14. පකිණ්ණක නිපාතය
1. සාලිකේදාර ජාතකය (484)
සම්පන්නං සාලිකෙදාරං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසය කරන සේක් මව පෝෂණය කළ භික්ෂුවක අරභයා දේශනා කළ සේක. ප්‍රවෘත්තිය සාම ජාතකයෙහිදී පැහැදිලි වන්නේය. ශාස්තෲන් වහන්සේ එම භික්ෂුව කැඳවා “මහණ, ඔබ ගිහියන් පෝෂණය කරහි” යනු ඇත්තදැයි විමසා “ස්වාමීනි සත්‍යයි” කී කල්හි ඔවුහු ඔබගේ කවුරුන් වහුදැ’යි, ස්වාමීනි, මගේ මව්පියවරු යයි කී කල්හි මහණ, මැනවි. පැරණි පඬුවෝ තිරිසන්නු වී ගිරා යෝනියෙහි ඉපිදද වයසට ගිය මව්පියන් කැදැල්ලෙහි හොවා මුවතුඩින් ගොදුරු ගෙනවුත් පෝෂණය කළාහුයයි කියා අතීත කථාව ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි රජගහනුවර මගධ රජු රාජ්‍යය කරවයි. එකල්හි නුවරින් ඊසාන දිශාවෙහි සාලින්දිය නම් බ්‍රාහ්මණ ගමක් වීය. එහි ඊසාන දිග මගධ ක්ෂේත්රයයි. එහි සාලින්දිය ගම්වැසි කෝසිය ගෝත්රනම් බමුණා කිරිය දහසක් පමණ කෙතක් ගෙන හැල් වැපිරවීය. සශ්‍ය වැඩුන කල්හි වැට ශක්තිමත් කරවා කිසිවෙකුට කිරිය පණසක් කිසිවෙකුට කිරිය සැටක් පමණදැයි මෙසේ කිරිය පන්සියයක් පමණ කෙත ආරක්ෂාව පිණිස තමාගේ මිනිසුන්ට දී සෙසු පන්සියයක් පමණ කුඹුර වැටුප් දී එක් සේවකයෙකුට දුන්නේය. හෙතෙම එහි කුටියක් කර රෑ දවල් වාසය කරයි. කෙතට ඊසාන කොටසෙහි එක් පර්වත සමබිම්හි මහත් වූ ඉඹුල් වනයකි. එහි බොහෝ වූ සිය ගණන් ගිරව් වාසය කරති. එකල්හි බෝසත් තෙමේ ඒ ගිරා සමූහයෙහි ගිරා රජුගේ පුත්‍රයා වී උපන්නේය. හෙතෙම (තරුණ) වයසට පත්වූයේ මනා වූ රූප ඇතියේ ශක්තිමත් වූයේ ගැල් නැබක් පමණ වූ ශරීර ඇත්තේ වීය. ඉක්බිති ඔහුගේ පියා මහළු කාලයෙහි “දැන් මම දුර යන්නට නොහැක්කෙමි. ඔබ මේ පිරිස පරිහරණය කරවයි රාජ්‍යය පවරා දුන්නේය. හෙතෙම දෙවන දවස් පටන් මව්පියන්ට ගොදුරු පිණිස යන්නට නොදුන්නේය. ගිරා සමූහයා පිරිවරා හිමාලයට ගොස් ස්වාභාවික විල් ඇති හැල් වනයන්හි ඇතිතාක් හැල් කා පෙරළා පැමිණෙන කල්හි මව්පියන්ට ප්‍රමාණවත් ගොදුරු රැගෙන ගොස් මව්පියන් පෝෂණය කරයි.
