2. කුම්භ ජාතකය (512)
කො පාතුරාසී යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් විශාඛාවගේ යෙහෙළියන් වූ සුරාපානය කළ පන්සියයක් ස්ත්‍රීන් අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර සුරා උත්සවයක් ප්‍රකාශිත කල්හි ඒ පන්සියයක් ස්ත්‍රීහු උත්සවයෙහි ක්‍රීඩා කරන්නා වූ සැමියන්ට තියුණු සුරාවක් සූදානම් කර දී සැණකෙළින්නෙමුයි ඈලා සියල්ලෝම විශාඛාවගේ සමීපයට ගොස් යෙහෙළියෙනි, සැණකෙළිය කරන්නෙමුයි කියා මේ මත්පැන් උත්සවයකි. මම මත්පැන් නොබොන්නෙමියි කී කල්හි තෙපි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් දෙව්. අපි සැණකෙළි කරන්නෙමුයි කීවාහුය. ඇය මැනවයි පිළිගෙන ඈලා පිටත්කර යවා ශාස්තෲන් වහන්සේට ආරාධනය කර මහා දානයක් දී බොහෝ සුවඳමල් ගෙන සවස් කාලයෙහි ධර්මකථාව අසන්නට ඈලා විසින් පිරිවරන ලද්දී ජේතවනයට ගියාය. ඒ ස්ත්‍රීහු මත්පැන් බොමින්ම ඇය සමග ගොස් දොරකොටුවෙහි සිට සුරා බීම ඇය සමග ශාස්තෲන් වහන්සේ සමීපයට ගියාහුය. විශාඛා තොමෝ ශාස්තෲන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නීය. අනික් ස්ත්රින් අතර ඇතැම් ස්ත්‍රීහු ශාස්තෲන් වහන්සේ සමීපයෙහි නැටුවාහුය. ඇතැම්හු ගායනා කළාහුය. ඇතැම්හු අත්පා පටලවා කලහ කළාහුය.
ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ සංවේගය සඳහා ඇස්බැම ලොම්වලින් රශ්මීහු මුදාහළ සේක. අඳුරු පටලයක් වීය. ඈලා බියෙන් තැතිගත්තෝ මරණ බියෙන් බියපත් වූවෝ වූහ. එනිසා ඈලාගේ සුරාමත සිඳුනේය. ශාස්තෲන් වහන්සේ වැඩහුන් ආසනයෙහි අතුරුදහන් වූයේ මහමෙර මත්තෙහි සිට ඌර්ණ ලෝමධාතුවෙන් රැස් විහිදුවීය. සඳ හිරු දහසකගේ උදාව මෙන් වීය. ශාස්තෲන් වහන්සේ එහිම වැඩසිටි සේක් ඈලාට සංවේග ඇතිකිරීම පිණිස,
නිතර ගිනි දැල්වෙන කල්හි කවරනම් සිනහවක්ද කවරනම් සතුටක්ද, අවිද්‍යා නැමති අඳුරෙන් වසන ලද්දේ ප්‍රඥා නැමති ආලෝකය (පහන) නොසොයන්නහුදැයි යන මේ ගාථාව වදාළ සේක.
