16. තිංසති නිපාතය
1. කිංඡන්‍ද ජාතකය (511)
කිං ඡන්‍දො කිමධිප්පායො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් උපෝසථ කර්මය අරභයා දේශනා කළ සේක. එක් දිනයක ශාස්තෲන් වහන්සේ පෙහෙවස් සමාදන් වූ බොහෝ උපාසකයන්ද උපාසිකාවන්ද බණ ඇසීම සඳහා අවුත් දම් සභාවෙහි හුන් කල්හි උපාසකයෙනි, පෙහෙවස් සමාදන් වූවහුදැයි විමසා එසේය ස්වාමීනි යයි කී කල්හි පෙහෙවස් රකිනා වූ ඔබලා විසින් යහපත් වූවක් කරන ලදි. පැරැන්නෝ අඩක් වූ පෙහෙවස් රැකීමේ විපාකයෙන් මහත් වූ යසසක් ලදහයි දේශනා කර ඔවුන් විසින් අයදිනා ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු දැහැමෙන් රාජ්‍යය කරවන්නේ දාන-සීල-පෙහෙවස් විසීම ආදියෙහි අප්‍රමාදී වූයේ ශ්‍රද්ධා ඇත්තේ වීය. හෙතෙම සෙසු ඇමතිවරුන් ආදීන්ද දාන ආදීන්හි සමාදන් කරවීය. ඔහුගේ පුරෝහිතයා අනුන්ගේ පිට මස් කන්නාක් වැනි වූ අල්ලස් ගන්නා වූ කපටි තීරණ දෙන අයෙක් වීය. රජු පොහොය දින ඇමති ආදීන් කැඳවා පෙහෙවස් සමාදන් වූවෝ වහු යයි කීවේය. පුරෝහිතයා පෙහෙවස් සමාදන් නොවූයේය. ඉක්බිති ඔහු දවල් කාලයෙහි අල්ලස් ගෙන කපටි ලෙස නඩු විසඳා උපස්ථාන සඳහා පැමිණියේ රජු ඔබ පෙහෙවස් සමාදන් වූයේ දැයි ඇමතියන්ගෙන් විමසන්නේ ඇදුරුතුමනි, ඔබද පෙහෙවස් සමාදන් වූවෙකදැයි විචාළේය. හෙතෙම එසේ යයි බොරු කියා ප්‍රාසාදයෙන් බැස්සේය. ඉක්බිති එක් ඇමතියෙක් ඔබ පෙහෙවස් සමාදන් වූවෙකු නොවන්නේ වේදැයි ඔහුට චෝදනා කළේය. හෙතෙම මෙසේ කීවේය. මම කල්වේලා ඇතිවම අනුභව කළෙමි. ගෙට ගොස් කට සෝදා පෙහෙවස් අධිෂ්ඨාන කර සවස අනුභව නොකරමි. රාත්‍රියෙහි සීලය රකින්නෙමියි මෙසේ මට අර්ධ උපෝසථ කර්මය වන්නේය යි. ඇදුරුතුමනි, මැනවයි කියා හෙතෙම ගෙට ගොස් එසේ කළේය. නැවත එක්දිනක් ඔහු අධිකරණයෙහි හුන් කල්හි එක්තරා සිල්වත් ස්ත්‍රියක් නඩුවක් කරන්නී ගෙට යන්නට නොලබන්නී පෙහෙවස් රැකීම පටන් ගත්තීය. එකෙනෙහි බ්‍රාහ්මණයාට මනාව ඉදුන අඹ ආහාරයක් ගෙන ආවේය. හෙතෙම ඇයගේ පෙහෙවස් සමාදන්ව ඇති බව දැන මෙය කා පෙහෙවස් වූවක වේවායි ඇයට දුන්නේය. බමුණාගේ කාර්යය මෙපමණකි.
හෙතෙම මෑත කාලයෙහි හිමවත ප්‍රදේශයෙහි කොසිකී ගංගාවෙහි ඉවුරෙහි තුන්යොදුන් වූ අඹ වනයෙක සිත්කළු වූ බිම් පෙදෙසක ශෝභාවෙන් අගතැන්පත් රන්විමනක අලංකාර වූ සිරියහනාවක නින්දෙන් නැගිට්ටාක් මෙන් උපන්නේය. අලංකාර කර පිළියෙළ කළ උතුම් රූ දරන්නා වූ සොළොස් දහසක් දිව්‍යමය කන්‍යාවන් පිරිවර කොට ඇත්තේය. හෙතෙම රාත්‍රියෙහිම ඒ ඉසුරු සම්පත්තීන් අනුභව කරයි. විමාන ප්‍රේතයෙකු වූ හෙයින් ඔහුට තමා කළ කර්මයට සමාන විපාක වීය. අරුණ නැගෙන කල්හි ඒ දිව්‍ය විමානයෙන් අඹ වනයට පිවිසෙයි. පිවිසි කෙනෙහිම මොහුගේ දිව්‍යමය ආත්මභාවය අතුරුදහන් වෙයි. අසූරියන් තල්ගසක් පමණ වූ ආත්මභාවය පහළ වෙයි. සියළු සිරුරම දැවේ. මනාව පිපි කෑලගසක් මෙන් වෙයි. දෙඅත්හි එක එකම ඇඟිල්ලක්ම වේ. එහි මහත් වූ කුල්ලක් පමණ වූ නිය වෙයි. ඒ නියවලින් තමාගේ පිටෙහි මස් පලා උදුරාගෙන කන්නේ වේදනා ඇත්තේ මහත් වූ නාදයක් කරනුයේ දුක් අනුභව කරයි. සූර්යයා අස්තයට පැමිණෙන කල්හි ඒ සිරුර අතුරුදහන් වෙයි. දිව්‍යමය ශරීර පහළ වෙයි. අලංකාරයෙන් සැරසුන දිව්‍යමය නාටිකාංගනාවෝ නොයෙක් තූර්යයන් ගෙන පිරිවරත්. හෙතෙම මහා සම්පත් අනුභව කරමින් සිත්කළු අඹ වනයෙහි දිව්‍යමය ප්‍රාසාදයට නගී. මෙසේ හෙතෙම පෙහෙවස් සමාදන් වූ ස්ත්‍රියට අඹ ගෙඩි දීමේ ආනිසංසයෙන් තුන්යොදුන් අඹ වනය ලැබුවේය. අල්ලස් ගෙන කපටි ලෙස නඩු විසදීමේ විපාකයෙන් පිටමස් උපුටා කයි. අඩක් පෙහෙවස් රැකීමේ විපාකයෙන් රාත්‍රියෙන් රාත්‍රිය යසස අනුභව කරයි. සොළොස් දහසක් නළු ස්ත්‍රීන්ගෙන් පිරිවරන ලදුයේ හැසිරුනි.