6. මහාකපි ජාතකය (516)
බාරාණස්සං අහු රාජා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දෙව්දත්ගේ ගල් පෙරළීම අරභයා දේශනා කළ සේක. ඔහු විසින් දුනුවායන් යොදවා මෑත කාලයෙහි ගල් පෙරළූ පසු භික්‍ෂූන් විසින් දෙව්දත්ගේ නුගුණ ප්‍රකාශ කළ කල්හි ශාස්තෲන් වහන්සේ මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද දෙව්දත් මට ගල් පෙරළුවේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසී ගම එක් ගොවිතැනෙහි නිරත බමුණෙක් කුඹුරක් සී සා ගොනුන් නිදහස් කර උදැල්ලෙන් කටයුතු කරන්නට පටන් ගත්තේය. ගොන්නු එක් ගසක කොළ කමින් ක්‍රමයෙන් වනයට පිවිස පළා ගියාහුය. හෙතෙම වේලාව සලකා උදැල්ල තබා ගොනුන් බලන්නේ උන් නොදැක දොම්නසට පත් වූයේ උන් සොයමින් වනය තුළට පිවිස ඔබිනොබ ඇවිදින්නේ හිමවතට පිවිසියේය. හෙතෙම එහි දිශාවන්හි මුළා වී සත්දවසක් නිරාහාරව ඇවිදින්නේ එක් තිඹිරි ගසක් දැක එහි නැග ගෙඩි කමින් තිඹිරි ගසින් ගිලිහී සැටරියන් ඇති නරා ප්‍රපාතයක වැටුනේය. එහි වැටුන ඔහුට එහි දසදවසක් ගෙවුනීය. එකල්හි බෝසත් තෙමේ වඳුරු යෝනියෙහි ඉපදී ලොකු කුඩා ගෙඩි කමින් යන්නේ ඒ පුරුෂයා දැක ගලෙක යොතක් (ලණුවක්) යොදා ඒ පුරුෂයා උඩට ගත්තේය. හෙතෙම නිදන්නා වූ ඒ වඳුරාගේ හිස ගලකින් ගසා පැළුවේය. මහබෝසත් තෙමේ ඔහුගේ ඒ කටයුත්ත දැන උඩට නැගී අත්තක හිඳ එම්බා පුරුෂය, ඔබ බිමින් යව. මම අතුඅගින් යන්නේ ඔබට මග කියමින් යන්නෙමියි ඒ පුරුෂයා වනයෙන් බැහැර කර මාර්ගයෙහි තබා පර්වත පාදයටම පිවිසියේය. ඒ පුරුෂයා මහබෝසතුන් කෙරෙහි අපරාධ කර කුෂ්ට රෝගියෙක් වී මෙලොවදීම මනුෂ්‍ය ප්‍රේතයෙක් වීය.
හෙතෙම අවුරුදු හතක් දුකින් පෙළමින් හැසිරෙන්නේ බරණැස් නුවර මිගාජීර උයනට පිවිස පවුර අතරෙහි කෙසෙල්කොළ අතුරා වේදනාවෙන් යුක්ත වූයේම හොත්තේය. එකල්හි බරණැස් නුවර රජු ඒ උයනට ගොස් එහි හැසිරෙන්නේ ඔහු දැක ඔබ කවරෙක් වෙහිද කුමක් කර මේ දුකට පත් වූයේදැයි විචාළේය. ඔහුද සියල්ල විස්තර වශයෙන් කීවේය. ශාස්තෲන් වහන්සේ ඒ බව දේශනා කර මෙසේ වදාළ සේක.
බාරාණස්සං අහූරාජා කාසීනං රට්ඨවඩ්ඪනො,
මිත්තා මච්ච පරිබ්බූළ්හො අගමාසි මිගාජිරං
1. කසී රටවැසියන්ගේ රට වඩන්නා වූ රජෙක් බරණැස් නුවර වීය. මිතුරු ඇමතිවරුන් විසින් පිරිවරන ලද ඔහු මිගාජීර නම් උයනට ගියේය.
