13. භික්ඛාපරම්පර ජාතකය (496)
සුඛුමාල රූපං දිස්වාන යන මේ ගාථාව ශාස්තෘෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් එක්තරා කෙළෙඹියෙක් අරභයා දේශනා කළ සේක. හෙතෙම ශ්‍රද්ධා ඇත්තේ වීය. තෙරුවන් පිළිබඳව පැහැදුන ඔහු බුදුරදුන්ටද සංඝයාටද නිරතුරුව මහා සත්කාර කරයි. ඉක්බිති එක් දවසක් මෙසේ සිතීය. මම බුද්ධ රත්නයටද, සංඝරත්නයටද ප්‍රණීත ආහාරද සියුම් වස්ත්‍රද දෙමින් නිතර මහත් වූ සත්කාර කරමි. දැන් ධර්ම රත්නයටද කරන්නෙමි. එය සත්කාර කරන්නේ කවරක් කළ යුතුද? හෙතෙම බොහෝ සුවඳමල් ආදිය ගෙන ජේතවනයට ගොස් ශාස්තෘෘන් වහන්සේ වැඳ විචාළේය. ස්වාමීනි, මම ධර්මරත්නයට සත්කාර කරනු කැමැත්තේ වෙමි. එයට සත්කාර කරන්නහු විසින් කවරක් කළ යුතුදැයි. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහුට කියනුයේ ඉදින් ඔබ ධර්මරත්නයට සත්කාර කරනු කැමැත්තේ නම් ධර්මභාණ්ඩාගාරික ආනන්ද තෙරණුවන්ට සත්කාර කරවයි වදාළ සේක. හෙතෙම මැනවයි පිළිවදන් දී ආනන්ද තෙරුන්ට ආරාධනා කර දෙවන දවස්හි මහත් වූ සත්කාර සහිතව ආනන්ද තෙර තමාගේ නිවසට පමුණුවා ඉතා අගනා අසුනෙහි හිඳුවා සුවඳ මල් ආදියෙන් පුදා නොයෙක් අග්‍ර භෝජන දී මහත් වූ වටිනාකමින් යුත් තුන් සිවුරට ප්‍රමාණවත් සළු දුන්නේය. තෙරුන්ද මේ සත්කාර ධර්ම රත්නයට කරන ලදී. මට නුසුදුසුය. ශ්‍රේෂ්ඨ ධර්මසේනාපති වූ සැරියුත් හිමිට සුදුසුයයි සිතා පිණ්ඩපාතයද වස්ත්‍රද විහාරයට ගෙන ගොස් සාරිපුත්‍ර තෙරුන්ට දුන්නේය. හෙතෙමේද මෙම සත්කාර ධර්ම රත්නයට කරන ලදී. සම්මා සම්බුදුරජු ධර්ම ස්වාමී වේ. උන්වහන්සේම සුදුසු යයි සිතා දසබලධාරීන් වහන්සේ දුන්නේය. ශාස්තෘන් වහන්සේ තමාට වඩා උසස් කෙනෙකු නොදැක පිණ්ඩපාතය වැළඳූ සේක. සිවුරු සළු ගත්තේය.
