4. උද්දාලක ජාතකය (487)
ඛරාජිනා ජටිලා පංකදන්තා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් එක් කුහකයෙකු අරභයා දේශනා කළ සේක. හෙතෙම නෛර්යාණික ශාසනයෙහි පැවිදි වීද සිව්පසය සඳහා ත්‍රිවිධ කුහක වස්තූන් පිරුවේය. ඉක්බිති භික්‍ෂූහු ඔහුගේ අගුණ ප්‍රකාශ කරන්නාහු දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. “ඇවැත්නි, අසවල් භික්‍ෂුව මෙබඳු වූ නෛර්යාණික බුද්ධ ශාසනයෙහි පැවිදි වී කුහකකම ඇසුරුකොට ජීවිකාව කරයි” යනුවෙනි. ශාස්තෲන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකනැයි කී කල්හි මහණෙනි, මෙතෙම කුහක වූයේ දැන් පමණක් නොවේ. පෙරද කුහකයෙක් වූයේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්වයෝ ඔහුගේ පුරෝහිතයා වූහ. (හෙතෙම) පණ්ඩිතය. කීමෙහි බිණීමෙහි බුහුටිය. හෙතෙම එක් දිනයක උද්‍යාන ක්‍රීඩාවට ගියේ එක් මනා රූ ඇති ගණිකාවක දැක ඇය පිළිබඳ සිත් ඇත්තේ ඇය සමග සංවාසය කළේය. ඇය ඔහු නිසා ගැබක් ලැබුවාය. ගැබක ලද බව දැන ඔහුට (මෙසේ) කීවාය. ස්වාමීනි, මට ගැබක් පිහිටියේය. (දරුවා) උපන් කල්හි නම් කරන්නෙම් ස්වාමීන්ගේ නම කරමියි යනුවෙනි. හෙතෙම වෛශ්‍යාවගේ කුසෙහි උපන්නහුට කුලනාමය කරන්නට නොහැකියයි සිතා සොඳුර, මේ එරහැන්ද ගස උද්දාල නම් වේ. මෙහිදී ලබන ලද හෙයින් මොහුට උද්දාලක යයි නම් කරන්නෙහි යයි කියා ඇඟිලි මුද්ද දුන්නේය. ඉදින් දියණියක වේද මෙයින් ඇය පෝෂණය කරව. ඉදින් පුතෙක් වේද අනතුරුව වැඩිවියට පත් ඔහුව මට දක්වන්නෙහි යයි කීවේය. ඇය මෑත කාලයෙහි පුතෙකු වදා ඔහුට උද්දාලක යයි නම් කළේය.
හෙතෙම වයසට පැමිණියේ මෑණියනි, මගේ පියා කවරෙක්දැයි මවගෙන් විචාළේය. දරුව, පුරෝහිතයායි (ඇය කීවාය) ඉදින් මෙසේනම් වේදයන් ඉගෙන ගන්නෙමියි මවගේ අතින් මුද්ද ද ගුරුපඬුරු වශයෙන් දියයුතු කොටසද ගෙන තක්‍ෂිලාවට ගොස් දිසාපාමොක් ආචාර්යයන්ගේ සමීපයෙහි ශිල්ප ඉගෙන ගන්නේ එක් තවුස් සමූහයක් දැක මොවුන් වෙත උතුම් ශිල්පයක් වන්නේය. ඉගෙන ගන්නෙමියි ශිල්පයන් පිළිබඳ ආශාවෙන් පැවිදි වී ඔවුන්ට වත්පිළිවෙත් කර ආචාර්යවරුනි, මට ඔබලා දන්නා ශිල්පය උගන්වවයි කීවේය. ඔවුහු තමන් දන්නා පමණින් ඔහුට ඉගැන්වූහ. පන්සියයක් තවුසන් අතර එකකුදු මොහුගෙන් වැඩි නුවණ ඇත්තෙක් නොවීය. ඔහුද ඔවුන් අතර ප්‍රඥාවෙන් අග්‍ර වීය. ඉක්බිති ඔවුහු රැස්වී ඔහුට ආචාර්ය තනතුර දුන්නාහුය. ඉක්බිති හෙතෙම ඔවුන්ට (මෙසේ) කීය. පින්වත්නි, තෙපි නිතර වනමුල් ගෙඩි ආහාර කොට ඇත්තෝ වනයෙහිම වසන්නහුය. කුමක් හෙයින් මිනිස් පියසට නොයවුදැයි. පින්වත, මිනිස්සු දන් දී අනුමෝදනා කරවත්. දැහැමි කථා කියවත්. ප්‍රශ්න විචාරත්. අපි ඒ පිළිබඳ බියෙන් එහි නොයමු යයි (කීහ) පින්වත්නි, ඉදින් සක්විති රජුද වන්නේද (ඔහුගේ) සිත ගෙන කථා කිරීම මට භාරය. තෙපි බිය නොවව් කියා ඔවුන් සමග චාරිකාවෙහි යන්නේ පිළිවෙලින් බරණැසට පැමිණ රජ උයනෙහි වාසය කර දෙවන දවස්හි සියල්ලන් සමග දොරටු ගම්හි පිඬු පිණිස හැසුරුනේය. මිනිස්සු මහදන් දුන්හ. තාපසයෝ දෙවන දවස්හි නුවරට පිවිසියාහුය. මිනිස්සු මහදන් දුන්නාහුය. උද්දාලක තාපසයා අනුමෝදනා කරයි. යහපත පවසයි. පැණ විසදයි. මිනිස්සු පැහැදී බොහෝ ප්‍රත්‍යයන් දුන්නාහුය. සියළු නුවර පණ්ඩිත වූ සමූහයාට ගුරු වූ දැහැමි තවුසෙක් ආවේයයි කැළඹුනේය. එය රජුටද කීවාහුය.