ඉක්බිති එක් දිනයක ගිරව් ඔහුට මෙසේ දැන්වූවාහුය. පෙර මෙකල්හි මගද ක්ෂෙත්රයෙහි හැල් පැසේ. දැන් කවරක් වීද යනුවෙනි. “එසේනම් දනුව”යි ගිරව් දෙදෙනෙක් (එහි) යැවූහ. ගිරව් ගොස් මගධ ක්ෂෙත්රයෙහි බසින්නාහු වැටුපට රක්නා වූ ඒ පුරුෂයාගේ කුඹුරෙහි බැස හැල් කා එක් හැල් කරලක් ගෙන ඉඹුල් වනයට ගොස් හැල් කරල බෝසතුන්ගේ පාමුල හෙලා එහි මෙබඳු වූ හැල් (ඇතැ)යි කීවාහුය. හෙතෙම දෙවන දවස්හි ගිරා සමූහයා පිරිවරන ලද්දේ එහි ගොස් ඒ කෙතෙහි බැස්සේය. ඒ පුරුෂයා ගිරවුන් හැල් කන කල්හි ඔබිනොබ දුවගොස් වලක්වනු ලබන්නේද වලක්වාලන්නට නොහැකි වෙයි. සෙසු ගිරව් හැල් කා හිස් වූ මුවෙන්ම ආපසු යති. ගිරා රජ වූ කලී හැල් කරල් බොහොමයක් එකතු කරගෙන ගොස් මව්පියන්ට දෙයි. ගිරව් දෙවන දවස් පටන් එහිම හැල් කෑහ. ඉක්බිති ඒ පුරුෂයා ඉදින් මොවුහු අන් දින කීපයක් මෙසේ කත්ද කිසිවක් (ඉතිරි) නොවේ. බමුණා හැල් මිල තීරණය කර මා ණයකරුවෙකු කරන්නේය. ගොස් ඔහුට දන්වමියි හෙතෙම හැල්කරල් මිටක් සමග එවැනි වූ පඬුරුද ගෙන බමුණා දැක වැඳ එකත්පසෙක සිටියේ “එම්බා පුරුෂය, කිම හැල් කෙත සමෘද්ධිමත් දැයි කියා ගාථා දෙකක් කීවේය.
සම්පන්නං සාලිකෙදාරං - සූවා භුඤ්ජන්ති කොසිය,
පටිවෙදෙමි තෙ බ්රහ්මෙ - න නං වාරෙතු මුස්සහෙ
පටිවෙදෙමි තෙ බ්රහ්මෙ - න නං වාරෙතු මුස්සහෙ
1. කෝසිය ගෝත්‍රික බ්‍රාහ්මණය, හැල් කෙත සමෘද්ධිමත්ය. (එතකුදු වුවත්) ගිරව් කති. එය වලකාලන්නට නොපොහොසත් වෙමි. බ්‍රාහ්මණය, ඔබට (එය) දන්වමි.
2. එහි ගිරවුන් අතර බෙහෙවින් දැකුම්කළු එක් පක්ෂියෙක් (ගිරවෙක්) වෙයි. ඔහු රිසි සේ හැල් කා තුඩින් රැගෙනද යයි.
එහි සම්පන්නං යනු පිරිපුන්. විකලත්වයකින් තොර. කෙදාරං යනු කෙතයි. සබ්බ සුන්දරා යනු සියළු කොටස්වලින් සුන්දර වූයේයි. රතුවන් තුඩ ඇත්තේය. ඔලිඳ ඇට සමාන ඇස් ඇත්තේය. රතුවන් පා ඇත්තේය. රේඛා තුනකින් වටකරන ලද ගෙල ඇත්තේ වෙයි. මහත් වූ මොණරෙක් පමණ වේ. හෙතෙම ඇති තාක් හැල් කා සෙස්ස තුඩින් ගෙන යයි යි.
බමුණා ඔහුගේ කථාව අසා ගිරා රජු පිළිබඳව සෙනෙහ උපදවා කුඹුරු රකින්නා විචාළේය. “එම්බා පුරුෂය, පුඩු හෙලන්නට දන්නෙහිදැයි” එසේය දනිමි. ඉක්බිති ඔහුට ගාථාවකින් (මෙසේ) කීවේය.
