3. ජයද්දිස ජාතකය (513)
චිරස්සං වත මෙ ය මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක මව පෝෂණය කළ එක් භික්ෂුවක් අරභයා දේශනා කළ සේක. වර්තමාන කථාවස්තුව සාම ජාතකය හා සමානය. එකල්හි ශාස්තෲන් වහන්සේ පැරණි පණ්ඩිතයෝ රන්මාලාව හා සේසත හැර මව්පියන් පෝෂණය කළාහුයයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි කම්පිල්ල රට උත්තර පඤ්චාල නම් රජු වීය. ඔහුගේ අගමෙහෙසිය ගැබක් ලැබ පුතෙකු වැදුවාය. පෙර භවයෙහි ඇගේ එක් සපත්නියක් ඇය කෙරෙහි කිපී ඔබට උපන් දරුවන් කන්නට පොහොසත් වන්නෙමියි ප්‍රාර්ථනාවක් තබා යක්ෂණියක් වූවාය. ඇය එකල්හි අවකාශ ලබා ඇය දකිත්දීම ඒ තෙතමස්පේසි ඇති කුමාරයා ගෙන මුරු-මුරු ශබ්දයෙන් කා ගියාය. දෙවන වරද එසේම කළේය. තෙවනවර ඇය තිඹිරිගෙට පිවිසි කල්හි ගෙය පිරිවරා දැඩි ආරක්ෂාව කළාහුය. වැදූ දවස්හි යක්ෂණිය අවුත් නැවත දරුවා ගත්තේය. දේවිය යකින්නිය පැමිණියා යයි මහත් වූ ශබ්දයක් කළාය. ආයුධ ගත් අත් ඇති පුරුෂයෝ අවුත් දේවිය දෙන ලද සලකුණින් යක්ෂණිය ලුහුබැන්දාහුය. ඇය කන්නට අවකාශ නොලබන්නී එතැනින් පලාගොස් ජලය බැහැරවන කානුවට බැස්සාය. දරුවාද මවයයි යන හැඟීමෙන් ඇගේ තන මුවින් ගත්තේය. ඇය පුත්‍ර ස්නේහය උපදවා එතැනින් පලාගොස් සොහොනට ගොස් දරුවා ගල්ලෙනක කොට පෝෂණය කළාය. ඉක්බිති ක්‍රමයෙන් වැඩෙන්නා වූ ඔහුට මිනිස් මස් ගෙනවුත් දුන්නාය. දෙදෙනාම මිනීමස් කා එහි වාසය කළාහුය. දරුවා තමාගේ මිනිස් බව නොදනී. යකින්නියගේ පුත්‍රයා වෙමියි යන හැඟීමෙන් පසුවෙයි. හෙතෙම තම ස්වභාවය අතැර අතුරුදහන් වීමට නොහැකි වෙයි. ඉක්බිති ඇය ඔහුට අතුරුදහන් වීම සඳහා එක් මුලක් දුන්නීය. හෙතෙම ඒ මුලේ ආනුභාවයෙන් අතුරුදහන් වී මිනීමස් කමින් හැසිරුනි. යක්ෂණිය වෛශ්‍රවණ මහරජුට වතාවත් සඳහා ගියා එහිම කළුරිය කළාය. දේවියද සිව්වන වර අන් පුතෙකු වැදුවාය. හෙතෙම යකින්නියගෙන් මිදුන හෙයින් නිරෝගී වූයේය. පසමිතුරු වූ යක්ෂණිය දිනා උපන් හෙයින් ඔහුට ජයද්දිස කුමාරයා යයි නම් කළාහුය. වැඩිවියට පත්වූ ඔහු සියළු ශිල්පයන්හි නිමාවට පැමිණ සේසත ඔසවා රජ්‍යය අනුශාසනා කළේය.
එකල්හි බෝධිසත්ත්වයෝ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේය. ඔහුට අලීනසත්ථු කුමාරයා යයි නම් කළාහුය. වැඩිවියට පත් හෙතෙම උගන්නා ලද ශිල්ප ඇත්තේ වී යුවරජු වීය. ඒ යකින්නියගේ පුත්‍රයා මෑත කාලයෙහි ප්‍රමාදයකින් ඒ මුල නසා අතුරුදහන් වීමට නොහැකි වන්නේ දෘෂ්යමානවම අමුසොහොනෙහි මිනීමස් කයි. මිනිස්සු එය දැක බියෙන් තැති ගත්තාහු අවුත් රජුට දෝෂාරෝපණය කළාහුය. දේවයන් වහන්ස, එක් යකෙක් දෘෂ්යමානවම සොහොනෙහි මිනීමස් කයි කියාය. හෙතෙම පිළිවෙලින් නගරයට පිවිස මිනිසුන් මරා කන්නේය. ඌ අල්ලා ගන්නට වටනේයයි. රජු මැනවයි පිළිගෙන ඔහු ගනුවයි අණ කළේය. ඒ බලසෙනග ගොස් සොහොන පිරිවරා සිටියාහුය. යක්ෂණී පුත්‍රයා නග්න වූයේ ලොමුඩැහැ ගැන්වූ ස්වරූප ඇත්තේ මරණ බියෙන් බියපත්වූයේ කෑගසමින් මිනිසුන්ගේ අතරට පැන්නේය. මිනිස්සු යක්ෂයා යයි මර බියෙන් බියපත් වූවාහු දෙකට බෙදුනාහුය. ඔහුද ඉන් පලාගොස් වනයට පිවිසියේය. නැවත මිනිස් පියසට නොපැමිණියේය. හෙතෙම එක් වනගත මහා මාර්ගයක් ඇසුරුකොට සිටින්නේ මාර්ගයට පිළිපන්නවුන්ගෙන් එක එකා ගෙන වනයට පිවිස මරා කන්නේ එක් නුගමුලක්හි වාසය කළේය.
