5. සම්භව ජාතකය (515)
රජ්ජං ච පටිපන්නස්මා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ප්‍රඥා පාරමිතාව අරභයා දේශනා කළ සේක. වර්තමාන කථා වස්තුව මහා උම්මග්ග ජාතකයෙහි ප්‍රකට වන්නේය.
අතීතයෙහි කුරු රට ඉඳිපත් නුවර ධනඤ්ජය කොරව්‍ය නම් රජු රාජ්‍යය කරවීය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ පුරෝහිත බ්‍රාහ්මණයා සුචීරත නම් වීය. රජු දන් දීම් ආදී පිං කරමින් දැහැමෙන් රාජ්‍යය අනුශාසනා කළේය. හෙතෙම එක් දිනයක ධර්මයාග නම් වූ ප්‍රශ්නයක් සකසා සුචීරත බ්‍රාහ්මණයා අසුනෙහි හිඳුවා සත්කාර කර ප්‍රශ්නය විමසන්නේ ගාථා සතරක් කීවේය.
රජ්ජං ච පටිපන්නස්මා - ආධිපච්ච සුචීරත,
මහන්තං පත්තු මිච්ඡාමි - විජෙතුං පඨවිං ඉමං
1. සුචීරත බ්‍රාහ්මණය, අපි මෙරට රාජ්‍යත්වයටද ආධිපතිත්‍වයටද පත් වූවෝ වෙමු. මේ පෘථුවිය දිනන්ටත් රාජ්‍යයෙහි මහත් බවට පත් වන්නටත් කැමැත්තේ වෙමි.
2. එයද ධර්මයෙන්ය. අධර්මයෙන් නොවේ. අධර්මය මට රුචි නොවේ. සුචීරතය, හැසිරෙන ලද ධර්මය රජුගේම කාර්යයකි.
3. බ්‍රාහ්මණය, මෙලොවදී යමක් කරණ කොටගෙන නින්දා නොලබන්නාහුද, යමක් කරණ කොටගෙන පරලොවදී නින්දා නොලබන්නාහුද, යමක් කරණ කොටගෙන කීර්තියට පැමිණෙමුද (එය කියව)
4. බ්‍රාහ්මණය, යම්බඳු වූ මම අර්ථයද ධර්මයද කරන්නට කැමති වෙමි. බ්‍රාහ්මණය, මවිසින් විචාරන ලද්දේ ඒ අර්ථයද ධර්මයද ඔබ කියව.
එහි රජ්ජං යනු ආචාර්යතුමනි, අපි මේ සත්යොදුන් වූ ඉඳිපත් නුවර රාජ්‍යයටද තුන් යොදුන් ඇති කුරු රටෙහිද ප්‍රධානී බව නම් අධිපති බවටද පටිපන්නා ලබන ලද්දෝ වෙමු. මහන්තං යනු දැන් මහත් බවට පත්වන්නට කැමති වෙමි. විජෙතුං යනු මේ පොළොව ධර්මයෙන් අභිභවය කරන්නට වසා පැතිර වන්නට කැමැත්තෙමි. කිච්චො වා යනු අවශේෂ ජනයා විසින් රජුගේ ධර්මයම කළයුතුය. අතිශයින් කළයුතුය. ලෝකයා රජු අනුව පවතින්නේ වේ. ඔහු දැහැමි වූ කල්හි සියල්ලෝම දැහැමි වෙත්. එහෙයින් මේ ධර්මය නම් රජුගේම කාර්යය වෙයි.
ඉධ චෙ වානින්‍දිතො යනු යම් හෙයකින් අපි මේ ලෝකයෙහිද පරලොවහිද නින්දාවට පත් නොවූවාහු. යෙන පප්පෙමු යනු යමක් කරණ කොටගෙන අපි නිරය ආදීන්හි නොඉපිද දෙවියන් අතරද මිනිසුන් අතරද යසසට ඉසුරට සෞභාග්‍යයට පැමිණෙන්නෙමු. අපට ඒ කරුණ කියවයි යනුයි. යොහං යනු බ්‍රාහ්මණය, යම්බඳු වූ මම ප්‍රතිඵල විපාක නම් වූ අර්ථයද ඒ අර්ථයට හේතුකාරක වූ ධර්මයද ඉටු කරන්නට සමාදන් වී පවතින්නට උපදවන්නටද කැමැත්තෙමි. තං ත්‍වං ඒ මට, ඒ ධර්මය, සුවසේ නිවන්ගාමී මාර්ගයට නැග නොගැටෙන බව පතන්නා වූ ඒ අර්ථයද ධර්මයද අසන්නා වූ මට කියව. ප්‍රකට කර කියව යයි බ්‍රාහ්මණයාගෙන් ධර්මය හා යෙදුන ප්‍රශ්නය විචාළේය.