ඒ පක්ෂියා යම් සේ බැඳේද එවැනි පුඩු අටවා තබත්වා. ඔහු ජීවග්රාහයෙන් අල්ලාගෙන මා සමීපයට ගෙන එව.
එහි ඔඩ්ඩන්තු යනු උගුල් අටවවු. වාළපාසානි යනු අස් කෙඳි ආදී රැහැණින් කළ පුඩු. ජීවඤ්චනං යනු ජීවත් වන්නා වූම ඔහු.
ඒ අසා කෙත රකින්නා හැල් අගය කර ණයකරුවෙකු නොකළ බැවින් සතුටු වූයේ (පෙරළා) ගොස් අස්කෙඳි ගොතා අද මෙතන්හි බසින්නේ යයි ගිරා රජු බස්නා තැන සලකා දෙවන දවස්හි වා පහරින් හැසිරෙන්නක් කොට පුඩුව එල්ලා ගිරවුන්ගේ පැමිණීම බලමින් කුටියෙහි හුන්නේය. ගිරා රජුද ගිරා පිරිස පිරිවරන ලදුයේ අවුත් ලොල් බැවින් තොර හැසිරීම් ඇති හෙයින් ඊයේ කෑ තන්හි අටවන ලද පුඩුවෙහි පය පිවිසවන්නේම බටුයේය. හෙතෙම තමාගේ බැඳුන බව දැන සිතීය. ඉදින් මම දැන්ම (පුඩුවෙහි) බැඳුන හෙයින් කරන්නා වූ නාදය කරන්නෙම්ද, නෑදෑයෝ බියෙන් තැති ගත්තාහු ගොදුරු නොගෙනම පලා යත්. යමතාක් මොවුන්ගේ ගොදුරු ගැනීම් වේද. එතෙක් ඉවසන්නෙමි. අනතුරුව ඔවුන් ගොදුරු කා අවසන් වූ බව දැන, මරණ බියෙන් තැතිගත්තේ (පුඩුවෙහි) බැඳුන ගිරා රජු තමන් බැඳුනු බව දක්වා තුන් යලක් හඬ නැගීය. සියලු ගිරවු ඉගිල ගියහ. ගිරා රජු මෙපමණක් මගේ ඤාතීන් අතර හැරී බලන්නෙකුද නැත. මවිසින් කවර නම් පාපයක් කරන ලදැයි විලාප කියනුයේ
4. මේ පක්ෂීහු (හැල්) අනුභව කොට (පැන්) බී ඉගිල යත්. (මම) හුදකලාව පුඩුවෙන් බැඳුනේ වෙමි. මවිසින් කවර පවක් කරන ලදද?
යන ගාථාව කීවේය.
කෙත් පල්ලා ගිරා රජුගේ පුඩුවෙහි බැඳීමෙන් කළ නාදයද ගිරවුන්ගේ අහසෙහි ඉගිලෙන ශබ්දයද අසා කවරෙක්දැයි කුටියෙන් බැස පුඩුව තිබූ තැනට ගොස් ගිරා රජු දැක යමෙකු වෙනුවෙන්ම මවිසින් පුඩුව තබන ලදද ඔහුම බැඳුනේ යයි සතුටු සිත් ඇත්තේ ගිරා රජු පුඩුවෙන් මුදා පාද දෙක එකට කර බැඳ සාලින්දිය ගමට ගොස් ගිරා පැටියා බ්‍රාහ්මණයාට දුන්නේය. බ්‍රාහ්මණයා බලවත් ස්නේහයෙන් මහ බෝසතුන් දෙඅතින් දැඩිව ගෙන ඇකයෙහි හිඳුවා ඔහු සමග කථාබහ කරන්නේ ගාථා දෙකක් කීවේය.