7. පඤ්චුපෝසථ ජාතකය (490)
අප්පොස්සුක්කො දානි තුවං කපොතා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් පෙහෙවස් රකින්නා වූ උපාසකයන් පන්සියයක් අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ දම් සභාවෙහි සිවු පිරිස මැද අලංකාර කරන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ මොළොක් සිතින් පිරිස දෙස බලා අද උපාසකයන්ගේ කථාව නිසා දේශනාව නැගෙන්නේ යයි දැන උපාසකයන් අමතා උපාසකවරුනි, පෙහෙවස් සමාදන් වූවාහුදැයි විමසා ස්වාමීනි, එසේ යයි කී කල්හි ඔබලා විසින් කරන ලද්ද මැනවි. මේ උපෝසථය නම් පැරණි පණ්ඩිතයන්ගේ පරපුරයි. පැරණි පණ්ඩිතයෝ රාගාදී කෙලෙස් නිග්‍රහ කිරීම සඳහා පෙහෙවස් විසීම කළාහු යයි වදාරා ඔවුන් විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි මගධ රට ආදී වූ රටවල් තුනක් මැද වනයක් වීය. බෝසත් තෙමේ මගධ රට බමුණු මහසල් කුලයක ඉපදී සුදුසු වයසට පැමිණියේ කාමයන් අත්හැර නික්මී ඒ වනයට පිවිසී අසපුවක් කර වාසය කළේය. ඒ අසපුවට නොදුරෙහි එක් ලැහැබක තමාගේ බිරිඳ සමග එක් පරෙවි පක්‍ෂියෙක් වසයි. එක් තුඹසක සර්පයෙක්ද එක් වන ගොමුවෙක සිවලෙක්ද එක් වන ගොමුවෙක වලසෙක්ද වාසය කරයි. ඒ සතර දෙනාම කලින් කල තවුසා වෙත එළඹ ධර්මය අසත්.
ඉක්බිති එක් දිනයක පරෙවියා බිරිඳ සමග කැදැල්ලෙන් නික්මී ගොදුරු පිණිස ගියේය. ඔහු පිටුපසින් යන්නා වූ පරෙවි ධේනුව එක් උකුස්සෙක් ගෙන පලා ගියේය. ඇයගේ කෑගැසීමේ ශබ්දය අසා පරෙවියා ආපසු හැරී බලන්නේ ඒ උකුස්සා විසින් ගෙනයන ඇය දුටුවේය. උකුස්සාද කෑගසන්නා වූම ඇය මරා කෑවේය. පරෙවියා ඇයගේ වියෝවෙන් රාග දැවිල්ලෙන් දැවෙනු ලබන්නේ සිතීය. මේ රාගය මා අතිශයින් පීඩාවට පත් කරයි. දැන් මේ රාගය යටපත් නොකර ගොදුරු පිණිස නොයන්නෙමියි හෙතෙම ගොදුරු මග සිඳ දමා තාපසයාගේ සමීපයට ගොස් රාගය යටපත් කිරීම පිණිස පෙහෙවස් සමාදන් වී එකත්පසෙක හොත්තේය.
