6. සුරුචි ජාතකය (489)
මහෙසී රුචිනො භරියා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට මිගාර සිටුතුමාගේ මව විසින් කරවන ලද ප්‍රාසාදයෙහි වාසය කරන සේක් විශාඛා මහෝපාසිකාව විසින් ලබන ලද වර අට අරභයා දේශනා කළ සේක. ඇය එක් දිනයක ජේතවනාරාමයෙහිදී ධර්මකථාව අසා භික්‍ෂු සංඝයා සමග භාග්‍යවතුන් වහන්සේට හෙට දිනයේ දානය සඳහා ආරාධනා කර ගියාය. එම රාත්‍රිය ඇවෑමෙන් සිව්මහ දිවයිනෙහිම පැතිරුන මහ වැස්සක් වැස්සේය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මහණෙනි, යම් සේ ජේතවනයෙහි වැසි වස්නේද මෙසේ සිව් දිවයින්හිද වසී. මහණෙනි, සිරුර තෙමව්. මේ සිව් දිවයින පුරා පවතින අන්තිම වැස්ස යයි වදාරා තෙමන ලද සිරුරු ඇති භික්‍ෂූන් සමග සෘද්ධියෙන් ජේතවනයෙහි අතුරුදහන් වූයේ විශාඛාවගේ දොරටුවෙහි පහළ වූ සේක. උවැසිය පින්වත්නි, තථාගතයන් වහන්සේගේ මහත් වූ සෘද්ධි ඇති බව මහත් වූ ආනුභාව ඇති බව ආශ්චර්යය. අද්භූතය. යම්තැනක දනක් පමණ දියදහර පවත්නා කල්හි තුනටිය පමණ තෙක් දියපහර පවතින කල්හි එක භික්‍ෂුවකගේ හෝ පාදයන්ද සිවුරුද තෙත් වූයේ නොවේ යයි සතුටු වූවා. ඔදවැඩුනී බුදුන් ප්‍රමුඛ වූ භික්‍ෂු සංඝයා වළඳවා බත්කිස අවසානයේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් වර අටක් යදිමියි. විශාඛාවනි, තථාගතයන් වහන්සේලා ඉක්මවන ලද වර ඇත්තෝය. ස්වාමීනි, යමක් කැපද යමක් නිවැරදිද (එවැනි වර යයි කීවාය) විශාඛා වෙත කියවයි වදාළහ. ස්වාමීනි, මම දිවි ඇති තෙක් භික්‍ෂු සංඝයාට වැසිසළු දෙන්නට කැමැත්තෙමි. ආගන්තුක බත් දෙන්නටද, ගමික බත් දෙන්නටද, ගිලනුන්ට බත් දෙන්නටද, ගිලනුන්ට උපස්ථාන කරන්නවුන්ට බත් දෙන්නටද, ගිලනුන්ට බෙහෙත් දෙන්නටද නිරතුරුව කැඳ දෙන්නටද භික්‍ෂුණීන්ට දිවිහිමියෙන් නානාකඩ දීමටද කැමැත්තෙමි යි කීවාය.
ශාස්තෲන් වහන්සේ “විශාඛාවෙනි, ඔබ සංඝයා පිළිබඳව කවරනම් ප්‍රයෝජනයක් දකින්නී තථාගතයන් වහන්සේගෙන් වර අටක් ඉල්ලහි දැයි විමසා ඇය විසින් වරයන්හි අනුසස් කී කල්හි යහපති යහපති විශාඛාවෙනි, යහපති විශාඛාවෙනි ඔබ මේ ආනිසංසයන් දකින්නී තථාගතයන් වහන්සේගෙන් වර අටක් ඉල්ලහි යයි වදාරා විශාඛාවෙනි, වර අට අනුදනිමියි වර අට දී අනුමෝදනා කර වැඩි සේක. ඉක්බිති එක් දවසක් බුදුරදුන් පූර්වාරාමයෙහි වාසය කරන කල්හි දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, විශාඛා මහ උවැසිය ස්ත්‍රී බැව්හි සිට දසබලධාරීන් වහන්සේ වෙතින් වර අටක් ලැබුවාය. පුදුමයි. මහා ගුණ ඇත්තියක යැයි කියාය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, විහාඛාව මගේ සමීපයෙන් වර ලැබුවා දැන් පමණක් නොවේ. පෙරද ලැබුවාම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි මිථිලා නුවර සුරුචි නම් රජු රාජ්‍යය කරවන්නේ පුතෙකු ලැබ ඔහුටද සුරුචි කුමාරයා යයිම නම් කළේය. සුදුසු වයසට පත් හෙතෙමේ තක්ෂිලාවෙහි ශිල්ප උගන්නෙමියි ගොස් නුවර දොරටුවෙහි ශාලාවෙහි හුන්නේය. බරණැස රජුගේ පුත්‍ර වූ බ්‍රහ්මදත්ත නම් කුමාරයාද එසේම ගොස් සුරුචි කුමාරයා හුන් ලෑල්ලෙහිම හුන්නේය. ඔවුහු ඔවුනොවුන් විමසා විශ්වාස ඇත්තෝ වී එකතු වී ආචාර්යයන් වහන්සේ සමීපයට ගොස් ආචාර්ය භාගය දී ශිල්ප හදාරා නොබෝ දිනකින්ම නිමවන ලද ශිල්ප ඇත්තාහු ආචාර්යවරයා විමසා මද දුරක් මග එකතු වී අවුත් මංසන්ධියෙහි සිටියාහු ඔවුනොවුන් වැළඳ මිතුරුදම ආරාක්‍ෂා කිරීම සඳහා කතිකා කළාහුය. ඉදින් මට පුතෙක් උපදීද ඔබට දුවක උපදීද (නැවත) ඔබට පුතෙක්ද මට දුවකද උපදීද ඔවුන් අතර ආවාහ විවාහ කරන්නෙමුයි කියාය. ඔවුන් රාජ්‍යය කරවන කල්හි සුරුචි මහරජුට පුතෙකු උපන්නේය. ඔහුට සුරුචි කුමාරයා යයිම නම කළාහුය. බ්‍රහ්මදත්ත හට දුවක ලැබුවාය. ඇයට සුමේධායි නම් කළාහුය.
