4. ඡද්දන්ත ජාතකය (514)
කින්නු සොචසි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් එක් තරුණ භික්‍ෂුණියක අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර වැසි ඒ කුලදියණිය ගිහිගෙයි විසීමෙහි ආදීනව දැක සසුනෙහි පැවිදි වී එක් දිනයක භික්‍ෂුණීන් සමග ධර්මශ්‍රවණය සඳහා ගොස් අලංකාර කරන ලද ධර්මාසනයෙහි හිඳ ධර්මය දේශනා කරන දසබලධාරීන් වහන්සේගේ අප්‍රමාණ පින්බල මහිමය නිසා උපන් උතුම් රූප සම්පත්තියෙන් යුත් ආත්මභාවය බලා භවයෙහි හැසිරෙන්නා වූ මට මේ මහා පුරුෂයාගේ ඇසුරු කළ විරූ පාදපරිචාරිකාව වූවාදැයි සිතුවාය. ඉක්බිති එකෙනෙහිම ඇයට පෙර ජාතීන් සිහිකරන නුවණ ඉපදුනි. ඡද්දන්ත ඇත්රජුව උපන් කල්හි මම මේ මහා පුරුෂයාට පාදපරිචාරිකාව වූයෙමියි යනුවෙනි. ඉක්බිති එය සිහිකරන්නා වූ ඇයට මහත් වූ ප්‍රීති ප්‍රමුදිත බවක් ඉපදුනි. ඇය ප්‍රීති වේගයෙන් මහසිනහවක් සිනාසී නැවත සිතුවාය. පාදපරිචාරිකාවෝ නම් සැමියන්ට හිතැත්තීහු වෙති. ස්වල්ප වූ හිතැත්තෝද බොහෝ වූ හිතැත්තෝද වෙති. මම වූ කලී මේ මහා පුරුෂයාට අහිත වූ අදහස් ඇත්තෙම්දැයි යනුවෙනි. මම වූ කලී ස්වල්ප වූ දෝෂයක් සිතෙහි තබා එක්විසි රියනක් දිග ඇති ඡද්දන්ත මහ ඇත් රජු සෝණුත්තර නම් වැද්දා වෙත පමුණුවා විස පෙවූ ඊතලයෙන් විදවා ජීවිතක්‍ෂයට පැමිණවූයෙමියි දුටුවාය. ඉක්බිති ඇයට ශෝකයක් උපන්නේය. හදවත උණු විය. ශෝකය දරන්නට නොහැකි වන්නී ආශ්වාස ප්‍රාශ්වාස කර මහත් වූ ශබ්දයෙන් හැඬුවාය. ශාස්තෲන් වහන්සේ ඒ දැක සිනා පහළ කර, ස්වාමීනි, සිනහ පහළ කිරීමට කවර හේතුවක්ද? කවර ප්‍රත්‍යයක්දැයි භික්‍ෂු සංඝයා විසින් විමසන ලද්දේ මහණෙනි, මේ තරුණ භික්‍ෂුණිය පෙර මා කෙරෙහි කරන ලද අපරාධයක් සිහිකර හඬයි යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ කළ සේක.
