10. ගන්ධතින්දුක ජාතකය (520)
අප්පමාදො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් රජවරුන්ට දියයුතු අවවාදයක් අරභයා දේශනා කළ සේක. රාජෝවාද ජාතකය යට විස්තර කරන ලද්දේය. අතීතයෙහි කම්පිල්ල රට උත්තර පඤ්චාල නගරයෙහි පඤ්චාල නම් රජු අගතිගාමී වූයේ අධර්මයෙන් ප්රමාදී වී රාජ්යය කරවීය. ඉක්බිති ඔහුගේ ඇමතිවරු ආදී සියල්ලෝද අධාර්මිකයෝම වූහ. බදුබරින් පීඩාවට පත්වූ රටවැසියෝ අඹුදරුවන් ගෙන වනයෙහි මෘගයෝ මෙන් හැසිරුනහ. ගම්තැනෙහි ගමක් නම් නොවීය. මිනිස්සු රාජපුරුෂයන්ට බියෙන් දවල් කාලයෙහි ගෙවල වසන්නට නොහැකි වෙති. ගෙවල් කටු අතු ආදියෙන් වටකර අරුණ නැගෙන විටම වනයට පිවිසෙත්. දවල් කාලයෙහි රාජපුරුෂයෝ විලෝපනය කරති. රාත්රියෙහි සොරු එසේ කරති. එකල්හි බෝධිසත්ත්වයන් වහන්සේ පිටත නගරයෙහි ගඳතිඹිරි ගසෙක දේවතාවා වී උපන් සේක. වසරක් පාසා රජුගේ සමීපයෙන් සහසක් වටිනා පූජා කර්මයක් ලබයි. හෙතෙම මෙසේ සිතුවේය. මේ රජු ප්රමාද වූයේ රාජ්යය කරවයි. සියළු රට විනාශ කරන්නේය. මා හැර අනිකෙක් රජු සුදුසු තන්හි පිවිසවන්නට සමර්ථ අයෙක් නම් නැත. මට උපකාරක වූ මොහු වසරක් පාසා දහසක් වටනා පූජාවෙන් පිදීය. ඔහුට අවවාද කරන්නෙමියි හෙතෙම රාත්රී කාලයෙහි රජුගේ සිරියහන් ගැබට පිවිස හිස පැත්තෙහි සිට ආලෝකයක් විහිදුවා අහසෙහි සිටියේය.
රජු ළහිරු මණ්ඩලයක් මෙන් දිළියෙන්නා වූ ඔහු දැක ඔබ කවරෙක් වෙහිද? කවර කරුණක් නිසා මෙහි ආවෙහිදැයි විචාළේය. හෙතෙම ඔහුගේ වචනය අසා මහරජතුමනි, ගඳ තිඹිරිගසේ දේවතාවා වෙමි. ඔබට අවවාදයක් දෙන්නෙමියි පැමිණියේ වෙමි. කවර අවවාදයක් දෙන්නෙහි දැයි ඇසීය. මෙසේ කී කල්හි මහබෝසත් තෙමේ මහරජතුමනි, ඔබ ප්රමාද වී රාජ්යය කරහිය. එනිසා ඔබගේ මුළුරටම නැසුනේය. විලෝපනය කලාක් මෙන් නැසුනේය. රජවරු ප්රමාදයෙන් යුතුව රාජ්යය කරන්නාහු සියළු රටවැසියන්ගේ ස්වාමිවරු නොවෙති. මෙලොව විනාශයට පත් වී පරලොවදී නැවත මහා නිරයෙහි උපදිත්. ඔවුන් ප්රමාදයට පත්වූ කල්හි ඔහුගේ ඇතුළත ජනයාද පිටත ජනයාද ප්රමාද වූවෝම වෙති. එහෙයින් රජු විසින් අතිශයින් අප්රමාදී වූවෙකු විය යුතු යයි කියා ධර්ම දේශනාව එළවා පිහිටුවමින් මෙසේ කීවේය.
අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං,
අප්පමත්තා නමීයන්ති යෙ පමත්තා යථා මතා
අප්පමත්තා නමීයන්ති යෙ පමත්තා යථා මතා
1. පමානොවීම නිවනට කරුණු වේ. ප්රමාදය මරණයට කරුණු වේ. අප්රමාදී වූවෝ නොමැරෙත්. යමෙක් පමා වූවාහුද ඔවුහු මළ අය වැනියහ.
