3. මහාඋක්කුස ජාතකය (486)
උක්කාමිලා වා බන්‍ධන්ති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මිත්තගන්‍ධක උපාසකයා අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර පිරිහී ගිය කුලයක පුත්‍රයා වූ හෙතෙම (තමාගේ) යහළුවෙකු පිටත්කර යවා එක්තරා කුලදුවක විචාරා “ඔහුට උපන් කටයුතු පසිඳුවාලන්නට සමත් මිත්‍රයෙක් හෝ සහායකයෙක් ඇත්දැයි (විචාරා) නැතැයි (කී කල්හි) එසේ නම් පළමුව මිතුරන් ඇතිකර ගනීවායි කී කල්හි ඇයගේ අවවාදයෙහි සිට පළමුව සතරවාහල් දොරටුවෙහි පාලකයන් සමග මිතුරු බව කළේය. ඉක්බිතිව පිළිවෙලින් නගරපල්ලන් සමගද සේනාමහාමාත්‍යයන් සමගද මිතුරු බව කොට, සෙන්පතියා සමගද යුවරජු සමගද මිතුරු බව කළේය. ඔවුන් සමග එකතු වී රජු සමගද මිතුරු බව කළේය. අනතුරුව අසූමහා ශ්‍රාවකයන් සමගද ආනන්ද තෙරුන් සමගද එකමුතු වී තථාගතයන් වහන්සේ සමගද මිතුරු බව කළේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුව සරණාගමනයෙහිද සීලයන්හිද පිහිටවූ සේක. රජුද ඔහුට සම්පත් දුන්නේය. හෙතෙම මිත්‍රගන්‍ධක යැයිම ප්‍රකට වීය. ඉක්බිති ඔහුට මහත් වූ ගෙයක් දී ආවාහ මංගල්‍යය කරවීය. රජු ආදීකොට මහජනයා (ඔහුට) පඬුරු එවීය. ඉක්බිති ඔහුගේ බිරිඳ රජු විසින් එවන ලද පඬුරු යුවරජුටද යුවරජු විසින් එවන ලද පඬුරු සෙන්පතියාටදැයි මේ ක්‍රමයෙන් සියළු නුවරවැසියන් බැඳගත්තාය. සත්වන දවස්හි මහත් වූ සත්කාර කර දසබලධාරී බුදුරදුන්ට ආරාධනා කර පන්සියයක් පමණ වූ බුද්ධප්‍රමුඛ මහා සංඝයාට දන් දී බත්කිස අවසානයේදී ශාස්තෲන් විසින් කරන ලද අනුමෝදනාව අසා අඹුසැමි යුවළම සෝවාන් ඵලයෙහි පිහිටියාහුය.
දම්සභාවෙහි (මෙබඳු වූ) කථාවක් උපදවාලූහ. ඇවැත්නි, මිත්‍රගන්‍ධක උපාසකයා තමාගේ බිරිඳ නිසා ඇගේ වචනය සා සියල්ලන් සමග මිතුරුබව කොට රජු සමීපයෙන් මහත් වූ සත්කාර ලැබුවේය. ශාස්තෲන් වහන්සේ සමග මිතුරු බව කර අඹු-සැමි යුවලම සෝවාන් ඵලයෙහි පිහිටියාහුයයි (කියාය) ශාස්තෲන් වහන්සේ වැඩමකර “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහු දැයි විචාරා මෙනම් වූවකනැයි කී කල්හි “මහණෙනි, මොහු මාගමක් නිසා මහත් වූ යසසට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙර තිරිසන් යෝනියෙහි ඉපදුනා වූද මෙතෙම මැයගේ වචනය නිසා බොහෝදෙනා සමග