12. දසබ්රාහ්මණ ජාතකය (495)
රාජා අවොච විධුරං යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සෙක් අසදෘශ දානය අරභයා දේශනා කළ සේක. එය අටවන නිපාතයෙහි ආදිත්ත ජාතකයෙහි විස්තර කරන ලද්දේමය. රජු එම දානය දෙන්නේ ශාස්තෘන් වහන්සේ ප්රධානකොට භික්ෂූන් පන්සියයක් තෝරා ගත්තේය. මහරහතුන් වහන්සේලාටම දුන්නේය. ඉක්බිති භික්ෂූහු ඔහුගේ ගුණ කියන්නෝ ඇවැත්නි, රජු අසදෘශ දානය දෙන්නේ තෝරා මහත්ඵල ඇති තන්හි දුන්නේ යයි දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ශාස්තෘෘන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙයින් යයි කී කල්හි මහණෙනි, යම් හෙයකින් මා වැනියෙකුගේ උපස්ථායකයෙකු වී තෝරා දන්දෙයි යන්න ආශ්චර්ය වූවක් නොවේ. පැරණි පණ්ඩිතයෝ බුදුන් නූපන් කල්හිද තෝරා දන් දුන්නාහු යයි කියා අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි කුරු රට ඉඳිපත් නුවර යුධීෂ්ටිර ගෝත්රයෙහි කෝරව්ය නම් රජු රාජ්යය කරවීය. විධුර නම් අමාත්යයා ඔහුට අර්ථයෙන්ද, ධර්මයෙන්ද අනුශාසනා කළේය. රජු සියළු දඹදිව කළඹමින් මහදන් දෙයි. එය ගෙන අනුභව කරන්නවුන් අතර පන්සිල් රක්නා වූ එකකුදු නැත. සියල්ලෝ දුස්සීලයෝමය. දානය රජු සතුටු කරවන්නේ නොවෙයි. රජු තෝරා දෙන දානය මහත් ඵලයයි සිල්වතුන්ට දෙනු කැමැත්තේ වී සිතුවේය. විධුර පණ්ඩිතයා සමග සාකච්ඡා කරන්නෙමියි උපස්ථාන පිණිස පැමිණි ඔහු අසුනෙහි හිඳුවා ප්රශ්නයක් විචාළේය. ඒ කරුණ දේශනා කරන්නා වූ ශාස්තෘෘන් වහන්සේ ගාථා අර්ධයක් දේශනා කළ සේක. පසුව රජුගේද විධුර ඇමතියාගේද වදන් පිළිවදන් වෙයි.
“රාජා අවොච විධුරං - ධම්මකාමො යුධිට්ඨිලො,
ධර්මය කැමති වූ යුධීෂ්ටිර රජු විධුර ඇමතියාට මෙසේ කීවේය.
බ්රාහ්මණෙ විධුර පරියෙස - සීලවන්තෙ බහුස්සුතෙ”
විධුර පණ්ඩිතය, සිල්වත් වූ බහුශ්රැත වූ බ්රාහ්මණයන් සොයව.
2. යමෙක් මගේ භෝජනය අනුභව කරන්නහුද, මෙවුන්දමින් තොර වූ (එවැන්නන් සොයව) යහළුව, යම් තැනක දෙන ලද්දේ මහත්ඵල වේද එහි දක්ෂිණාව දෙමු.
3. දේවයන් වහන්ස, යමෙක් ඔබගේ භෝජනය අනුභව කරත්ද (ඔවුන් අතර) මෙවුන්දමින් තොර වූ සිල්වත් බහුශ්රැත බ්රාහ්මණයෝ දුර්ලභයහ.
4. මහරජතුමනි, යම් ඒ බ්රාහ්මණ කුල දහයක් වෙයි. ඔවුන්ගේ කොටස් කිරීම් (මවිසින්) සොයන ලදී. විස්තර වශයෙන් අසව.
5. ඇතැම්හු මුදල් පිරවූ (අනතුරුව) කට බැඳි පසුම්බි ගෙන ඖෂධයන් ඔතා දෙති. නාවති. මන්ත්ර ජප කරති.
6. රජතුමනි, ඔවුහු වෙදුන් හා සමාන වෙති. ඔවුහුද බ්රාහ්මණයෝයි කියති. මහරජතුමනි, ඔවුහුද මා විසින් කියන ලදය. එවැනි බමුණන් වෙත ගොස් ආරාධනා කරමුද.
7. ඔවුහු බ්රාහ්මණ බැවින් ඉවත්වූහ. (මෙසේ කොරව්ය රජු කීවේය) ඔවුහු බ්රාහ්මණයෝ යයි කියනු නොලබත්. විධුරය, සිත් බහුශ්රැත වෙනත් බමුණන් සොයව.
8. යමෙක් මගේ භෝජනය අනුභව කරන්නහුද, මෙවුන්දමින් තොර වූ (එවැන්නන් සොයව) යහළුව, යම්තැනෙක්හි දෙන ලද්දේ මහත්ඵල වේද එහි දක්ෂිණාව දෙමු.
9. ඔවුහු කුඩා මිණිගෙඩි ගෙන රජ-මැති-ඇමතින් ඉදිරියේ ඝෝෂා කෙරෙත්. පණිවිඩ ගෙන යත්. රථ ශිල්ප ආදියෙහි හික්මවත්.
10. රජතුමනි, ඔවුහු සේවකයන් හා සමාන වෙති. ඔවුහුද බ්රාහ්මණයෝයි කියති. මහරජතුමනි, ඔවුහුද මා විසින් කියන ලදහ. එවැනි බමුණන් වෙත ගොස් ආරාධනා කරමුද?
11. ඔවුහු බ්රාහ්මණ බැවින් ඉවත් වූහ. (කොරව්ය රජු මෙසේ කීවේය) ඔවුහු බ්රාහ්මණයෝ යයි කියනු නොලබත්. විධුරය! වෙනත් සිල්වත් බහුශ්රැත බමුණන් සොයව.
12. යමෙක් මගේ භෝජනය අනුභව කරන්නාහුද මෙවුන්මින් තොර (එවැන්නන් සොයව) යහළුව, යම්තැනෙක්හි දෙන ලද්දේ මහත්ඵල වේද එහි දක්ෂිණාව දෙමු.
13. මහරජ, ඇතැම් බ්රාහ්මණයෝ කෙණ්ඩියක් හා වක් දණ්ඩක් ගෙන ගම්නියම් ගම්වලද රජුන් වෙතද එළඹෙත්. නුදුන් කල ගමෙහිද වනයෙහිද නොනැගිටිමුයි හිඳගනිති.