සර්පයාද ගොදුරු සොයන්නමියි වසන තැනින් නික්ම පසල් ගමෙහි දෙනුන් හැසිරෙන තැන ගොදුරු සොයයි. එකල්හි ගම්දෙටුවාගේ මුළුමනින්ම සුදු වූ මංගල වෘෂභයා ගොදුරු ගෙන එක් තුඹසක් පාමුල දනින් හිඳ අංවලින් මැටි ගනිමින් ක්‍රීඩා කරයි. සර්පයා දෙනුන්ගේ පාද ශබ්දයෙන් බියට පත්වූයේ ඒ තුඹසට පිවිසෙන්නට යන්නේ අනතුරුව ඌ වෘෂභයා පාදයෙන් මැඩලීය. හෙතෙම ඌට කිපී දෂ්ට කළේය. වෘෂභයා එහිම ජීවිතක්‍ෂයට පත් වූයේය. ගම්වැසියෝ මළේ යයි අසා සියල්ලෝම එකතු වී අවුත් හඬා සුවඳ මල් ආදියෙන් ඌ පූජාකර වලක් සාරා (එහි දමා) ගියාහුය. සර්පයා ඔවුන් ගිය කල්හි නික්මී මම ක්‍රෝධය නිසා මොහු ජීවිතයෙන් තොර කරවා මහජනයාගේ හදවතෙහි ශෝකය ඇතුලත් කළෙමි. දැන් මේ ක්‍රෝධය යටපත් නොකර ගොදුරු පිණිස නොයන්නෙමියි ආපසු හැරී අසපුවට ගොස් ක්‍රෝධය නැතිකිරීම සඳහා පෙහෙවස් සමාදන් වී එකත්පසෙක හොත්තේය.
සිවලාද ගොදුරු සොයන්නේ එක් මළ ඇතෙකු දැක මවිසින් මහත් වූ ගොදුරක් ලබන ලදැයි සතුටු වී සමීපයට ගොස් සොඬය දෂ්ට කළේය. ටැඹකින් දෂ්ට කළ කලෙක මෙන් විය. එහිලා ආශ්වාදයක් නොලැබ දළෙහි දෂ්ට කළේය. පර්වතයෙක්හි දෂ්ට කළ කලෙක මෙන් විය. කුසෙහි දෂ්ට කළේය. අටුවෙහි දෂ්ට කළ කලෙක මෙන් විය. නඟුටෙහි දෂ්ට කළේය. යකඩ තලියෙක දෂ්ට කලාක් මෙන් විය. වසුරු මඟෙහි දෂ්ට කළේය. ගිතෙල් කැවුමක දෂ්ට කළ කල්හි මෙන් විය. ඔහු ලෝභයෙන් කනු ලබන්නේ කුස තුලට පිවිසියේය. එහි බඩගිනි ඇති කළ මස් කයි. පිපාසය ඇති කළ ලේ බොයි. වැදහෝනා කල්හි බඩවැල්ද කපුමසද අතුරා එහි වැද හොවයි. නෙකම මෙහිම මගේ කෑමද, බීමද සම්පූර්ණ විය. අන් තැනෙක කුමක් කරම්දැයි සිතා එහිම ඇළුනේ පිටතට නොනික්මී කුස තුළම වාසය කළේය. මෑත කාලයෙහි සුළඟින් හා අව්වෙන් ඇත්කුණ වියලෙන කල්හි මළ මාර්ගය වැසුනේ සිවලා කුස තුළම වෙහෙසට පත් වූයේ ස්වල්ප වූ මස් ලේ ඇත්තේ පඬුවක් සිරුර ඇත්තේ වී නික්මෙන මගක් නොදුටුවේය. ඉක්බිති එක් දවසක් නොකල්හි වැස්සක් වැස්සේය. මළ මාර්ගය තෙමෙන්නේ මෘදු වී විවරයක් දැක්වීය. සිවලා සිදුර දැක බොහෝ දිනක් ක්ලාන්ත වූයේ මේ සිදුරෙන් පලා යන්නෙමියි මළ මාර්ගයට හිසෙන් පහර දුන්නේය. බාධා සහිත තැනින් වේගයෙන් නික්මුණා වූ සිඳුන සිරුර ඇති ඔහුගේ සියළු ලොම් මල මාර්ගයෙහි ඇලුනේ තල්කඳක් මෙන් ලොම් නැති සිරුර ඇත්තෙක් වී නික්මුනේය. හෙතෙම ලෝභය නිසා මවිසින් මේ දුක අනුභව කරන ලද්දෙමි. මේ ලෝභය යටපත් නොකර ගොදුරු නොගන්නෙමියි සිතා ඒ අසපුවට ගොස් ලෝකය යටපත් කිරීම සඳහා පෙහෙවස් සමාදන් වී එකත්පසෙක හොත්තේය.