබඳු ආකාර නොවේයයි කියා වේවා! ඉදින් ඒ රජු දක්නෙහි වීම් නම් නිස්සක් දනිමියි ඔහු කෙරෙහි වෛර බැන්දාය. ඉක්බිති ඇයගේ පියා ඇය අභිපාරකට විවාහ කර දුන්නේය. ඇය ඔහුට ප්‍රිය මනාප වූවාය.