සුරුචි කුමාරයා සුදුසු වයසට පත්වූයේ තක්ෂිලාවට ගොස් ශිල්ප ඉගෙන පැමිණියේය. ඉක්බිති පියා ඔහුව රාජ්‍යයෙහි අභිෂේක කරනු කැමැත්තේ “මගේ යහළු වූ බරණැස් රජුට දුවක ඇත. ඇයම ඔහුට අගමෙහෙසිය කරන්නෙමියි ඔහු සඳහා බොහෝ පඬුරු දී අමාත්‍යයන් යැවීය. ඔවුන් නොපැමිණි කල්හිදීම බරණැස් නුවර රජු දේවියගෙන් “සොඳුර, ස්ත්‍රියට වූ කලී ඉතා දුක් නම් කවරේදැ”යි විචාළේය. දේවයන් වහන්ස! සපත්ති රෝස දුක (සමාන භාර්යාවන් ඇති බැවින් වන වන දුක)යි කීවාය. සොඳුර එසේ වී නම් අපගේ එකම දියණිය වූ සුමේධා දේවිය ඒ දුකින් මුදවා යමෙක් මැය තනිවම ගන්නේද ඔහුට දෙන්නෙමුයි කීවේය. හෙතෙම ඒ අමාත්‍යවරුන් විසින් ඇයගේ නම් ගත් කල්හි (විචාළ කල්හි) දරුවනි, ඒකාන්තයෙන්ම මා විසින් පෙරදීම මගේ යහළුවාට ප්‍රතිඥා කරන ලද්දෙමි. අපි මේ දැරිය ස්ත්‍රී සමූහයා මැද හෙලනු නොකැමැත්තෝ වෙමු. යමෙක් මැය එකලාවම ගනීද ඔහුට දෙනු කැමැත්තෙමුයි කීය. ඔවුහු රජුගේ සමීපයට ඒ බව (කියා) යැවූහ. රජු අපගේ රාජ්‍යය මහත් වූවෙක. මිථිලා නුවර සත් යොදුන්ය. රාජ්‍ය සීමාව යොදුන් තුන්සියයකි. යටත් පිරිසෙයින් ස්ත්‍රීන් සොළොස් දහසක් ලබන්නට වටනේ යයි කියා නොකැමති වීය.
සුරුචි කුමාරයා සුමේධාවගේ රූප සම්පත්තිය අසා ඇසීමෙන් වූ බැඳීමෙන් බැඳි මම ඇය එකලාවම ගන්නෙමි. ස්ත්‍රී සමූහයකින් මට ප්‍රයෝජනයක් නැත. ඇයම ගෙන එත්වායි මව්පියන්ට (කියා) යැවීය. ඔවුහු ඔහුගේ වචනයට සතුටු වී බොහෝ ධනය යවා මහත් වූ පිරිවර සමග ඇය කැඳවාගෙන අවුත් කුමාරයාගේ අගමෙහෙසිය කර එකලාවම අභිෂේක කළාහුය. හෙතෙම සුරුචි මහරජ නම් වී ධර්මයෙන් රාජ්‍යය කරන්නේ ඇය සමග ප්‍රිය වූ එක්ව විසීම විසුවේය. ඇය අවුරුදු දසදහසක් ඔහුගේ මාලිගාවෙහි වසන්නී පුතෙකු හෝ දුවක නොලැබුවාය. ඉක්බිති නුවරවැසියෝ රැස් වී රජ මිදුලෙහි දොස් නගා මේ කවරක්දැයි කී කල්හි අන් දොසක් නැත. ඔබට පරපුර රකින්නා වූ පුතෙක් නැත. තොපට එකම දේවී කෙනෙක. රජමාලිගය යටත් පිරිසෙන් ස්ත්‍රීන් සොළොස් දහසකින් විය යුතුය. දේවයන් වහන්ස, ස්ත්‍රීන් සමූහයා (අන්තඃපුරය) ගනුව. පින්වත් වූ එකියක පුතෙකු ලබන්නේ යයි කියා දරුවනි, කුමක් කියවුද? මම අනිකෙකු නොගන්නෙමි යි ප්‍රතිඥා කර මැය ගෙන එන ලද්දී වෙමි. බොරු කරන්න නොහැකිය. මට ස්ත්‍රීන් සමූහයකින් ප්‍රයෝජනයක් නැතැයි රජු විසින් ප්‍රතික්‍ෂේප කරන ලද්දේ පෙරළා ගියාහුය.