භික්‍ෂූහු දම් සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, අසවල් කෙළඹියා ධර්ම රත්නයට සත්කාර කරමියි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ට දානය දුන්නේය. තෙරුන් වහන්සේ මෙය මට සුදුසු නොවේ යයි ධර්ම සේනාපති සැරියුත් තෙරුන්ට දුන්නේය. හෙතෙමේද මෙය මට සුදුසු නොවේ යයි තථාගතයන් වහන්සේට දුන්නේය. තථාගතයන් වහන්සේ අන් උසස් වූවෙකු නොදක්නේ තමන්ගේ ධර්මස්වාමී බව නිසා මටම මෙය සුදුසු යයි ඒ පිණ්ඩපාතය වැළඳු සේක. සිවුරු සළුවද ගත්තේත්ය. මෙසේ හෙතෙම පිණ්ඩපාතය සුදුසු බව නිසාම ස්වාමීගේ පාදමුලට ආවේය යි කීවේය. ශාස්තෘෘන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කවර නම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකනැයි කී කල්හි මහණෙනි, පිණ්ඩපාතය පිළිවෙලින් සුදුස්සා වෙත පැමිණියේ දැන් පමණක් නොවේ. පෙර බුදුන් නූපන් කල්හිද ගියේ යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු අගතියට යෑම හැර දසරාජ ධර්මයන් කෝප නොකර දැහැමිව රාජ්‍යය කරවීය. මෙසේ ඇති කල්හිද ඔහුගේ අධිකරණය ශුන්‍ය වූයේ මෙන් වීය. රජු නුගුණ සොයන්නෙක් වී තමන්ගේ නිවෙස් ආදිය පරීක්‍ෂා කරනුයේ ඇතුල් පුරයෙහිද ඇතුල් නගරයෙහිද දොර ගම්හිද තමාගේ නුගුණ කියන්නවුන් නොදැක දනව්හි සොයන්නෙමියි ඇමතිවරුන්ට රාජ්‍යය පවරා දී පුරෝහිතයා සමග අප්‍රසිද්ධ වේශයෙන් කසීරට හැසිරෙන්නේ අගුණ කියන්නා වූ කිසිවෙකු නොදැක පිටිසර එක් නියම් ගමකට පැමිණ පිටත ශාලාවක හුන්නේය. එකෙනෙහි නියම් ගම්වැසි අසූකෙළක් ධනය ඇති කෙළෙඹි පුත්‍රයෙක් මහත් වූ පිරිවර සමග නහන තොටට යන්නේ ශාලාවෙහි හුන් රන්වන් සියුමැලි සිරුරැති රජු දැක උපන් සෙනෙහෙ ඇත්තේ ශාලාවට පිවිස මෙහිම සිටුවයි ගෙට ගොස් නොයෙක් උතුම් රජ බොජුන් ගෙන්වා මහත් වූ පිරිවර සමග බත් බඳුන් ගෙන්වා ගෙන ශාලාවට ගියේය. එකෙනෙහි හිමවත වැසි පඤ්ච අභිඥාලාභී තවුසෙක් අවුත් එහිම හුන්නේය. නන්‍දමූලක පර්වතයෙන් පසේ බුදුවරයෙක්ද පැමිණ එහිම හුන්නේය.
කෙළඹියා රජුට අත් සෝදන බඳුන දී නොයෙක් උතුම් රසයෙන් යුත් හොදි ව්‍යඤ්ජනවලින් ආහාර භාජනය සරසා රජුට එළවීය. රජු එය ගෙන පුරෝහිත බ්‍රාහ්මණයාට දුන්නේය. බ්‍රාහ්මණයා එය ගෙන තාපසයාට දුන්නේය. තවුසා පසේ බුදුන් සමීපයට ගොස් වම් අතින් ආහාර භාජනයද දකුණු අතින් කෙණ්ඩියද ගෙන දක්‍ෂිණෝදකය දී පාත්‍රයෙහි ආහාර බහාලූයේය. හෙතෙම කිසිවෙකු නොඅමතා නොවිමසා අනුභව කළේය. ඔහුගේ බත්කිස අවසානයේ කෙළෙඹියා මෙසේ සිතුවේය. මවිසින් රජුට බත් දෙන ලදී. රජු විසින් බ්‍රාහ්මණයාටද බ්‍රාහ්මණයා විසින් තාපසයාටද තාපසයා විසින් පසේ බුදුන්ටද දෙන ලදී. පසේ බුදු රජු කිසිවෙකු නොවිමසා අනුභව කළේය. මොවුන්ගේ මෙපමණක් දීමේ කරුණ කිම? මුන්වහන්සේගේ කිසිවෙකු නොවිමසා අනුභව කිරීමේ කරුණ කිම. පිළිවෙලින් විමසන්නෙමියි හෙතෙම එකිනෙකා වෙත එළඹ වැඳ විචාළේය. ඔවුහුද ඔහුට මෙසේ කීවේය.
සුඛුමාල රූපං දිස්වාන - රට්ඨා විවන මාගතං,
කූටාගාර වරූපෙතං - මහාසයන මුපාසිතං
1. උසස් කුළු ගෙවල්වල වාසය කළ වටිනා යහනාවන්හි සැතපුන, රට අත්හැර වනයට පැමිණි සියුමැලි සිරුරැති රජු දැක.
2. ඒ ඔබට ප්‍රේමයෙන් මම පිරිසිදු ඇල්හාලෙන් පිසූ රසමසවුලෙන් යුත් උතුම් බත දුනිමි.
3. ඔබ ඒ මත පිළිගෙන තමා අනුභව නොකර බ්‍රාහ්මණයාට දෙවීය. ඔබට නමස්කාර වේවා! මේ කිනම් ධර්මයක්ද?