2. මදයෙන් ප්රමාදය ඇති වේ. ප්රමාදයෙන් විනාශය හටගනී. විනාශයෙන් ද්වේෂයෝ හටගනිත්. රට පෝෂණය කරන රජතුමනි, මදයට පත් නොවෙව.
3. ප්රමාද වූ බොහෝ ක්ෂත්රියයෝ වස්තුවද රටද යන මෙයින් පිරිහුණහ. තවද ගම්දෙටුවෝ ගමින්ද පැවිද්දෝද ගිහිගෙයි වැස්සෝද පිරිහුණාහ.
4. රට වඩන්නා වූ රජතුමනි, ප්රමාද වූ ක්ෂත්රියයාගේ රටෙහි සියළු භෝගයෝ වැනසෙත්. රජුට එය දුකකැයි නියනු ලැබේ.
5. මහරජතුමනි, සීමාව ඉක්මවා පමා වන්නෙහි නම් මෙය පැරණි රජවරුන්ගේ ස්වභාවය නොවේ. සමෘද්ධිමත් වූ පොහොසත් වූ ඒ ජනපදය සොරු වනසත්.
6. රට විලෝපනය කරන කල්හි ඔහුට පුත්රයෝ නොවන්නාහ. රන් නොවන්නේය. ධනය නොවන්නේය. සියළු භවභෝග සම්පතින් පිරිහෙන්නේය.
7. සියළු සම්පත්තීන්ගෙන් පිරිහුන ක්ෂත්රිය රජුගේද නෑදෑ මිතුරෝද හිතවත්තුද ඔහු ගරු කටයුත්තෙකු කොට නොසිතති.
8. ඇතුරුවෝද බලසෙනගෙහි යුක්ත වූවෝද රියකරුවෝද පාබල සේනාවෝද ඔහු ඇසුරු කර ජීවත් වන්නාහු නමුත් ඔහු ගරු කටයුත්තෙකු කොට නොසිතන්නේය.
9. මනාව සංවිධානය නොකළ කර්මාන්ත ඇති නපුරු මන්ත්රණ ඇති මන්ත්රීවරුන්ගෙන් යුත් නුනුවණැති මෝඩයා සර්පයා දිරාගිය හැව මෙන් සම්පත (ශ්රීකාන්තාව) අත්හරී.
10. මනාව සංවිධානය කළ කර්මාන්ත ඇති කලට නැගී සිටින්නා වූ අනලස් වූ රජුට වෘෂභයෙකුගෙන් යුතු ගවරැළ මේ සියළු සම්පත් වැඩේ.
11. මහරජතුමනි, තොරතුරු ඇසීම සඳහා රටෙහිද ජනපදයන්හිද හැසිරෙව. එහි තොරතුර දැකද අසාද අනතුරුව ඒ අනුව පිළිපදුව යනුවෙනි.
එහි අප්පමාදො යනු සිහියෙන් වෙන් නොවූයේ. අමතපදං යනු අමාවට නිවනට කරුණු අවබෝධයට කාරණය. මච්චුනො පදං යනු මරණයට කාරණය. ප්රමාද වූ තැනැත්තා විදර්ශනා වඩා නැවත පිළිසිඳ නොගන්නා බවට පත් වීමට නොහැකි වන්නේ නැවත නැවත සසර උපදින්නේද වේ. මැරෙන්නේද වේ. එහෙයින් ප්රමාදය මරණයට හේතු වේ නම් වෙයි. නමීයන්ති යනු විදසුන් වඩා නැවත පිළිසිඳ නොගන්නා බවට පත්වී නැවත සසර නොඋපදින හෙයින් මිය නොයත් නම් වේ. යෙ පමන්තා යනු මහරජතුමනි, යම් පුද්ගලයෝ ප්රමාද වූවාහුද ඔවුහු මළ අය යම්සේද එසේම දත යුත්තාහ. කුමක් හෙයින්ද කාර්ය සාධනය නොකරන හෙයිනි. මළ තැනැත්තාටද මම දන් දෙන්නෙමි. සිල් රකින්නෙමි. පෙහෙවස් කරන්නෙමි. සුසිරිත් දහම් පුරන්නෙමියි සිතා බැලීමක් හෝ පැතීමක් හෝ නැගී සිටීමක් හෝ නැත. පමා වූවහුට අප්රමාදී බැවින් පහවූ දැනීම් ඇති හෙයිනි. එහෙයින් මේ දෙදෙනාම එක හා සමාන වේ.