10. මහාවාණිජ ජාතකය (493)
වානිජා සමිතිං කත්‍වා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් සැවැත්නුවර වැසි වෙළෙන්දන් අරභයා දේශනා කළ සේක. ඔවුහු වෙළදාම පිණිස යන්නාහු බුදුරදුන්ට මහදන් දී තිසරණයෙහිද ශීලයෙහිද පිහිටා ස්වාමීනි, ඉදින් නිරුපද්‍රිතව පැමිණෙන්නෙමුද නැවත ඔබවහන්සේගේ පාදයන් වඳින්නෙමුයි කියා පන්සියයක් පමණ ගැල් සමග නික්මී කාන්තාරයකට පැමිණ මග නොසලකා මංමුලා වූවාහු ජලය නැති ආහාර නැති වනයෙහි හැසිරෙන්නාහු නාගයන් විසින් අධිගෘහිත එක් නුග ගසක් දැක ගැල් මුදා ගස මුල හුන්නාහුය. ඔවුහු ඒ ගසේ ජලයෙන් තෙත් වූ වැනි සිනිදු කොළද ජලය පිරුණාක් වැනි අතුද දැක සිතුවාහුය. මේ ගසෙහි ජලය හැසිරෙන්නාක් මෙන් පෙනේ. මෙහි පෙරදිග අත්ත සිඳිමු. අපට පැන් දෙන්නේය යනුයි. ඉක්බිති එක් අයෙක් ගසට නැගී අත්ත කැපුවේය. තල්කඳක් පමණ වූ ජල දහරාවක් පැවතුනි. එයින් ස්නානය කර පානය කර දකුණු අත්ත කැපුවේය. එයින් නන් වැදෑරුම් රස බොජුන් නික්මුනේය. එය අනුභව කර පැසුළුදිග අත්ත කැපුවාහුය. ඉන් අලංකාර කරන ලද ස්ත්‍රීහු නික්මුනාහුය. ඈලා සමග අභිරමණය කර උතුරුදිග අත්ත කැපුවාහුය. එයින් සප්ත රත්නයෝ නික්මුනාහුය. ඒවා ගෙන පන්සියයක් ගැල් පුරවා සැවතට පෙරලා අවුත් ධනය තැන්පත් කර සුවඳමල් ආදිය ගත් අත් ඇත්තෝ ජේතවනයට ගොස් ශාස්තෲන් වහන්සේ වැඳ පුදා එකත්පස්ව හුන්නාහු ධර්මකථාව අසා දෙවන දවස්හි මහදන් දී ස්වාමීනි, මේ දානයෙහි පෙත් අපට ධනය දුන් වෘක්‍ෂ දේවතාවාට දෙමුයි පෙත් දුන්නාහුය. ශාස්තෲන් වහන්සේ නිමවන ලද බත්කිස ඇත්තේ කවරනම් වෘක්‍ෂ දේවතාවාට පෙත් දෙව්දැයි විචාළ සේක. වෙළෙන්දෝ නුග රුකෙහි ධනය ලද ආකාරය තථාගතයන් වහන්සේට දැන්වූහ. ශාස්තෲන් වහන්සේ නුඹලා වූ කලී පමණ දන්නා හෙයින් තෘෂ්ණාවෙහි වසඟ වූවෝ නොවී ධනය ලදහු. පෙර පමණ නොදන්නෝ කෘෂ්ණ වසඟ වූවෝ ජීවිතයද ධනයද පැරදුනෝහුයයි කියා ඔවුන් විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවරයි. එම කාන්තාරයමැයි. එම නුග රුකමය. වෙළෙන්දෝ මංමුලා වී එම නුග ගසම දුටහ. ශාස්තෲන් වහන්සේ බුද්ධත්වයට පත් වී ඒ කරුණ වදාරන සේක්.
