8. මහාමෝර ජාතකය (491)
සචෙහි ත්‍යාහං ධන හෙතු ගහිතො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් එක් උකටලී වූ භික්‍ෂුවක අරභයා දේශනා කළ සේක. ශාස්තෲන් වහන්සේ ඒ භික්‍ෂුවට (වදාරනුයේ) “කිම, ඔබ උකටලී වූයේ ඇත්තදැ”යි විමසා ස්වාමීනි, සත්‍යයයි කී කල්හි මහණ, මේ නන්‍දිරාගය ඔබ වැනි එකෙකු කිම නොකළඹයිද? මහ මෙර උපුටාලන මහා වාතය හාත්පස ඉදීගිය කොළ පිළිබඳව ලජ්ජා වේද? පෙර අවුරුදු සත්සියයක් කෙලෙස් ඇතුලත සඟවා වාසය කළා වූ මේ උතුම් සත්ත්වයාද කැළඹවූයේම යයි අතීත ප්‍රවෘත්ති ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරවන කල්හි බෝසත් තෙමේ පිටිසර පෙදෙසෙහි මොණර කිකිළියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ගැබ මුහුකුරා ගියකල්හි මව ගොදුරු බිමෙහි බිත්තරය හෙලා ගියේය. බිත්තරයද මව සුවපත් කල්හි අන් සර්ප ආදීන්ගෙන් උවදුරක් නැති කල්හි නො නැසේ. එහෙයින් ඒ බිත්තරය කිණිහිරි කැකුළක් මෙන් රන්වන් වී මුහුකුරා ගියකල්හි තමාගේ ස්වභාවය නිසා බිඳුනේය. රන්වන් මොණර පැටියෙක් නික්මුණේය. ඌගේ ඇස් දෙක ඔළිද ඇට හා සමානය. තුඩ පබළුවක් වැනිය. රන්වන් රේඛා තුනක් ගෙල වටකර පිටමැදින් ගියාහුය. හෙතෙම වැඩිවියට පැමිණියේ ගැල්සකක් පමණ වූ සිරුර ඇත්තේ මනා වූ දැකුම් ඇත්තේ වීය. සියළු නිල් මොණරු එකතු වී ඌ රජ තනතුරෙහි තබා පිරිවැරූහ.
හෙතෙම එක් දිනයක් ජල පොකුණක පැන් බොන්නේ තමාගේ රූප සම්පත්තිය දැක මෙසේ සිතුවේය. මම සියළු මොනරුන් අතර අතිරේක වූ ශෝභාව ඇත්තෙක් වෙමි. ඉදින් මම මොවුන් සමග මිනිස් පියසෙහි වසන්නෙම් නම් මට උවදුරු උපදින්නේය. හිමවතට ගොස් හුදකලාව පහසුතැනක වසන්නෙමියි හෙතෙම රාත්‍රී කාලයෙහි මොනරුන් සැඟව ගියකල්හි කිසිවෙකුට නොදන්වා හිමවතට පිවිස පර්වතයන් තුනක් ඉක්මවා සිව්වන පර්වත සානුවෙහි එක් වනයෙක පියුමෙන් ගැවසී ගත් මහ විලෙකි. ඒ නුදුරෙහි එක් පර්වතයක් ඇසුරුකොට සිටි මහ නුගරුකෙක ඇත. එහි අත්තක සැගවුනි. ඒ පර්වතය මැද සිත්කළු ගුහාවක් ඇත. ඔහු එහි වසනු කැමැත්තේ වී ඒ ඉදිරියෙහි පර්වත මත්තෙහි සැඟවුනි. එතැනට යටින් නැගීමට නොහැකිය. උඩින් බැසීමට නොහැකිය. කුරුළු බළල් සර්ප මිනිස් යන මොවුන්ගෙන් වන බියෙන් මිදුනේය. හෙතෙම මෙය මගේ පහසු තැනයි. එදවස එහි වාසය කර දෙවන දවස්හි පර්වත ගුහාවෙන් නැගී සිට පර්වතය මත්තෙහි පෙරදිගට අභිමුඛ වී හුන්නේ උදාවන්නා වූ හිරුමඬල දැක තමාගේ දවල් කාලයෙහි රැකවරණය සඳහා “උදෙතයං චක්ඛුමා එකරාජා” යයි ආරක්‍ෂාව කර ගොදුරු බිමට බැස ගොදුරු ගෙන සවස් කාලයෙහි අවුත් පර්වතය මත පැසුළුදිගට අභිමුඛ වී හුන්නේ අස්තයට යන්නා වූ හිරුමඬල දැක රාත්‍රී රැකවරණය සඳහා “අපෙතයං චක්ඛුමා එකරාජා” යි ආරක්‍ෂාව කර මේ ක්‍රමයෙන් වාසය කරයි.