අතීතයෙහි ඡද්දන්ත විල ඇසුරුකොට සෘද්ධිමත් අහසින් ගමන් ඇති ඇත්තු අටදහසක් වාසය කළාහුය. එකල්හි බෝධිසත්ත්ව තෙමේ ප්‍රධාන ඇතාගේ පුත්‍රයා වී උපන්නේය. හෙතෙම මුළුමනින්ම සුදු වූයේය. රත්පැහැ මුඛය හා පාදයන් ඇත්තේ විය. මෑත කාලයෙහි වැඩිවියට පත් හෙතෙම අට අසූ රියනක් උස වූයේ වීය. එක්විසි රියනක් දිග වීය. රිදීදමක් හා සමාන අටපණස් රියන් දිග සොඬකින් යුක්ත වූයේ වීය. ඔහුගේ දළ වටරවුමින් පසළොස් රියනක් වීය. දිගින් තිස්රියන් වූ සවණක් රැස්වලින් යුක්ත වීය. හෙතෙම ඇතුන් අටදහසකට ප්‍රධානියා වීය. ඔහු පන්සියයක් පසේබුදුවරුන් පිදීය. ඔහුට අගමෙහෙසියෝ දෙදෙනෙක් වූහ. ඔවුහු චූල සුභද්‍රා හා මහා සුභද්‍රා නම් වූවාහුය. ඇත්රජු අටදහසක් ඇතුන් පිරිවර කොට ඇත්තේ රන් ගුහාවක වාසය කරයි. ඒ ඡද්දන්ත විල දිගින් හා පළලින් පණස් යොදුන් වීය. ඒ මැද දොළොස් යොදුන් පමණ වූ තැන සෙවෙල් හෝ පරඬලා හෝ මඩ හෝ නැත. මැණික් කැටයේ පැහැය ඇති ජලයම සිටී. ඉන් අනතුරුව යොදුනක් පළලට පිරිසිදු හෙල්මැලි වනයකි. එය ජලය වටකර සිටියේය. ඉන් අනතුරුව යොදුනක් පළලැති පිරිසිදු නිලුපුල් වනයයි. එය වටකර සිටි යොදුන යොදුන පළලැති රතු මහනෙල් සුදු මහනෙල් රත් පියුම් සුදු පියුම් කුමුදු වනයෝ පළමු පළමු ඒවා වටකර සිටියෝය. මේ සත් වනයන්ගෙන් අනතුරුව ඇති ඒ හෙල්මැලි ආදී සියල්ල මිශ්‍ර වූ වනය යොදුනක් පමණ පලල් වූයේමය. ඒවා පිරිවරා සිටි ඉන් අනතුරුව වූ, ඇතුන්ගේ ඉගටිය පමණ වූ ජලයෙහි යොදුනක් පළලැති රත්හැල් වනයයි. ඉන් අනතුරුව දිය කෙළවරෙහි නිල් කහ රතු සුදු පැහැයෙන් අලංකාර වූ මල්වලින් ගැවසීගත් කුඩා ගස් ඇති වනයයි. මෙසේ මේ දසවනයෝ යොදුනක් පළල ඇත්තෝමය. අනතුරුව මහ මෑ වනයයි. අනතුරුව මුං වනයයි. ඉන් අනතුරුව පුහුල් කැකිරි ලබු කොමඩු යන මේ වැල් ඇති වනයෝය. අනතුරුව පුවක් ගස් පමණ වූ උක් වනයයි. අනතුරුව ඇත් දළ පමණ වූ කෙසෙල් වනයයි. අනතුරුව සල් වනයයි. ඉන් අනතුරුව සැළි පමණ වන කොස් වනයයි. අනතුරුව මිහිරි ගෙඩි ඇති සියඹලා වනයයි. අනතුරුව දිවුල් වනයයි. අනතුරුව මිශ්‍ර වූ මහ වන ලැහැබයි. ඉන් අනතුරුව උණ වනයයි. මේ මොහුට මේ කාලයෙහි වූ සම්පත්තියයි. සංයුක්ත නිකාය අටුවාවෙහි වනාහි දැන් පවත්නා වූ සම්පත්තීන්ට කියන ලදි.
උණ වනය වටකර පර්වත සතක් සිටියේය. ඔවුන්ගේ පිටත කෙළවර පටන් පළමුවැන්න චූල කාල නම් පර්වතයයි. දෙවැන්න මහා කාලනම් පර්වතයයි. අනතුරුව උදක පාර්ශ්ව පර්වතයයි. අනතුරුව චන්ද්‍ර පාර්ශ්ව නම් පර්වතයයි. අනතුරුව සූර්ය පාර්ශ්ව නම් පර්වතයයි. අනතුරුව මැණික් පාර්ශ්ව නම් පර්වතයයි. සත්වැන්න ස්වර්ණ පාර්ශ්ව පර්වතය නම් වේ. එය උසින් සත්යොදුන් වෙයි. ඡද්දන්ත විල වටකොට පැමිණියහුට මුවවිටක් මෙන් සිටියේය. එහි ඇතුල්පස රන්වන් වේ. ඉන් නික්මුණ කාන්තියෙන් ඡද්දන්ත විල ළහිරු මෙන් වෙයි. පිටත පර්වතයන් අතර එකක් උසින් යොදුන් සයකි. එකක් පසකි. එකක් සතරකි. එකක් තුනකි. එකක් දෙකකි. එකක් යොදුනක් වේ. මෙසේ පර්වත සතකින් වටකරන ලද ඒ ඡද්දන්ත පර්වතයේ ඊසානදිග කොණෙහි දියමුසු සුළඟ වදින අවකාශයෙහි මහ නුගරුකක් ඇත. එහි කඳ වටින් පසු යොදුනකි. උසින් සත්යොදුන් වේ. සිව්දිශාවන්හි අතු සතර යොදුන් සයක් වේ. උඩට නැගි අත්තද යොදුන් සයක් වූයේමය. මෙසේ ඒ ගස මුල පටන් උසින් තුදුස් යොදුනක්ම වෙයි. අතුමත්තෙහි හාත්පස දොළොස් යොදුනකි. අටදහසක් ප්‍රරොහයන්ගෙන් (නුගයෙහි කඳෙහි සිට යටට ඇදෙන මුල්) සැරසුනේය. මඩළු මැණික් පර්වතයක් මෙන් බබලමින් සිටී. ඡද්දන්ත විලේ බටහිර දිසාවෙහි ස්වර්ණ පාර්ශ්ව පර්වතයෙහි දොළොස් යොදුන් වූ ගුහාවක් ඇත. එහි ඡද්දන්ත නම් ඇත්රජු වැසි කාලයෙහි අටදහසක් ඇතුන් විසින් පිරිවරන ලද්දේ ඒ රන් ගුහාවෙහි වසයි. ග්‍රීෂ්ම කාලයෙහි ජලය මිශ්‍ර සුළඟ විඳිමින් මහනුගරුක මුල ප්‍රරෝහයන් අතර සිටියි.