මේ ප්‍රශ්නය ගැඹුරු වූවකි. බුදුවරුන්ට විෂය වූවකි. සම්මා සම්බුදු වරයෙකුම ඒ ප්‍රශ්නය විමසීමට සුදුසුය. උන්වහන්සේ නොමැති කල්හි සර්වඥතා ඥානය සොයන්නා වූ බෝසතුන් විමසන්නට වටී. සුචීරත වූ කලී තමාගේ සත්‍යාවබෝධය නොකළ හෙයින් ප්‍රශ්න විසඳන්නට නොහැකි වීය. නොහැකි වන්නේ පණ්ඩිතමානී බව නොකර තමාගේ අසමර්ථ බව ප්‍රකාශ කරමින් ගාථාවක් කීවේය.
5. ක්‍ෂත්‍රියය, ඔබ යම් අර්ථයක්ද ධර්මයක්ද කිරීමට කැමැත්තෙහිද එය කියන්නට විධුර පණ්ඩිතයා හැර අනිකෙකු සුදුසු නොවේ.
එහි අර්ථය, මහරජතුමනි, මේ ප්‍රශ්නය මා වැන්නවුන්ට විෂය නොවේ. මම මේ ප්‍රශ්නයෙහි මුල ද අග ද නො දකිමි. අඳුරට පිවිසියෙකු මෙන් වෙමි. බරණැස් නුවර රජුගේ පුරෝහිත වූ විධුර නම් බ්‍රාහ්මණයෙක් ඇත. ඔහුම ඒ කරුණ කියන්නේය. යම් හෙයකින් ඔබ අර්ථයද ධර්මයද කරන්නට කැමති වන්නෙහිද මෙය කියන්නට ඔහු හැර අනිකෙකු සුදුසු නොවෙයි.
රජු ඔහුගේ වචනය අසා එසේ නම් බ්‍රාහ්මණය, වහා ඔහු වෙතට යවයි පඬුරු දී ඔහු පිටත්කර හරිනු කැමැත්තේ ගාථාවක් කීවේය.
6. සුචීරත බ්‍රාහ්මණය, එව. මවිසින් මෙහෙයවන ලද්දේ විධුර පණ්ඩිතයා සමීපයට යව. රන්රුවන් කහවනු ගෙන යව. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනු පිණිස පූජා වශයෙන් මෙය දෙව.
එහි උපන්තිකං යනු සමීපයට. නික්ඛං යනු පස්තුලාවක් රන් එක් කහවනුවක් වේ. රන්රුවන් දහයක් කහවනු දී මෙසේ කීවේය. ඉමං දජ්ජා යනු එහෙයින් මේ ධර්මය හා බැඳුන ප්‍රශ්නය කී කල්හි ඒ අර්ථ ධර්ම අනුශාසනාවට පූජා කරමි මේ කහවනු දහස දෙන්නෙහි යයි කීවේය.
හෙතෙම මෙසේද කියා පැන විසඳීම් ලිවීම සඳහා ලක්‍ෂයක් වටනා රන්පටක්ද ගමන් කිරීම සඳහා යානාවක්ද පිරිවර සඳහා බලසෙනගද ඒ පඬුරුද දී එකෙණෙහිම පිටත්කර හැරීය. හෙතෙම ඉඳිපත් නුවරින් නික්මී සෘජුවම බරණැස් නුවරට අවුත් යම් යම් තැන පණ්ඩිතයෝ වාසය කරත්ද ඒ තැන්වලට එළඹ සියළු දඹදිව පැන විසඳන්නෙක් නොලැබ අනුපිළිවෙලින් බරණැසට පැමිණ එක්තැනක නිවාසයක් ගෙන කිහිප දෙනෙකු සමග උදෑසන ආහාරය අනුභව කරන වේලාවෙහි විධුර පණ්ඩිතයාගේ නිවසට ගොස් පැමිණි බව දන්වා ඔහු විසින් කැඳවන ලද්දේ සිය නිවෙස්හි අනුභව කරනු ලබන ඔහු දුටුවේය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් සත්වන ගාථාව වදාළ සේක.