ගාථා දේශනාවසානයෙහි ඒ පන්සියයක් ස්ත්‍රීහු සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් ගඳකිළි සෙවනෙහි බුද්ධාසනයෙහි හුන් සේක. ඉක්බිති විශාඛාව උන්වහන්සේට වැඳ ස්වාමීනි, මේ හිරි ඔතප් බිඳිනා වූ මත්පැන් කවරදා උපන්නේදැයි විචාළේය. ඒ බුදුරජාණන් වහන්සේ ඇයට එය වදාරන්නේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට වැසි එක් සුර නම් වනයෙහි හැසිරෙන්නෙක් බඩු සෙවීම සඳහා හිමාලයට ගියේය. එහි එක් ගසක් නැගී සිට පුරුෂයකුගේ පමණ තැන තුන් බලයෙක් වීය. ඒ තුන්බලය අතර සැළියක් පමණ ආවාටයක් වීය. එය වැස්ස වහින කල්හි ජලයෙන් පිරුණේ වීය. එය පිරිවරා අරළු, නෙල්ලි, මිරිස් ගස් වීය. ඒවායේ ඉදුණු ගෙඩි නැට්ටෙන් සිඳී එහි වැටෙයි. ඒ නුදුරෙහි ඉබේ හටගත් හැල් ඇත. ගිරව් එයින් හැල් කරල් ගෙනවුත් ඒ ගසෙහි හිඳ කති. කනු ලබන්නා වූ ඔවුන්ගේ හැල්ද සහල්ද එහි වැටෙයි. මෙසේ හිරුගේ අව්වෙන් පැසෙන්නා වූ ජලය ලේ පැහැ වීය. ග්‍රීෂ්ම කාලයෙහි පවසින් යුක්ත වූ පක්ෂි සමූහයා එය බී මත් වූවාහු කැරකැවී ගසමුල වැටුනාහුය. ඔවුහු මදක් නිදාගෙන කෑගසමින් ඉගිල යත්. ගස් බල්ලන් වඳුරන් ආදීන් පිළිබඳවද මේ ක්රමයම වේ. වනයේ හැසිරෙන්නා එය දැක ඉදින් මෙය විෂ වූවක් වන්නේ නම් මොවුහු මැරෙත්. මොවුහු මදක් නිදාසිට සුවසේ යති. මෙය විෂක් නොවේ. හෙතෙමේද තෙමේ බී මත් වී මස් කනු කැමැත්තේ වීය. තිත් වටුවන් කුකුළන් ආදීන් මරා මස් අඟුරෙහි පිස එක් අතකින් නටමින් එක් අතකින් මස් කමින් එක් දිනක් දින දෙකක් එහිම වීය.
ඉන් නුදුරෙහි වරුණ නම් එක් තාපසයෙක් වාසය කරයි. වනයෙහි හැසිරෙන්නා ඇතැම්දිනක ඔහු සමීපයට යයි. ඉක්බිති ඔහුට මෙවැනි අදහසක් වීය. මේ පානය තාපසයා සමග බොන්නෙමියි යනුවෙනි. හෙතෙම එක් උණ පුරුකක් පුරවා පිසූ මස් සමග ගෙන පන්සලට ගොස් ස්වාමීනි, මේ පැන් බොවයි කියා දෙදෙනාම මස් කමින් බිව්වාහුය. මෙසේ සුරා නම් වූ වැද්දා විසින්ද වරුණ නම් වූ තාපසයා විසින්ද දක්නා ලද හෙයින් ඒ පාණයට සුරා යයිද වාරුණී යයිද නම් වීය. ඔවුහු දෙදෙනාද මේ උපායයක් ඇතැයි උණපුරුකක් පුරවා කදින් ගෙන පසල්දනව්වට ගොස් පැන්කරුවෝ පැමිණියෝ යයි රජුට දැන්වූවාහුය. රජු ඔවුන් කැඳවීය. ඔවුහු ඒ රජුට සුරාපානය එළවූහ. රජු දෙතුන් වතාවක් බී මත් වූයේය. ඔහුගේ ඒ මත එක් දවසක්ද දෙකක්දැයි වීය. ඉක්බිති තවත් ඇත්දැයි ඔවුන්ගෙන් විමසීය. රජතුමනි, ඇතැයි කීවේය. කොහිද? දේවයන් වහන්ස, හිමාලයෙහිය. එසේනම් ගෙන එවයි කීවේය. ඔවුහු ගොස් එක් වරක් දෙවරක් ගෙනවුත් නිතර යන්නට නොහැක්කෙමුයි සියළු උපකරණයන් සලකා ඒ ගසෙහි පොතු ආදිය ගෙන ඒ සියලු උපකරණයන් බහා නගරයෙහි දී සුරාව තැනූහ. නුවර වැස්සෝ සුරාව බී ප්‍රමාදයට පත් වූවාහු දුප්පත් වූවාහුය. නගරය හිස් වූවක් මෙන් වීය. ඒ නිසා සුරාපානය සකස් කළ අය ඉන් පලාගොස් බරණැස් නුවරට ගොස් මත්පැන් සකස් කරන්නෝ ආවාහු යයි රජුට දැන්වූහ. රජු ඔවුන් කැඳවා වියදම් දෙවීය. එහිදීද සුරාව තැනූහ. ඒ නගරයද එසේම විනාශ වීය. ඉන් පලාගොස් සාකේතයටද සාකේතයෙන් සැවැත්නුවරටද ගියාහුය.