ඉක්බිති එක් දිනයක මහ සල් වනය මල්පිපී සිටියේ යයි ඇත් රජුට දැන්වූවාහුය. හෙතෙම පිරිවර සහිතව සල්වන ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙමියි ඒ සල් වනයට ගොස් මනාව පිපුනා වූ එක් සල් ගසකට කුම්භස්ථලයෙන් ගැසුවේය. චුල්ල සුභද්‍රා තොමෝ උඩුසුළඟෙහි සිටියාය. ඇගේ සිරුරෙහි වියල් ලී දඬු සහිත පැරණි කොළද දිමියන්ද වැටුනි. මහා සුභද්‍රාව යටි සුළඟෙහි සිටියාය. ඇගේ සිරුරෙහි මල්රේණු මල්කෙසරු මල්පෙති වැටුනි. චූල සුභද්‍රා තොමෝ මේ ඇත් රජු තමාගේ ප්‍රිය වූ භාර්යාව මත්තෙහි මල් රේණු මල්පෙති මල් කෙසරු මල්පෙති විසුරුවීය. මගේ සිරුරෙහි වියලි දඬු සහිත පැරණි පත්‍රයන්ද දිමියන්ද විසුරුවීය. වේවා කළයුත්ත දන්නෙමියි සිතා මහබෝසතුන් කෙරෙහි වෛර බැන්දාය.
වෙනත් දවසකද ඇත්රජු පිරිවර සහිතව නෑම පිණිස ඡද්දන්ත විලට බැස්සේය. ඉක්බිති තරුණ ඇතුන් දෙදෙනෙක් සොඬින් ළෙහි හොවාගෙන කෛලාස පර්වතය මඩින්නාහු මෙන් ස්නානය කරවූවාහුය. ඔවුන් නා ගොඩට ආ කල්හි අගමෙහෙසිය ඇතින්නියන් දෙදෙනාද ස්නානය කරවූහ. ඈලාද ගොඩට පැමිණ මහබෝසතුන් සමීපයෙහි සිටියාහුය. අනතුරුව අටදහසක් ඇත්තු විලට බැස ජලක්‍රීඩා කර විලෙන් නොයෙක් මල් ගෙනවුත් රිදී ස්ථූපයක් අලංකාර කරන්නාක් මෙන් මහබෝසතුන් අලංකාර කොට පසුව ඇතින්නියන් දෙදෙනා අලංකාර කළාහුය. ඉක්බිති එක් ඇතෙක් විලෙහි හැසිරෙන්නේ සත්බුමු මහ පියුමක් ලැබ ගෙනවුත් මහබෝසතුන්ට දුන්නේය. හෙතෙම එය සොඬින් ගෙන මල් රේණු කුම්භස්ථලයෙහි විසුරුවා වැඩිමහල් වූ මහා සුභද්‍රාවට දුන්නේය. අනික් තැනැත්තී එය දැක මේ සත්බුමු පියුමද තමාගේ ප්‍රිය භාර්යාවටම දුන්නේය. මට නොදුන්නේ යයි නැවතද ඔහු කෙරෙහි වෛර බැන්දේය.