8. පණ්ඩරක ජාතකය (518)
විකිණ්ණ වාචං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මුසාවාද අකුසල කර්මය කොට දෙව්දත්ගේ පොළොවෙහි පිවිසීම අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ භික්ෂූන් වහන්සේලා විසින් ඔහුගේ අගුණ කී කල්හි මහණෙනි, දෙව්දත් බොරු කියා පොළොවෙහි පිවිසියේ දැන් පමණක් නොවේ. පෙරද පිවිසියේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි පන්සියයක් වෙළෙන්දෝ නැවෙන් මුහුදට පැමිණ සත්වන දවස්හි තෙරක් නොදක්නේ මුහුද මත නැව බිඳුන කල්හි එකෙකු හැර සෙස්සෝ මසුන් කැසබුවන් ආදීන් විසින් කෑවෝ වූවාහුය. එක් අයෙක් වාත වේගයෙන් කදම්බිය නම් පටුනට පැමිණියේය. හෙතෙම මුහුදින් ගොඩට විත් නග්න වේශයෙන් ඒ පටුන්හි අහර පිණිස හැසිරුනේය. මිනිස්සු ඒ මේ තැනැත්තා දැක මේ ශ්‍රමණයා අල්පේච්ඡ වූයේය. ලද යෙින් සතුටු වන්නෙකැයි සලකා සත්කාර කළාහුය. හෙතෙම මට ජීවත්වීමේ උපායයක් ලැබුනේ යයි ඔවුන් හැඳ පෙරවීමට වස්ත්‍ර දෙන කල්හිද නොකැමති වීය. ඔවුහු මෙයට වඩා උතුම් අල්පේච්ඡ ශ්‍රමණයෙක් නැතැයි බෙහෙවින් පැහැදී ඔහුට අසපුවක් කර එහි ඔහු වාසය කරවූහ. හෙතෙම කදම්බිය අචේලකයායි ප්‍රකට වීය. එහි වසන්නා වූ ඔහුට මහා ලාභ සත්කාර උපන්නේය.
එක් නාග රාජයෙක්ද එක් ගුරුළු රාජයෙක්ද ඔහුට උපස්ථාන පිණිස පැමිණෙත්. ඔවුන් අතර නා රජු පණ්ඩරක නම් වේ. ඉක්බිති එක් දවසක් ගුරුළු රජු ඔහු වෙත පැමිණ වැඳ එකත්පස්ව හුන්නේ මෙසේ කීවේය. ස්වාමීනි, අපගේ නෑදෑයෝ නාගයන් ගන්නෝ බොහෝ දෙනෙක් විනාශ වෙති. මේ නාගයන් ගන්නා වූ ක්‍රමය අපි නොදනිමු. මොවුන් පිළිබඳව රහසිගත කරුණක් ඇත. නුඹවහන්සේ ප්‍රිය වූවන් වැනි මොවුන් වෙතින් ඒ කරුණ විමසන්නට හැකිවන්නෙහිය. හෙතෙම මැනවයි පිළිගෙන ගුරුළු රජු වැඳ ගිය කල්හි වැඳ හුන්නා වූ නා රජුගෙන් මෙසේ විචාළේය. නාරජතුමනි, ඔබලා අල්ලා ගන්නා වූ ගුරුළෝ බොහොමයක් දෙනා විනාශ වෙති. තෙපි ගන්නාහු කෙසේ නම් ගන්නට නොහැකි වෙත් දැයි විමසීය. ස්වාමීනි, මෙය අපගේ සැඟවුන රහසෙකි. මෙය කියන්නා වූ මා විසින් මගේ ඤාති සමූහයාට මරණය ගෙන ආවේ වෙයි. ඇවැත්නි, කිම ඔබ මේ කරුණ අනිකෙකුට කියන්නේය යයි මෙසේ හැගීම් ඇත්තේ වීය. මම අනිකෙකුට නොකියමි. තමා විසින් දනු කැමැත්තෙන් විමසමි. ඔබ මා අදහා බිය රහිත වී කියව යයි කීවේය. නා රජු “නොකියමි ස්වාමීනි” යයි කියා වැඳ ගියේය. දෙවන දවස්හිද විචාළේය. එසේම එදිනද ඔහුට නොකීවේය.
