9. සම්බුලා ජාතකය (519)
කා වෙධමානා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මල්ලිකා දේවිය අරභයා දේශනා කළ සේක. කථා වස්තුව කුම්මාස පිණ්ඩික ජාතකයෙහි විස්තර කරන ලද්දේමය. ඇය තථාගතයන් වහන්සේට පිට්ටු පිඬු තුනක් දීමේ අනුහසින් එදවසම රජුගේ අගමෙහෙසිය බවට පත් වී පළමුව නැගිටීම් ආදී වූ පස් වැදෑරුම් යහගුණයන්ගෙන් යුක්ත වූවා නුවණැතිව බුදුරදුන්ට උපස්ථාන කරන්නියකද ස්වාමියා දෙවි කොට සලකන බව සියළු නගරයෙහි ප්‍රකට විය. ඉක්බිති එක් දවසක දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, මල්ලිකා දේවිය වනාහි වත් සම්පන්න වූවා ස්වාමියා දෙවිකොට සලකන්නීය යනුවෙනි. ශාස්තෲන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහු දැයි විමසා මෙනම් වූවෙකැනැයි කී කල්හි මහණෙනි, මෝ තෙමෝ ස්වාමියා දෙවිකොට සැළකුවේ දැන් පමණක් නොවේ. පෙරද ස්වාමියා දෙවිකොට සැළකුවාම යයි ප්‍රකාශ කර අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුට සොත්‍ථිසේන නම් පුත්‍රයෙකු වීය. රජු සුදුසු වයසට පත් ඔහු යුවරජු තනතුරෙහි පිහිටුවීය. ඔහුගේ අගමෙහෙසිය සම්බුලා නම් වූවාය. උතුම් රූපශ්‍රීය දරන්නීය. උසස් ශරීර වර්ණ ඇත්තීය. සුළඟ රහිත තැන පහන් සිළුවක් මෙන් හැඟේ. මෑත කාලයෙහි සොත්‍ථිසේන රජුගේ සිරුරෙහි කුෂ්ටයක් උපන්නේය. වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නට නොහැකි වූවාය. හෙතෙම කුෂ්ටයෙන් හටගත් බිබිල බිඳෙනකල්හි පිළිකුල් සහගත වූයේ විපිළිසර වී මට රාජ්‍යයෙන් කවර අර්ථයක්ද වනයෙහි අනාථ වූවෙකුගේ මරණයෙන් මැරෙන්නෙමියි රජුට දන්වා ස්ත්‍රී සමූහයා අතහැර නික්මුණේය. සම්බුලා දේවියද බොහෝ උපායයන්ගෙන් වලක්වනු ලබන්නීද නොනැවතීම මම ඒ ස්වාමියා වනයෙහිදී රැකබලා ගන්නෙමියි කියා ඔහු සමගම නික්මුනේය. හෙතෙම වනයට පිවිස අලමුල් ඵලාපලයන් පහසුවෙන් ලද හැකි සෙවන හා ජලය ඇති පෙදෙසක පන්සලක් කර වාසය කළේය. රජ දුවණිය ඔහු පෝෂණය කළාය. කෙසේද? උදෑසනම නැගිට අසපුව හැමඳ පිවයුතු පරිහරණය කළ යුතු වතුර එළවා තබා දැහැටි හා මුවදෝනා පැන් ගෙනවුත් තබා මුහුණ සේදූ කල්හි නොයෙක් බෙහෙත් පිස ඔහුගේ වණයන්හි ගල්වා මිහිරි මිහිරි වූ ලොකු කුඩා ගෙඩි කවා කට සෝදවා අත් සේදූ කල්හි දේවයන් වහන්ස, අප්‍රමාදී වෙහි යයි කියා වැඳ පැසද සාරන අලවංගුවද කෙක්කද ගෙන ඵලාඵල සඳහා වනයට පිවිස ඵලාඵලයන් ගෙනවුත් පසෙක තබා කළයෙන් දිය ගෙනවුත් නොයෙක් චූර්ණයන්ගෙන්ද මැටිවලින්ද සොත්‍ථිසේන රජු නහවා නැවත මිහිරි ඵලාඵල පිළිගැන්වීය. පරිහරණය කර අවසානයෙහි කටසෝදන පැන් පිළිගන්වා තොමෝද ඵලාඵල වළදා පා ඇතිරිල්ල සූදානම් කර ඔහු එහි හොත් කල්හි ඔහුගේ පාදයන් සෝදා හිස පිළිබඳ පිරියම්ද පය පිළිබඳ පිරියම්ද කර යහන් පසට එළඹ හොත්තේය. මේ ක්‍රමයෙන් සිය සැමියා පෝෂණය කළාය.