වාණිජා සමිතිං කත්‍වා - නානාරට්ඨතො ආගතා,
ධනහාරා පක්කමිංසු - එකං කත්‍වාන ගාමණිං
1. නොයෙක් රටවලින් පැමිණි වෙළෙන්දෝ රැස්වී එකෙකු ප්‍රධානියා කොට ධනය ගෙන ඒමට වෙළදාම පිණිස ගියාහුය.
2. ඔවුහු ස්වල්ප වූ ආහාර ඇති. ජලය නැති කාන්තාරයට අවුත් සිසිල් සෙවන ඇති සිත්කළු මහ නුගරුකක් දුටහ.
3. මෝහයෙන් වැසුනා වූ ඒ මෝඩ වෙළෙන්දෝ නුගරුක් සෙවනෙහි හිඳ මෙසේ සිතූහ.
4. වෙළඳුනි, මේ ගස තෙත සහිත සේය. ජලය වැගිරෙන්නේය. එසේනම් අපි පෙරදිග අත්ත කපමු.
5. සිඳුනීම වූ ඒ අත්ත පිරිසිදු වූ බොර නොවූ ජලය වැගිරුවේය. ඒ වෙළෙන්දෝ එහි කැමති තාක් නා ජලය බී (සතුටු වූහ)
6. මෝහයෙන් වැසුනා වූ ඒ මෝඩ වෙළෙන්දෝ ‘අපි මේ ගසෙහි දකුණු අත්ත කපමු’ යයි දෙවන වර මෙසේ සිතූහ.
7. ඒ අත්ත කැපීමත් සමග බොහෝ ඇල්සාලේ බත්ද මාංශයන්ද, දිය නමුසු කිරිබත්ද කොමු පිඩුද අවුළුපත්ද මුං ආදී සූපද වැගිරුනේය.
8. මෝහයෙන් වැසුන ඒ මෝඩ වෙළෙන්දෝ එහි කැමති පමණ අනුභව කර කා තෙවනුව මෙසේ සිතූහ.
9. වෙළදුනි, අපි මේ ගසේ බටහිරදිග අත්තද කපමු කපන ලද ඒ අත්ත අලංකාර කරන ලද ස්ත්‍රීහු වැගිරුණහ.
10. එක් වෙළෙන්දෙකුට විසිතුරු වස්ත්‍ර හා ආභරණයන්ගෙන් යුත්, මිණි කොඩොල් ආදියෙන් සැරසුන එක් ස්ත්‍රියක්ද, ගැල් නායකයාට ස්ත්‍රීහු පස් විස්සක්ද ලැබුණි. ඒ ගස් සෙවන වටා රැස් වූ ඒ වෙළෙන්දෝ එම ස්ත්‍රීන් සමග කැමති පරිදි සතුටු වූහ.
11. මෝහයෙන් වැසුන මෝඩ වෙළෙන්දෝ සතර වෙනුව “අපි මේ ගසේ උතුරු දෙසට ගිය අත්ත කපමු” යයි සිතූහ.
12. කපන ලද ඒ අත්ත මුතු, බොහෝ වෛඩූර්යන්, රන් රිදී ඇතුන් පිට අතුරන පලස් හා ලොම් මුවා පසතුරුණුද වැගිරුණේය.
13. තවද කසී වස්ත්‍රද උද්දියානි නම් පොරෝනාද වැගිරුනේය. ඒ වෙළෙන්දෝ කැමති පමණ එහි බැඳ (තබා) ගත්තාහුය.
14. මෝහයෙන් වැසුනා වූ මෝඩයෝ අපි මේ ගසේ මුල සිඳිමු. වැඩියක් ලබන්නෙමුයි පස්වනුව සිතූහ.
15. ඉක්බිති ගැල් නායකයා කරන ලද ඇඳිලි ඇත්තේ අයදිමින් ඊට එරෙහිව නැගී සිටියේය. කිම නුග ගස කෙරෙහි අපරාධ කරන්නෙහුද? තොපට යහපතක් වේවා!