ඉක්බිති එක් ගැල්නායක බ්‍රාහ්මණයෙක් වනපල්ලන්ට දහසක් දී ගැල් පන්සියයක් සමග ඒ මාර්ගයා පිළිපන්නේය. මිනිස් යක්ෂයා කෑගසමින් ඔවුන් වෙතට පැන්නේය. බියට පත් මිනිස්සු ළයෙන් හොත්තාහුය. හෙතෙම බ්‍රාහ්මණයා ගෙන පලා යන්නේ උල්වලින් පාදයන් විදින ලද්දේ වනපල්ලන් ලුහුබඳින කල්හි බමුණා අතහැර දමා ගොස් තමා වාසය කරන ගසමුල හොත්තේය. ඔහු එහි හොත් සත්වන දවස්හි ජයද්දිස රජු මුව දඩයමට අණකර නගරයෙන් නික්මුනේය. ඔහු නගරයෙන් නික්මුන කෙනෙහිම තක්ෂිලා වැසි නන්ද නම් මාතෘපෝෂක බ්‍රාහ්මණයෙක් සියයක් වටනා ගාථා සතරක් ගෙන අවුත් රජු දුටුවේය. ජයද්දිස රජු ආපසු හැරී අසන්නෙමියි ඔහුට විසීමට ගෙයක් දෙවා මුව දඩයමට ගොස් යමෙකුගේ පැත්තෙන් මුවා පලායයිද ඒ ගෙල ඔහුටම හිමියයි කීවේය. ඉක්බිති එක් පසද නම් මුවෙක් නැගී සිට රජුට අභිමුඛව ගොස් පලා ගියේය. ඇමතිවරු පරිහාස කළාහුය. රජු කඩුව ගෙන ඔහු ලුහුබැඳ යොදුන් තුනක් පමණ තැනට කඩුවෙන් ඌට පහර දී දෙකොටසකට කපා කදින් රැගෙන එන්නේ මිනිස් යක්ෂයා හුන් තැනට පැමිණ දබ්බ නම් වූ තණ මතුපිට හිඳ මදක් විවේක ගෙන යන්නට පටන් ගති. ඉක්බිති හෙතෙම නැගීසිට ඔහුට කියනුයේ සිටුව කොහි යන්නෙහිද? මගේ ආහාරය වෙහි යයි අතින් ගෙන පළමු ගාථාව කීවේය.
චිරස්සං වත මෙ උදපාදි අජ්ජ, භක්ඛො මහා සත්තමිභත්තකාලෙ,
කුතො සි කො චාසි තදිංග බ්‍රෑහි, ආචික්ඛ ජාතිං විදිතො යථාසී
කුතො සි කො චාසි තදිංග බ්‍රෑහි, ආචික්ඛ ජාතිං විදිතො යථාසී
1. ඒකාන්තයෙන් නිරාහාරව සිට සත්වන ආහාර වේලාව පැමිණි කල්හි බොහෝ කලකින් අද මට ආහාරයක් උපන්නේය. කොහි සිට පැමිණියෙහිද කවරෙක් වෙහිද එම්බල මට එය කියව. ඔබ යම්බඳු වූවෙක් වෙහි යයි මම දන්නෙම්ද ඔබගේ ජාතිය කියහි.
එහි භක්ඛො මහා යනු මහත් වූ ආහාරයක්. සත්තමි භත්ත කාලෙ යනු මුලපටන් නිරාහාරව හුන්නහුගේ සත්වන ආහාර වේලාවෙහි. කුතොසි යනු කොහි සිට පැමිණියෙහිද?
රජු යක්ෂයා දැක බියට පත්වූයේ කළවායෙහි තදබවට පැමිණ පලා යෑමට නොහැකි විය. සිහි එළවා දෙවන ගාථාව කීවේය.
2. පඤ්චාල දේශයේ රජු වෙමි. මුව දඩයමට වනයට පිවිසයෙමි. ඉදින් ඔබ විසින් ජයද්දිස යයි අසන ලදද ඒ මම වෙමි. මම පර්වත පාර්ශවයෙහි වනයන්හි හැසිරෙමි. මේ පසාද මුවා අද කව. මා මුදව යනුවෙනි.
එහි මිගවං පවිට්ඨො යනු මුවන් දඩයම් කිරීම පිණිස රටින් නික්මුනේ. කච්ඡානි යනු පර්වත පාර්ශවයන්. පසදං යනු පසද නම් මුවා.
ඒ අසා යක්ෂයා තෙවන ගාථාව කීවේය.
3. යම් හෙයකින් මේ පසද මුවා මා විසින් කෑ යුතුයයි කියහිද? මවිසින් හිංසාවට පත් කරනු ලබ ඔබ මා සතු වූවක්ම මට විකුණන්නෙහිය. ආහාර ගනු කැමති මම පළමුව ඔබ කා පසුව පසද මුවා කන්නෙමි. මේ ඔබට හැඬීමට කාලය නොවේ.
එහි සෙනෙව යනු මා සතු වූවකින්ම. පණසි යනු විකුණන්නෙහිය. තමා විකුණන්නෙහිය. සස්සමානො යනු හිංසා කරනු ලබන්නේ. තං ඛාදියාන යනු ඔබ පළමුව කා. ජිසඤ්ඤං යනු කනු කැමැත්තේ. ඛාදිස්සං යනු මොහු පසුව කන්නෙමි. න විලාප කාලො යනු නොවැලපෙව. මේ වැලපීමට කාලය නොවේ යයි කියයි.