9. තච්ඡසූකර ජාතකය (492)
යදෙසමානා විචරිම්හා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මහළු තෙරවරුන් දෙදෙනෙකු අරභයා දේශනා කළ සේක. මහකොසොල් රජු බිම්බිසාරට දුවක දෙන්නේ දුවගේ නාන මිල පිණිස කසීගම දුන්නේය. අජාසත් විසින් පියා මැරවූ කල්හි පසේනදී කොසොල් රජු ඒ ගම උදුරා ගත්තේය. ඔවුන් ඒ සඳහා යුදකරන කල්හි අජාසත් හට ජය වීය. කොසොල් රජු පරාජයට පත්වූයේ අමාත්‍යයන් විචාළේය. කවරනම් උපායයෙන් අජාසත් ගන්නෙමුදැයි කියාය. මහරජතුමනි, භික්‍ෂූන් වූ කලී මන්ත්‍රණයෙහි දක්‍ෂයෝ වෙති. චර පුරුෂයන් යවා විහාරයෙහි භික්‍ෂූන්ගේ කථාවක් පරීක්‍ෂා කරන්නට වටනේ යයි කීහ. රජු මැනවයි පිළිවදන් දී එව් තෙපි විහාරයට ගොස් පිළිසන් වී හිමිවරුන්ගේ කථාව පරීක්‍ෂා කරව් යයි පුරුෂයන් යෙදවීය. ජේතවනයෙහි බොහෝ රාජපුරුෂයෝ පැවිදි වූවාහු වෙති. ඔවුන් අතර මහළු තෙරවරු දෙදෙනෙක් විහාරය කෙළවර පන්සලෙහි වසත්. එක් අයෙක් ධනුග්ගහ තිස්ස නම් වේ. එක් අයෙක් මන්ත්‍රීදත්ත තෙර නම් වේ. ඔවුහු මුළු රෑ නිදා අළුයම පිබිදියාහුය.
ඔවුන් අතර ධනුග්ගහ තිස්ස තෙරුන් ගිනි දල්වා ස්වාමීනි, දත්ත තෙරණුවනි යයි කීය. ස්වාමීනි කිම? තෙපි නිදව්දැයි. නිදියමි. කුමක් කළයුතුද? ස්වාමීනි මේ කොසොල් රජු කෙලතොල්ලෝය. සැලියක් පමණ බොජුන් වළඳන්නට පමණක් දනී යයි කීවේය. ඉදින් ස්වාමීනි කිමද? තමාගේ කුස පණුවෙකු පමණ වූ අජාසත් රජු පරාජය කරන ලද්දේ යයි කියවයි. ස්වාමීනි කුමක් කරන්නට වටනේදැයි. ස්වාමීනි දත්ත තෙරණුවනි, යුද්ධය නම් සකට බ්‍රෑහ, චක්‍ර බ්‍රෑහ, පදුම බ්‍රෑහ වශයෙන් ත්‍රිවිධ වේ. ඒ අතරින් අජාසත් ගන්නහු විසින් සකට බ්‍රෑහය කොට ගන්නට වටී. අසවල් පර්වත කෙළවර දෙපසෙහි දක්‍ෂ පුරුෂයන් තබා ඉදිරියෙහි බලසෙනග දක්වා ඇතුලට පිවිසි බව දැන කෑගසා පැන වැටී කුමනෙහි පිවිසි මසුන් මෙන් ඇතුල් මිටෙහි කර ඔහු ගැනීමට හැකියයි කීවේය.
යොදන ලද මිනිස්සු ඒ කථාව රජුට දැන්වූහ. රජු මහත් වූ සේනාව සමග ගොස් එසේකොට අජාසත් ගෙන සැකිළි බැම්මෙන් බැඳ දින කීපයක් මාන නැත්තෙකු කොට නැවත මෙබන්දක් නොකරවයි අස්වසා මුදවා දුව වූ වජිරා කුමාරියද ඔහුට දී මහත් වූ පිරිවර සමග පිටත්කර හැරියේය. කොසොල් රජු විසින් ධනුග්ගහතිස්ස තෙරුන්ගේ සංවිධානයෙන් අජාසත් ගන්නා ලදැයි භික්‍ෂූන් අතර කථාවක් උපන්නේය. දම්සභාවෙහිද එසේම කථාව උපදවාලූහ. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්ත වූවාහුදැයි විමසා මෙනම් වූවෙකනැයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද ධනුග්ගහ තිස්ස යුද්ධ සංවිධානයෙහි දක්‍ෂයෙක් වූයේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර දොරටු සමීප ගම්වැසි එක් වඩුවෙක් දැව පිණිස වනයට ගොස් වලෙක වැටුන එක් ඌරු පැටියෙකු දැක ගෙනවුත් ඌට තච්ඡසූකර යයි නම්කොට පෝෂණය කළේය. හෙතෙම ඔහුට උපකාරී විය. තුඩින් ගස් පෙරලා දෙයි. දළින් වෙලා කළුනූල අදී. මුඛයෙන් ඩැහැගෙන වෑ නියන් මුගුරු ගෙන එයි. වැඩිවියට පත් හෙතෙම මහා බල ඇත්තේ මහා සිරුර ඇත්තේ වීය. වඩුවා ඔහු කෙරේ පුත්‍ර ප්‍රේමය උපදවා මෙහි වසන්නා වූ මොහුට කිසිවෙක් හිංසා කරන්නේ යයි වනයෙහි මුදාහැරියේය. හෙතෙම මෙසේ සිතීය. මම මේ වනයෙහි හුදකලාව වාසය කරන්නට නොහැක්කෙමි. නෑයන් සොයා ඔවුන් විසින් පිරිවරන ලද්දේ වසන්නෙමියි හෙතෙම වන ලැහැබෙහි ඌරන් සොයන්නේ බොහෝ ඌරන් දැක සතුටු වී ගාථා තුනක් කීවේය.