2. එහිදී සුදු කුෂ්ටයෙන් ඒ පැහැ ඇති. කබර සහිත වූ සැරව වැගිරෙන කොබෝලීල ගෙඩි වැනිම නැසුන මස් ඇති කෘශ වූ නහර ඉල්පී පෙනෙන බ්‍රාහ්මණයා ඔහු දුටුවේය.
3. අතිශයින් බැගෑපත් බවට පැමිණි දුකට පත් මිනිසා දැක විශ්මයට පත් රජු මොහු යක්‍ෂයන් අතර කවරෙක් වෙහිදැයි කීවේය.
4. ඔබගේ අත් පා සුදුය. හිස ඊටත් වඩා සුදුය. නුඹගේ සිරුර කබර සහිතය. කුෂ්ට රෝගය බහුලකොට ඇත්තෙහිය.
5. ඔබගේ පිට ඇටවැලක් මෙන් උස්පහත් වූයේය. ඔබගේ අවයව කලවැල් පුරුක් මෙනි. මෙබඳු වූ අනිකෙක් නොදුටුවෙමි.
6. දූවිලියෙන් ගැවසී ගත් පා ඇත්තෙහිය. තැත්ගත්තෙහිය. කෘෂ වූවෙහි. ඉල්පුනු නහර ඇත්තෙහි. දුර්වර්ණ වූයෙහිය. වියලි සිරුර ඇත්තෙහි කොහි සිට පැමිණියෙහිද කොහි යන්නෙහිද?
7. නපුරු දර්ශන ඇත්තෙහිය. විකෘති වූ සිරුර ඇත්තෙහිය. දුර්වර්ණය. බියකරු දැකුම් ඇත්තෙහිය. නුඹගේ වැදූ මව වූ යම් තැනැත්තියක වේද ඒ මවද ඔබ දකින්නට නොකැමති වන්නේය.
8. පෙර කිනම් කර්මයක් කළෙහිද? කිම නිවැරදිකරුවෙකු නැසුවෙහිද කෙබඳු වූ යමක් කර මේ දුකට පැමිණියේද යනුවෙනි.
එහි බාරාණස්සං යනු බරණැස් නුවරෙහි. මිත්තාමච්ච පරිබ්බුළ්හො යනු මිතුරන් විසින්ද දැඩි භක්ති ඇති ඇමතිවරු විසින්ද පිරිවරන ලද්දේ. මිගාජීරං යනු එනම් ඇති උයනට. සෙතං යනු සුදු කුෂ්ටයෙන් සුදු වූ කබර කුෂ්ටයෙන් විවිධ පැහැ ඇති. බිදුනා වූ කැසීම් ඇති කිලාස (ඇදුම) කුෂ්ටයෙන් යුත්. කිලාසිනං වේදනාව ඇතිව කෙසෙල් කොළයෙහි හොත්තා වූ ඔහු දුටුවේය. විද්ධසතං කොවිළාරංච යනු තුවාලයන්හි මුඛයන්ගෙන් වැගිරෙන්නා වූ මස්වලින් නසනා ලද්දේ මල් පිපුන කොබෝලීල ගස හා සමාන වූ. කිසං යනු ඇතැම් තැන්හි ඇට හා සම පමණක් ඇති සිරුර ඇතිව නහර සමූහයෙන් පැතිරුන. බ්‍යම්හිතො බියට පත් වූයේ. විශ්මයට පැමිණියේ හෝ. යක්ඛානං යකුන් අතර කවර යකෙක් නම් වේදැයි. වට්ටනාවලිසංකාසා යනු පිටෙහි කටු ඇති තන්හි අවුනා තබන ලද වැලක් හා සමාන වූ. අංගා යනු ඔබගේ අවයවයෝ කළු පුරුක් ඇති වැලක් හා සමාන වෙති. නාඤ්ඤං යනු මෙබඳු වූ අන් පුරුෂයෙක් නොදකිමි. උග්ඝට්ටපාදො යනු දූවිලි වැකුණු පා ඇති. ආතප්පරූපො යනු වියලි ශරීර ඇති. දුද්දසී යනු දුකසේ දැකිය යුතු. අප්පකාරොසි යනු සිරුරක ආකාරයෙන් තොර වූයේ මනාව නොපිහිටියේ වෙහිය යන අර්ථයි. කිබ්බිසං දරුණු කටයුත්ත.