ඇය එක් දවසක් වනයේ ඵලාපල ගෙන එන්නී එක් ගිරිකඳුරක් දැක පැස හිසින් බහා තබා ගඟුලැල්ලෙහි ඉවුරෙහි තබා නාන්නෙමියි බැස කහ ඇඟ උලා මනාව සෝදන ලද සිරුර ඇතියේ ගොඩට විත් වැල්කැල (පට්ටාවලින් කළ වස්ත්‍රය) හැඳ කඳුරැලි ඉවුරෙහි සිටියාය. ඉක්බිති ඇයගේ ශරීර ශෝභාවෙන් වනය එකට කාන්තිමත් වීය. එකෙණෙහි එක් අසුරයෙක් ගොදුරු පිණිස හැසිරෙන්නේ ඇය දැක පිළිබඳ සිත් ඇත්තේ වී ගාථා දෙකක් කීවේය.
කා වෙධමානා ගිරිකන්දරාය, එකාතුවං තිට්ඨසි සඤ්ඤතූරු,
පුට්ඨාසි මෙ පාණිපමෙය්‍ය මජ්ඣෙ, අක්ඛාහි මෙ නාමඤ්ච බන්‍ධවෙ ච
1. කඳුරැල්ලෙහි වෙව්ලන සිරුරෙන් යුතුව පිරුණු වටොර ඇති හුදකලාව සිටින තී කවරීද? මිටින් ගත හැකි මධ්‍යභාගය (ඉඟ) ඇති තැනැත්තිය, මවිසින් විමසන ලද්දී වෙහිය. මය තිගේ නමද නෑයන්ද කියව.
2. මනා වූ මධ්‍ය ප්‍රදේශය ඇති තැනැත්තිය, සිංහයන්ගෙන් හා ව්‍යාඝ්‍රයන්ගෙන් සෙවුනා වූ සිත්කළු වනය කාන්තිමත් කරමින් තී කවරීද? සුන්දරිය තී කවරෙකුගේද? සොඳුරිය ඔබට වඳිමි. මම අසුරයෙක් වෙමි. ඔබට නමස්කාර වේවා යනුයි.
එහි කා වෙධමානා යනු ස්නානය කර අවසන් වූ මොහොතේම වූ හෙයින් සීතලෙන් වෙව්ලන්නා වූ. සඤ්ඤතුරු යනු පිරුණු වටොර ඇති උතුම් වූ කලවා ඇත්තිය, පාණිපමෙය්‍ය මජ්ඣෙ යනු අතින් මිනිය හැකි මධ්‍යම ප්‍රදේශ (ඉඟ) ඇත්තිය. කාවාත්‍වං යනු එම්බල තී කවරීද? අභිවාදෙමි වඳිමි. දානවාහං යනු මම එක් අසුරයෙක් වෙමි. මේ නමස්කාරය ඔබට වේවා! මම ඔබට ඇඳිලි බඳිමියි කීවේය.
ඇය ඔහුගේ වචනය අසා ගාථා තුනක් කීවාය.
3. කසී රජුගේ යම් පුත්‍රයෙක් වීද ඔහු සොත්‍ථිසේන යයි ඔහු දනිත්. මම ඔහුගේ බිරිඳ වූ සම්බුලාවෝ වෙමි. අසුරය එසේ දනුව.
4. සම්බුලා නම් වූ මම ඔබට වඳිමි. යහපත් තැනැත්ත, ඔබට නමස්කාර වේවා! පින්වත, වේදේහ පුත්‍රයා රෝගී වූයේ වනයෙහි වෙසෙයි.
5. මම රෝගයේ පෙළුනු ඔහුට හුදකලාව තනි වූ ඔහුට උපස්ථාන කරමි. මම වනයෙහි හැසිර මැස්සන් නැති මී වදද මෘගයන් විසින් කා ඉතිරි කළ මස්ද යම්කලෙක හැරගෙන එමිද එය ඔහුට ආහාරය වේ. අද එය ඔහුට නොලැබ ඒකාන්තයෙන් තැවෙයි යයි සිතමි.
එහි වේදෙහ පුත්තො යනු විදේහයෙහි රජදුවගේ පුත්‍රයා. රොගසම්මත්තං යනු රෝගයෙන් පෙළුනා වූ. උපට්ඨහිං යනු උපස්ථාන කරමි. පෝෂණය කරමි. උපට්ඨිතා යයිද පෙළ වෙයි. වනමුඤ්ජාය යනු වනයෙන් රැස්කර, අහර පිණිස හැසිරීමෙහි නිරත වී. මධුමංස යනු මැස්සන් නැති මීවදද මෘගයන් විසින් කා ඉතිරි කළ මස්ද, සිංහ ව්‍යාඝ්‍ර ආදී මෘගයන් විසින් කන ලද මස්වලින් ඉතිරි වූ කොටස. තං භක්ඛො යනු මම යමක් ගෙන එමිද එයම කන හෙතෙම මගේ සැමියාය. තස්ස නූනජ්ජා යනු අද ආහර නොලබන ඔහුගේ ශරීරය අව්වෙහි දමන ලද පියුමක් මෙන් නාධතී යනු තැවෙයි. මැලවෙයි.
අනතුරුව අසුරයාගේද ඇයගේද වදන් පිළිවදන් ගාථාවෝ වෙති.
6. සම්බුලාවනි, රෝගී වූ රාජපුත්‍රයා වනයෙහි ඇසුරින් කවරක් කරන්නෙහිද මම ඔබට ස්වාමියා වෙමි.