මිතුරු බව කොට පුත්‍ර ශෝකයෙන් මිදුනේය යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි පිටිසර ගම්වාසී ඇතැම්හු යම් යම් තැන බොහෝ මස් ලබත්ද ඒ ඒ තන්හි ගම්කොට වාසය කර වනයෙහි ඇවිද මුව ආදීන් මරා මස් ගෙනවුත් අඹුදරුවන් පෝෂණය කරත්. ඔවුන්ගේ ගමට නුදුරින් මහත් වූ ඉබේ හටගත් විලෙකි. ඒ විලේ දකුණුපස එක් උකුස්සෙක් වේ. බටහිර පස එක උකුස්සියක් වේ. උතුරුපස සිංහරාජයෙක් වේ. පෙරදිග කබරුස්සා නම් කුරුළු රාජයා වාසය කරයි. ස්වයංජාත විල මැද උස් වූ තැන කැසුබුවෙක් වාසය කරයි. එකල්හි ඒ උකුස්සා “මගේ බිරිඳ වව”යි උකුස්සියට විවාහ යෝජනා කළේය. ඉක්බිති ඇය ඔහුට “ඔබට යම්කිසි මිතුරෙක් වේදැ”යි විචාලාය. “සොඳුර නැතැ”යි අපට උපන් බියක් හෝ දුකක් හරනට පොහොසත් වූ යහලුවෙකු ලැබීම වටනේය. පළමුව මිතුරන් (ඇතිකර) ගනුවයි (කීවාය) “සොඳුර, කවරෙකු සමග මිතුරු බව කරම්ද?” “පෙරදිග වසන කබරුස්සා පක්‍ෂි රජු සමගද, උතුරුදිග වසන සිංහයා සමගද, විල මැද කැසබුවා සමගද මිතුරු බව කරවයි (කීවාය) හෙතෙම ඇයගේ වචනය පිළිගෙන එසේ කළේය. එකල්හි ඔවුහු දෙදෙනා සහවාසය කර ඒ විලෙහිම එක් දිවයිනක හාත්පස ජලයෙන් වට වූ කොළොම් ගසක් ඇත. එහි කැදැල්ලක් කර වාසය කළාහුය.
මෑත කාලයෙහි ඔවුන්ට පැටවු දෙදෙනෙක් ලද්දාහුය. ඔවුන් පියාපත් නොහටගත් කල්හිම එක් දිනයක ඒ දනව් වැස්සෝ දවස පුරා වනයෙහි හැසිර කිසිවක් නොලැබ “හිස් වූ අත්වලින් ගෙදරට යාමට නොහැකි වෙමු. මසුන් හෝ කැසුබුවන් හෝ ගනිමු යයි විලට බැස ඒ දිවයිනට ගොස් ඒ කොළොම් ගස මුල වැදහෙව මදුරුවන් ආදීන් විසින් කනු ලබන්නෝ ඔවුන් පලවා හැරීම පිණිස ගිනිගානා දඬු මැඩ ගිනි උපදවා දුම් ඇති කළාහුය. දුම නැගී කුරුල්ලන් මඩනා ලදි. කුරුළු පැටව් මහහඬින් කෑගැසුවාහුය. ජානපදිකයේ ඒ අසා එම්බා පුරුෂයනි, කුරුළු පැටවුන්ගේ ශබ්දයකි. නැගී සිටිව්. ගිනිහුල් බඳිව්. කුසගින්නට පත් වූවමෝ නිදන්නට නොහැකි වෙමු. කුරුළු මස් කාම නිදන්නෙමුයි කියා ගිනි දල්වා ගිනිහුල් බැන්දාහුය. කුරුල්ලෝ ඔවුන්ගේ ශබ්දය අසා “මොවුහු අපගේ පැටවුන් කනු කැමැත්තාහුය. අපි මෙබඳු වූ බිය දුරලීම සඳහා මිතුරන් ඇති කර ගතිමු. සැමියා කබරුස්ස ලිහිණි රජු වෙත යවන්නෙමියි සිතා “ස්වාමීනි, යව. අපගේ පුත්‍රයන්ට උපන් බිය ලිහිණි රජුට දන්වව”යි පළමු ගාථාව කීවාය.