2. චන්‍දකින්නර ජාතකය (485)
උපනීයතිදං මඤ්ඤෙ යන මෙය ශාස්තෲන් වහන්සේ කිඹුල්වත් නුවර ඇසුරුකොට නිග්‍රෝධාරාමයෙහි වාසය කරන සේක් රජ මාළිගයෙහි රාහුල මාතාවන් අරභයා දේශනා කළ සේක. මේ ජාතකය දූරෙ නිදානයෙහි පටන් කිව යුතුය. යම් මේ නිදාන කථාවක් වේද එය යම් තාක්, ලට්ඨි වනයෙහි උරුවෙල් කාශ්‍යපගේ සිංහනාදය තෙක් අපණ්ණක ජාතකයෙහි කියන ලද අනතුරුව යම්තාක් කිඹුල්වත් පුර ගමන වේද ඒ තාක් වෙස්සන්තර ජාතකයෙහි ප්‍රකට වන්නේය. ශාස්තෲන් වහන්සේ පියාගේ මාළිගයෙහි වැඩහිඳ දන් වැළඳීම් අතර කාලයෙහි මහා ධම්මපාල ජාතකය වදාරා කරන ලද බත්කිස ඇත්තේ රාහුල මාතා (යසෝදරා)වන් වසන තැන වැඩහිඳ ඇයගේ ගුණ වර්ණනා කරන සේක් චන්‍දකින්නර ජාතකය දේශනා කරමියි රජුගෙන් පාත්‍රය ගෙන්වාගෙන අග්‍රශ්‍රාවකයන් දෙදෙනා සමග රාහුල මාතාවන් වසන තැනට වැඩි සේක. එකල්හි ඇය ඉදිරියෙහි සතළිස් දහසක් නළඟනෝ වසති. ඔවුන් අතර ක්‍ෂත්‍රිය කන්‍යාවන්ගේ සංඛ්‍යාව එක්දහස් අනූවකි. ඇය තථාගතයන් වහන්සේ වැඩමවීම දැන සියල්ලෝම කෂාය වස්ත්‍රයන්ම හඳිව් යයි ඈලාට දැන්වීය. ඈලා එසේ කළාහුය. ශාස්තෲන් වහන්සේ වැඩමවා පනවන ලද ආසනයෙහි හුන් සේක. ඉක්බිති ඈලා සියල්ලෝම එකවරම මහ හඬින් හැඬූහ. මහත් වූ විලාප ශබ්දයක් වීය. රාහුල මාතාව වැලපී ශෝකය දුරුකොට ශාස්තෲන් වහන්සේට වැඳ රාජකීය වූ බුහුමනින් හා ගෞරව සහිතව හුන්නීය. රජු ඇයගේ ගුණ කථාව ආරම්භ කළේය. ස්වාමීනි, මගේ ලේලිය තොප විසින් කසාවත් හඳනා ලදැයි අසා කසාවත්ම ඇන්දාය. මල් මාලාදිය හරනා ලදැයි අසා මල් මාලාදිය අතහැර බිම හොවන්නීම වූවා, ඔබ පැවිදි වූ කල්හි වැන්දඹු වූවා අන් රජුන් විසින් එවන ලද පඬුරු නොගත්තාය. මෙසේ මැය ඔබ වහන්සේ කෙරෙහි ස්නේහයෙන් යුත් සිත් ඇත්තී වූවාය යි ඇයගේ නන්විරූ ගුණකථාව කීවේය. ශාස්තෲන් වහන්සේ, මහරජතුමනි, යම් හෙයකින් මැය දැන් මගේ අවසන් ආත්මභාවයෙහි මා කෙරෙහි සෙනෙහෙ සහිත වූවා ඇළුන සිත් ඇත්තී වූවා අනිකෙකු විසින් පාවා ගත නොහැකි වූවා අසිරිමත් නොවේ. මැය තිරිසන් යෝනියෙහි උපන්නීද මා කෙරෙහි ඇළුන සිත් ඇත්තී අනිකෙකු විසින් පාවා ගත නොහැකි වූවාම වී යයි වදාරා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි මහබෝසත් තෙමේ හිමවත පෙදෙසෙහි කින්නර යෝනියෙහි උපන්නේය. ඔහුගේ භාර්යාව චන්දා නම් වූවාය. ඔවුහු දෙදෙනාම චන්‍ද නම් රිදී පර්වතයෙහි වාසය කළාහුය. එකල්හි බරණැස් නුවර රජු පංචායුධයෙන් සන්නද්ධව හුදකලාව හිමවතට පිවිසියේය. හෙතෙම මුව මස් කමින් එක් කුඩා නදියක් සිහිකරමින් (නදිය හාත්පස බලමින්) මත්තට නැංගේය. චන්‍ද පර්වත වැසි කිඳුරෝ වැසි කාලයෙහි (පර්වතයෙන්) නොබැස පර්වතයෙහිම වසත්. ග්‍රීෂ්ම කාලයෙහි බසිත්. එකල්හි ඒ සඳකිඳුරා තමාගේ භාර්යාව සමග පර්වතයෙන් බැස ඒ ඒ තන්හිදී සුවඳ ගල්වමින් මල්මාලා හඳිමින් පොරවමින් ලියවැල් නැමති දෝලාවන්හි ක්‍රීඩා කරමින් මිහිරි හඬින් ගායනා කරමින් ඒ කුඩා නදියට පැමිණ එක් වක් වූ තැනක (නදියට) බැස ජලයෙහි මල් විසුරුවා ජලක්‍රීඩා කොට මල්මාලා හැඳ පොරවා රන්පටක් වන් වැල්ලෙහි මල් යහනාවක් පනවා එක් බටනලාවක් ගෙන යහනෙහි හුන්නේය. ඉක්බිති සඳකිඳුරා බටනලාව වාදනය කරනුයේ මිහිරි ශබ්දයෙන් ගායනය කළේය. සඳකිඳුරිය මෘදු වූ අත් නමා ඔහු සමීපයෙහි සිටිමින්ම නැටුවාය. ගායනය කළාය. ඒ රජු ඔවුන්ගේ ශබ්දය අසා පිරිවර ශබ්දය නොඅස්වමින් වහා අවුත් පිළිසන් තැනක සිට ඒ කිඳුරන් දැක කිඳුරිය පිළිබඳව බැඳුන සිත් ඇත්තේ ඒ කිඳුරාට විද ජීවිත්‍කෂයට පත්කරවා මැය සමග වාසය කරන්නෙමියි සිතා සඳකිඳුරාට විද්දේය. හෙතෙම වේදනාවෙන් මඩනා ලද්දේ හඬමින් ගාථා සතරක් කීවේය.