[missing tran] ඉක්බිති එක් දිනයක බරණැස් රජුගේ ඛේමා නම් වූ අග මෙහෙසිය අළුයම් කාලයෙහි සිහිනයක් දුටුවාය. (එය) මෙවැනි සිහිනයක් වීය. රන්වන් මොණරෙක් ධර්මය දේශනා කරයි. ඇය සාධුකාර දී ධර්මය අසයි. මොණරා ධර්මය දේශනා කර නැගිට ගියේය. ඇය මොණර රජු යන කල්හි ඌ අල්ලා ගනුවයි කියන්නීම පිබිදුනේය. පිබිදී සිහිනයක් බව දැන සිහිනයකැයි කී කල්හි රජු ආදරය නොකරන්නේය. මට දොළදුකකැයි කී කල්හි කරන්නේ යයි සිතා දොළදුකක් ඇත්තී වී හොත්තීය. ඉක්බිති රජු ඇය වෙත එළඹ “සොඳුර, ඔබට කවර නම් අපහසුවක් දැයි විචාළේය. මට දොළදුකක් උපන්නේ යයි කීවාය. සොඳුර, කුමක් කැමති වන්නෙහිද? ස්වාමීනි, රන්වන් මොණරකු ගේ ධර්මය අසන්නට යයි කීවාය. සොඳුර, එවැනි මොණරෙකු කෙසේනම් ලබම්ද? දේවයන් වහන්ස ඉදින් නොලබම්ද? මගේ දිවි නැතැයි කීවාය. සොඳුර, නොසිතුව. ඉදින් කිසිතැනක ඇත්ද ලබන්නෙහි යයි රජු ඇය අස්වසා ගොස් සිංහාසනයෙහි හුන්නේ අමාත්‍යයන් විචාළේය. එම්බා ඇමතිවරුනි, දේවිය රන්වන් මොණරෙකුගේ ධර්මය අසන්නට කැමැත්තීය. රන්වන් මොණරු වෙත්දැයි (ඇසීය) දේවයන් වහන්ස, බ්‍රාහ්මණයෝ දනිත් යයි කීහ.
රජු බමුණන් විචාළේය. බ්‍රාහ්මණයෝ මෙසේ කීවාහුය. මහරජතුමනි, ජලජ සත්ත්වයන් අතර මත්ස්‍යයෝ කැසුබුවෝ කකුළුවෝද ගොඩ උපන් සත්ත්වයන් අතර මුවෝ හංසයෝ මොණරු තිත් වටුවෝ යන මේ තිරිසන්නුද මනුෂ්‍යයෝද රන්වන් වෙත් යයි අපගේ ලක්‍ෂණ මන්ත්‍රයෙහි පැමිණියේ යි. රජු තමාගේ විජිතයෙහි වැදි පුත්‍රයන් කැඳවා තොප රන්වන් මොණරෙකු දුටුවිරූදැයි විමසීය. සෙස්සෝ නොදුටුවිරූයයි කීහ. යමෙකුට පියා විසින් කියන ලදද? හෙතෙම මෙසේ කීවේය. මවිසින්ද නොදුටු විරූය. මගේ පියා අසවල් තැන රන්වන් මොණරෙකු ඇතැයි කීවේ යයි යනුවෙනි. ඉක්බිති රජු ඔහුට (කියනුයේ) යහළුව, මගේ දේවියට ජීවිතය දුන්නේ වන්නේය. ගොස් ඌ බැඳගෙන එවයි බොහෝ ධනය දී පිටත් කර හැරීය. හෙතෙම අඹුදරුවනට ධනය දී එහි ගොස් මහබෝසතුන් දැක පුඩුවක් අටවා අද බැඳෙන්නේය. අද බැඳෙන්නේ යයි නොබැඳම මළේය. දේවියද ප්‍රාර්ථනා නොලබන්නීම මළාය. රජු ඒ මොණරා නිසා මාගේ ප්‍රිය භාර්යාව මළා යයි කිපී වෛරයෙන් යුක්ත වී හිමාලයෙහි සිව්වන පර්වත සානුවෙහි රන්වන් මොණරෙක් හරසිරෙයි. ඔහුගේ මස් කා අජරාමර වෙත් යයි රන්පතෙක ලියවා උතුම් මඤ්ජුසාවක තබා කළුරිය කළේය.