ඉක්බිති තෙවන දවස්හි පැමිණ සිටි නාරජුට කියනුයේ, නා රජුනි, විමසන්නා වූ මගේ අද තෙවන දවසයි. කුමක් නිසා නොකියෙහිදැයි විමසීය. ස්වාමීනි, තෙපි අනිකෙකුට කියන්නෙහුය යන බියෙන් යයි කීවේය. කිසිවෙකුට නොකියන්නෙමුය. බිය නැතිව කියවයි කීවේය. ස්වාමීනි, එසේ නම් අනිකෙකුට නොකියව යයි ප්‍රතිඥා ගෙන ස්වාමීනි අපි මහත් වූ ගල් ගිල බර ඇත්තෝ වී වැදහෙව ගුරුළන් පැමිණෙන කල්හි මුහුණ දල්වා දත් විවර කර ගුරුළන් දෂ්ට කරන්නට කැමති වෙමු. ඔවුහු අවුත් අපගේ හිස් අල්ලා ගනිත්. බොහෝ බර ඇතිව හොත්තා වූ අප ඔසවන්නට වෑයම් කරන්නා වූ ඔවුන් ජලයට වැටෙයි. ඔවුහු ජලය තුළදීම මරණයට පත් වෙති. මේ කරුණින් බොහෝ ගුරුළෝ නැසෙත්. අප ගන්නා වූ ඔවුන් හිසෙන් ගැනීමෙන් කවර ප්‍රයෝජනයක්ද? ඔවුහු මෝඩයෝය. අප නගුටින් ගෙන හිස යටිකුරු කොට ගන්නා ලද්දේ ගොදුරු කරගත් ගල මුඛයෙන් හෙළා සැහැල්ලු කර යන්නට හැකි වෙත් යයි මෙසේ තමාගේ රහස්‍ය වූ කරුණ ඒ දුශ්ශීලයාට කීවේය.
ඉක්බිති ඔහු ගියකල්හි ගුරුළු රජු අවුත් කදම්බිය අචේලකයාට වැඳ ස්වාමීනි, ඒ නාරජුගේ රහස්‍ය කරුණ කිම විමසන ලදදැයි කීවේය. හෙතෙම ඇවැත්නි, එසේ යයි කියා සියල්ල ඔහු විසින් කියන ලද අයුරින්ම කීවේය. ගුරුළා ඒ අසා “නාරජු විසින් අයුත්තක් කරන ලදි. නෑදෑයන් නැසෙන ක්‍රමය අනුන්ට නොකිව යුතුය. වේවා! මවිසින් අදම පියාපත් සුළඟ කර පළමුව ඔහුම ගන්නට වටී යයි සිතීය. හෙතෙම පියාපත් සුළඟ ඇතිකර (මුහුදුදිය දෙබෑ කර) පණ්ඩරක නාරජු නගුටෙන් ගෙන හිස යටිකුරු කර ගන්නාද ගොදුර හෙළවා ඉගිලී අහසට පැන නැංගේය. පණ්ඩරක නාගයා හිස යටිකුරු කර අහසෙහි එල්බෙන්නේම මවිසින් මගේ දුක ගෙන එන ලදැයි හඬමින් මෙසේ කීවේය.
විකිණ්ණවාචං අනිගුය්හ මන්තං, අසඤ්ඤතං අපරිචක්ඛීතාරං,
භයං තමන්වෙති සයං අබොධං, නාගං යථා පණ්ඩකරං සුපණ්ණො
භයං තමන්වෙති සයං අබොධං, නාගං යථා පණ්ඩකරං සුපණ්ණො
1. විසුරුණු වචන ඇති නොසඟවන ලද මන්ත්‍රණ ඇති සන්සුන් බැවින් තොර වූ කිවයුතු නොකිවයුතු පුද්ගලයා නොදන්නා වූ නුවණ නැති පුද්ගලයා වෙත තමා විසින්ම කරන ලද භය පැමිණෙයි. ගුරුළා පණ්ඩරක නාගයා වෙත පැමිණියේ යම් සේද එසේය.
2. යම් මිනිසෙක් රැකිය යුතු රහස් මන්ත්‍රණය මෝඩකම නිසා රැකිය නොහැකි පුද්ගලයාට කියනුයේ බිඳුන මන්ත්‍රණ ඇති ඔහු වෙත වහා බිය පැමිණේ. ගුරුළා පණ්ඩරක නාගයා වෙත පැමිණියේ යම් සේද එසේය.
3. අනුව පැවතීම් පමණකින් මිතුරු වූ තැනැත්තා බැරෑරුම් වූ රහස් කරුණ දැනගන්නට සුදුසු නොවේ. නුවණින් තොර සුහද මිතුරාද අනර්ථකාරී නුවණ ඇත්තාද එසේම වෙයි.
4. මම මේ අචේලකයා පිළිගත් ශ්‍රමණයෙක් යයිද වඩනා ලද ඉඳුරන් ඇත්තෙකැයිද සිතා විශ්වාසයට පැමිණියෙමි. මම ඔහුට රහසිගත කරුණ විවෘත කර කීවෙමි. දැන් ඉක්මගිය යහපත ඇත්තෙම් බැගෑපත්ව හඬමි.
5. සුපර්ණය, පළමුකොට මේ සැඟවිය යුතු වචනය ඔහුට සඟවන්නට නොපොහොසත් වීමි. ඔහුගේ පැත්තෙන් මට බිය පැමිණියේය. දැන් ඉක්මගිය යහපත ඇත්තෙම් බැගෑපත්ව හඬමි.