රජු කොහි වසත්දැයි විමසා උයනෙහි යයි අසා මැනවි අද ඔවුන් දැකීම පිණිස යන්නෙමියි කීවේය. එකෙක් ගොස් “රජු ඔබ දකින්නට පැමිණේය” යි උද්දාලකට කීවේය. හෙතෙම තවුස් සමූහයා කැඳවා පින්වත්නි, රජු පැමිණෙන්නේය. ඉසුරුමතෙකු එක්දිනයක සතුටු කිරීම දිවි ඇතිතාක් ජීවත් වීමට ප්‍රමාණවත් වේය (කීවේය). ආචාර්යතුමනි, කුමක් නම් කළයුතුද? හෙතෙම මෙසේ කීවේය. ඔබලා අතර ඇතමෙක් වවුල් ව්‍රතය රකිව්. (හැසිරෙව්) ඇතමෙක් උක්කුටිකයෙන් හිඳිව්. ඇතමෙක් යකඩ හුල් එබ්බූ ලෑල්ලෙහි හිඳුව. ඇතමෙක් පඤ්චතපස් කරව්. ඇතමෙක් ජලමත නැගීම කරව්. ඇතමෙක් ඒ ඒ තන්හි මන්ත්‍රයන් හදාරව්යි (කීය) ඔවුහු එසේ කළාහුය. තෙමේ අටක් හෝ දහයක් පණ්ඩිතවාදීන් ගෙන මනහර ආධාරකයක සිත්කළු පොතක් තබා අතවැසියන් විසින් පිරිවරන ලද්දේ මනාව පනවන ලද සුවපහසු අසුනක හුන්නේය. එකෙනෙහි රජු පුරෝහිතයා රැගෙන මහත් වූ පිරිවර සමග උයනට අවුත් බොරු තපස් රකින්නා වූ ඔවුන් දැක අපාය බියෙන් මිදුනාහු යයි පැහැදී උද්දාලකගේ සමීපයට ගොස් පිළිසඳර කථාකොට එකත්පස්හි හුන්නේ සතුටු සිත් ඇත්තේ පුරෝහිත සමග කථා කරන්නේ පළමු ගාථාව කීවේය.
ඛරාජිනා ජටිලං පංකදන්තා, දුම්මුඛරූපා යෙ මෙ ජපන්ති,
කච්චින්නු තෙ මානුසකෙ පයොගෙ, ඉදං විදූ පරිමුත්තා අපායාති
1. රළු අඳුන් දිවිසම් පොරොවා ගත් මැලියම් සහිත දත් ඇති අපිරිසිදු මුහුණ ඇති යම් මේ ජටිලයෝ මන්ත්‍ර ජප කරත්ද කිම? මිනිසුන් විසින් කළයුතු කාර්යයෙහි නිරත මේ පණ්ඩිතයෝ අපායෙන් මිදුනෝද?
එහි ඛරාජිනා යනු රළු අඳුන් දිවිසමින් යුක්ත වූවාහු. පංකදන්තා යනු දැහැටි නොකෑමෙන් මලබැඳුන දත් ඇත්තාහු. දුම්මුඛරූපා යනු අඳුන් නොගානා ලද ඇස් ඇත්තාහු. අලංකාර නොකරන ලද සිරුරු ඇත්තාහු රළු සඟළ සිවුරු දරන්නාහු. මානුසකෙපයොගෙ යනු මිනිසුන් විසින් කළයුතු කාර්යයෙහි. ඉදං විදූ යනු මේ තවුස්දම් රැකීමද මන්ත්‍ර අධ්‍යයනයද දන්නාහු. අපායා යනු ආචාර්යයෙනි, කිම මේ සිවු අපායෙන් මිදුනාහුදැයි විමසයි.
ඒ අසා පුරෝහිතයා මේ රජු නොතන්හි පැහැදුනේය. නිශ්ශබ්ද වීමට නොවටී යයි සිතා දෙවන ගාථාව කීවේය.
2. රජතුමනි, ඉදින් බහුශ්‍රැත වූයේද පවිටු කර්මයන් කෙරේද දහම්හි නොහැසිරේද දහසක් වේද දන්නේද (නමුත්) සමාපත්ති නොලබා ඒ බහුශ්‍රැත බව ආදිය නිසා අපාය දුකින් නොමිදෙන්නේය.
එහි බහුස්සුතො චෙ යනු මහරජතුමනි, ඉදින් බහුශ්‍රැත වූ ප්‍රගුණ කරන ලද ත්‍රිවේද ඇති තැනැත්තාද දසකුසල කර්මයන්හි නොහැසිරෙන්නේද තුන්දොරින් පවිටු ක්‍රියාව කරන්නේද ත්‍රිවේදය සිටීවා! දහසක් වේද දන්නේද නමුත් ඒ බහුශ්‍රැත බව නිසා, අෂ්ඨ සමාපත්ති සංඛ්‍යාත චරණයට නොපැමිණ අපාය දුකින් නොමිදෙන්නේය යි.