11. සාධීන ජාතකය (494)
අබ්භුතො වත ලොකස්මිං යන මේ ගාථාව ශාස්තෘෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් පෙහෙවස් සමාදන් වූ උපාසකයන් අරභයා දේශනා කළ සේක්ක. එකල්හි ශාස්තෘන් වහන්සේ “උපාසකවරුනි, පෙර පණ්ඩිතයෝ තමාගේ පෙහෙවස් විසීම නිසා මිනිස් සිරුරෙන්ම දෙව්ලොව ගොස් බොහෝ කල් විසුවාහු යයි වදාරා ඔවුන් විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි මිථිලා නුවර සාධීන නම් රජු දැහැමිව රාජ්‍යය කරවීය. හෙතෙම දොරටු සතරෙහිද නුවර මැදද මාළිගය දොරටුවෙහි දැයි දාන ශාලා සයක් කරවා සියළු දඹදිව නගුල් උඩ බඳවා මහදන් පැවැත්වීය. දිනපතා සය ලක්ෂයක් වැය කිරීමට යේ. (වැය වේ) පන්සිල් රකී. පෙහෙවස් සමාදන් වෙයි. රටවැසියෝද ඔහුගේ අවවාදයෙහි සිට දන් දීම් ආදී පින් කර මළ මළ අය දෙව්ලොවම උපදිත්. සුධර්මා දේව සභාව පුරවා හුන්නා වූ දෙවියෝ රජුගේ සිත්හි හැසිරීම් ආදී ගුණයම වර්ණනා කරත්. එය අසා සෙසු දෙවියෝද රජු දකිනු කැමැත්තෝ වූහ. ශක්‍ර දෙව්රජු ඔවුන්ගේ සිත දැන සාධීන රජු දකිනු කැමැත්තහුදැයි කීවේය. දේවයන් වහන්ස, එසේය. හෙතෙම මාතලීට “යව, විජයොත් රථය යොදවා සාධීන රජු ගෙනව”යි කීවේය. හෙතෙම මැනවයි පිළිවදන් දී රථය යොදා විදේහ රටට ගියේය. එදවස පුරපසළොස්වක දිනය වෙයි. මාතලී මිනිසුන් රාත්‍රී ආහාරය වළඳා මිදුලෙහි සැනසිලි කථාවෙන් හුන් කල්හි සඳමඬල සමග රථය යැවීය. මිනිස්සු චන්ද්‍රයෝ දෙදෙනෙක් නැංගාහ යයි කියත්. සඳමඬල හැර එන්නා වූ රථය දැක මේ සඳ නොවේ. රියෙකි. මේ දෙව්පුතෙක් පෙනේ. කවරෙකු වෙනුවෙන් මේ මනෝමය වූ සෛන්ධවයන් යොදන ලද දිව්‍ය රථයක් ගෙන එයිද? අනිකෙකුට නොවේ. අපගේ රජුට වන්නේය. අපගේ රජු දැහැමිය. දැහැමි රජෙකැයි සතුටු වී ඇඳිලි බැඳ සිටියාහු පළමුවන ගාථාව කීවාහුය.
අබ්භූතො වත ලොකස්මිං - උප්පජ්ජි ලොමහංසනො,
දිබ්බො රථො පාතුරහූ - වෙදෙහස්ස යස්සිනො
දිබ්බො රථො පාතුරහූ - වෙදෙහස්ස යස්සිනො
ඒකාන්තයෙන් ලොවැ ලොමු දැහැගන්වන පුදුම උපදවන්නා වූ දෙයක් උපන්නේය. කීර්තිමත් වූ වේදේහ රජුට දිව්‍යමය රථයක් පහල වීය.
එහි අර්ථය - යම් බඳු වූ කීර්තිමත් වේදේහ රජුට දිව්‍යමය රථයක් පහළ වීද මේ අපගේ රජු ලොවැ පුදුම එළවන්නෙකි. ලොමුඩැහැ ගන්වන්නෙකි යනුයි.
මාතලී දිව්‍ය පුත්‍රයාද රිය ගෙනවුත් මිනිසුන් සුවඳ මල් ආදියෙන් පුදන කල්හි තෙවරක් නගරය පැදකුණු කොට රජුගේ මාළිගාවෙහි දොරටුවට ගොස් රිය හරවා පසු කොටස සීමැදුරෙහි එළිපත්තෙහි තබා නැගීමට සැදුනක් කොට සිටියේය. එදවස රජුද දන්සැල්බලා මේ ක්‍රමයෙන් දන් දෙව් යයි අණ කරවා පෙහෙවස් සමාදන් වී දවස ගෙවා ඇමති සමූහයා පිරිවරන ලද්දේ අලංකාර කරන ලද මහා තලයෙහි නැගෙනහිර සීමැදුරු කවුළුවට අභිමුඛව ධර්මානුකූල කථා කියමින් හුන්නේ වෙයි. ඉක්බිති මාතලී දිව්‍ය පුත්‍රයා රියට නැගීම පිණිස ඔහුට ආරාධනය කළේය. ආරාධනා කර ඔහු ගෙන ගියේය. ශාස්තෘෘන් වහන්සේ ඒ බව දේශනා කරමින් මේ ගාථාවෝ වදාළ සේක.