5. භිස ජාතකය (488)
අස්සං ගවං රජතං ජාතරූපං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් උකටලී වූ භික්ෂුවක අරභයා දේශනා කළ සේක. කථා වස්තුව කුස ජාතකයෙහි පෙනෙන්නේය. එකල්හි ශාස්තෲන් වහන්සේ මහණ ඔබ උකටලී වූයේ සැබෑවදැයි විමසා ස්වාමීනි, සැබවයි කී කල්හි කුමක් නිසාදැයි? ස්වාමීනි කෙලෙස් නිසා යයි කී කල්හි මහණ, මෙබඳු වූ නෛර්යාණික ශාසනයෙහි පැවිදි වී කුමක් හෙයින් කෙලෙස් නිසා උකටලී වූවෙහිද? පෙර පඬිවරු බුදුන් නූපන් කල්හිද බාහිර පැවිද්දෙන් පැවිදි වී වස්තු කාමයන් හා ක්ලේශ කාමයන් නිසා උපදනා වූ සංඥාවන් දිව්රුම් කොට හරින ලද්දාහු යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්ව තෙමේ අසූකෙළක් ධනය ඇති බ්‍රාහ්මණ මහසල් කුලයක පුතෙක් වී උපන්නේය. ඔහුට මහා කඤ්චන කුමාර යයි නම් කළාහුය. ඉක්බිති ඔහු පයින් ඇවිදින කාලයෙහි වෙනත් වූ පුත්‍රයෙක්ද උපන්නේය. ඔහුට උපකඤ්චන කුමාරයා යයි නම් කළාහුය. මෙසේ පිළිවෙලින් පුත්‍රයෝ සත්දෙනෙක් වූහ. සියල්ලන්ට කණිටු වූවා එක් දියණියකි. ඇයට කඤ්චනදේවී යයි නම් කළාහුය. මහා කඤ්චන කුමාරයා සුදුසු වයසට පැමිණියේ තක්සිලාවෙන් සියළු ශිල්ප ඉගෙන (පෙරළා) ආවේය. ඉක්බිති මව්පියෝ ඔහු ගිහිගෙයි වාසයෙන් බඳිනු කැමැත්තෝ තමා හා සමාන වූ කුලයකින් දැරියක ගෙන එමු. ගෙහි වාසය පිහිටුවහියි කීවාහුය. මෑණියනි, පියාණනි මට ගිහිගෙයි වාසයෙන් වැඩක් නැත. මට භවත්‍රය ගිනි ගත්තක් මෙන්ද, බිය සහිත වූවක් මෙන්ද, හිරගෙයක් මෙන්ද කිළිටි වූ අසූචි බිමක් මෙන් පිළිකුල් කටයුතු වී පෙනේ. මවිසින් සිහිනෙන්ද මෙවුන්දම් නොදුටුවිරූය. ඔබට වෙනත් පුත්‍රයෝ ඇත්තාහ. ඔවුන් ගිහිගෙයින් ආරාධනය කරවු යයි කියා නැවත නැවත ඉල්වන ලද්දේ, යහළුවන් යවා ඔවුන් ලවාද අයදින ලද්දේ නොකැමති වීය.
ඉක්බිති යහළුවෝ ඔහුට (කියනුයේ) යහළුව, ඔබ කුමක් ප්‍රාර්ථනය කරනුයේ කාමයන් විදීමට නොකැමැත්තෙහිදැයි විචාළාහුය. හෙතෙම ඔවුන්ට (තමාගේ) නික්මීමෙහි අදහස් ඇති බව දැන්වීය. ඒ අසා ඔහුගේ මව්පියෝ අනෙක් පුතුන්ද (ගිහිගෙය සඳහා) ආරාධනය කළාහුය. ඔවුහුද නොකැමති වූහ. කඤ්චන දේවියද නොකැමතිම වූවාය. මෑත කාලයෙහි මව්පියෝ කළුරිය කළාහුය. මහා කඤ්චන පණ්ඩිතයා මව්පියන්ට කළයුතු කටයුතු කර අසූකෙළක් ධනයෙන් දුගීමගීන්ට මහදන් දී සොහොයුරන් සතරදෙනාද සොහොයුරියද එක් දාසයෙක්ද එක් දාසියක්ද එක් යහළුවෙක්ද ගෙන මහා අභිනිෂ්ක්‍රමණයෙන් නික්මී හිමාලයට පිවිසියේය. ඔවුහු එහි පියුම් විලක් ඇසුරුකොට සිත්කළු වූ බිම් පෙදෙසක ආශ්රමයක් කොට පැවිදි වී වනමුල් ඵලාඵල ආහාරයෙන් යැපුනාහුය. ඔවුහු වනයට යන්නාහු හුදකලාවම ගොස් යමෙක් යම්තැනක ගෙඩියක් හෝ කොලයක් හෝ දකීද එහි අන්‍යයන්ද කැඳවා දුටු-ඇසූ දේ කියන්නාහු රැස් කරත්. ගමෙක කර්මාන්ත ස්ථානයක් මෙන් වේ. ඉක්බිති ආචාර්ය වූ මහා කඤ්චන තාපසයා (මෙසේ) සිතුවේය. අසූකෙළක් ධනය හැර පැවිදි වූ අපට මෙසේ ආශා පරවස වී ලොකු කුඩා ගෙඩි සඳහා ඇවිදීම නම් නුසුදුසුය. මෙතැන් පටන් ඵලාපල ගෙන එන්නෙමියි. හෙතෙම අසපුවට අවුත් සවස් කාලයෙහි ඒ සියල්ලන් කැඳවා ඒ කරුණ දන්වා තෙපි මහණ ධර්මය සම්පූර්ණ කරන්නාහු මෙහිම සිටිවු. මම ඵලාපලයන් ගෙන එන්නෙමියි කීය. ඉක්බිති උපකඤ්චන කුමාර ආදීහු කියන්නාහු ආචාර්යතුමනි, අපි ඔබ ඇසුරුකොට පැවිදි වූවෝ වෙමු. තෙපි මෙහිම මහණදම් කරව. අපගේ සොහොයුරියද මෙහිම වේවා! දාසියද ඇය සමීපයෙහි සිටීවා. අප අටදෙනා වරින් වර ඵලාපල ගෙන එන්නෙමු. තෙපි තිදෙන වාරයෙන් මුදන ලද්දෝ වව් යයි කියා ප්‍රතිඥා ගත්තාහුය.