9. රූරුමිග ජාතකය (482)
කස්ස ගාම වරං දම්මි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන සේක් දෙව්දත් අරභයා දේශනා කළ සේක. ඒ දේවදත්ත තෙමේ භික්‍ෂූන් වහන්සේලා විසින් ඇවැත්නි, දේවදත්තයනි, ශාස්තෲන්වහන්සේ තොපට බොහෝ උපකාර වූ සේක. ඔබ තථාගතයන් නිසා පැවිද්ද ලැබුවේය. ත්‍රිපිටකය උගත්තේය. ලාභ සත්කාරයන්ට පැමිණුනියි කී කල්හි ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විසින් මට තණ අග පමණ හෝ උපකාරයක් නොකරන ලදි. මම තෙමේම පැවිදි වීමි. තෙමේම ත්‍රිපිටකය උගත්තෙමි. තෙමේම ලාභ සත්කාරයන්ට පැමිණුනෙමියි කීවේය. භික්‍ෂූහු දම්සභාවෙහි “ඇවැත්නි, දෙව්දත් අකෘතඥය. කළගුණ නොදත්තේ යයි කථාවක් ඉපිදවූහ. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් මෙනම් වූවකැනැයි කී කල්හි දේවදත්ත තෙමේ දැන්ම කළගුණ නොදන්නේ නොවීය. පෙරද කළගුණ නොදත්තේමය. මෙතෙම පෙරද මා විසින් ජීවිතය දුන් කල්හිද මගේ ගුණ පමණකුත් නොදත්තේ යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි අසූකෙළක් ධනය ඇති එක් සිටුවරයෙක් පුතෙක් ලැබ ඔහුට මහධන යයි නම්කොට ශිල්ප ඉගෙන ගනුයේ මගේ පුත්‍රයා විඩාවට පත්වන්නේ යයි කිසියම් ශිල්පයක් නොඉගැන්වීය. හෙතෙම ගැයුම්-නැටුම්-කෑම-බොදුන් ගැනීමට වැඩියම් කිසිවක් නොදත්තේය. වැඩිවියට පත් ඔවුහු සුදුසු බිරිඳක හා විවාහ කරවා මවුපියෝ කළුරිය කළාහුය. හෙතෙම ඔවුන්ගේ ඇවෑමෙන් ස්ත්‍රී සොඬුන් සුරා සොඬුන් ආදීන්ගෙන් පිරිවරන ලද්දේ ධනය විනාශ වන දොරටුවලින් සියළු ධන වනසා ණය ගෙන එය දෙන්නට අපොහොසත් වනුයේ ණය හිමියන් විසින් චෝදනා කරනු ලබන්නේ මෙසේ සිතීය. මගේ දිවියෙන් කවර ප්‍රයෝජනයක්ද? මේ ආත්ම භාවයෙන්ම අනිකෙකු මෙන් වූයේ වෙමි. මට මරණය උතුම් යයි ඔහු ණය හිමියන්ට මෙසේ කීවේය. නුඹලාගේ ණයපත් ගෙන එව්. ගංඉවුරෙහි නිදන් කළ මගේ ධනය ඇත. එය ඔබලාට දෙන්නෙමියි. ඔවුහු ඔහු සමඟ ගියාහුය. හෙතෙම මෙහි ධනය ඇත. මෙහි ධනය ඇතැයි නිධන්ගත තැන් කියන්නාක් මෙන් ගඟට පැන මැරෙන්නෙමියි පලාගොස් ගංගාවට පැන්නේය. සැඩ පහරින් පාවී යන්නා වූ ඔහු බැගෑපත් හඬින් හැඬුවේය.
එකල්හි බෝධිසත්ත්වයෝ රූරු මුව ජාතියෙහි ඉපදී පිරිවර අත්හැර හුදකලාව ගංගාව සමීපයෙහි සිත්කළු වූ සල්ගස් සහිත මල් පිපී අඹ වනයෙහි වාසය කරයි. ඔහුගේ සිරුර පැහැය මනාව මදනා ලද රන්පටක් මෙන් වීය. අත්පා ලතුයෙන් පිරියම් කලාක් වැනිය. නගුට සෙමර වල්ගයක් වැනිය. අං රිදී දමක් වැනිය. ඇස් මනාව ඔපදමනා ලද මැණික් ගුලි දෙකක් වැනිය. මුව යොමුකර තබන ලද රත් කම්බිලියෙන් කරන ලද කේතුවක් වැනිය. හෙතෙම මධ්‍යම රාත්‍රී කාලයෙහි ඔහුගේ බැගෑපත් හඬ අසා මිනිස් හඬක් ඇසේ. මා සිටියදී නොමැරේවා. ඔහුට ජීවිතය දෙන්නෙමියි සිතා නිදන ලැහැබින් නැගිට ගංතෙරට ගොස් එම්බා පුරුෂය, බිය නොවව. තොපට ජීවිතය දෙන්නෙමි යි අස්වසා දියපහර සිඳිමින් ගොස් ඔහු පිටමත නංවා ගංතෙරට පමුණුවා තමා වසන තැනට ගොස් ඵලාඵල දී දෙතුන්දිනක් ඇවෑමෙන් එම්බා පුරුෂය, මම නුඹ මේ වනයෙන් බැහැරකර බරණැස් නුවරට යන මාර්ගයෙහි තබන්නෙමි. නුඹ සුවසේ යන්නෙහි ය තවද අසවල් තැන රන්වන් මුවෙක් වසයි යයි ධනය හේතුවෙන් රජුට හෝ රාජමහාමාත්‍යයෙකුට හෝ නොකියවයි කීවේය. හෙතෙම මැනවයි ස්වාමීනි, යයි පිළිගත්තේය.
මහබෝසත් තෙමේ ඔහුගේ ප්‍රතිඥාව ගෙන තමාගේ පිටෙහි නංවා බරණැස් නුවරට යන මාර්ගයෙහි බස්වා පෙරළා පැමිණියේය. ඔහු බරණැස් නුවරට පිවිසෙන දිනයෙහිදීම රජුගේ ඛේමා නම් මෙහෙසිය අළුයම් කාලයෙහි සිහිනෙන් රන්වන් මුවෙක් තමාට ධර්මය දේශනා කරනු දැක සිතීය. ඉදින් මෙවැනි මුවෙක් නොවන්නේ නම් මම සිහිනෙන් නොදක්නෙමි. ඒකාන්තයෙන් සිටිනුයේ වන්නේය. රජුට දන්වන්නෙමියි ඇය රජු වෙත එළඹ මහරජතුමනි, මම රන්වන් වූ මුවකුගෙන් ධර්මය අසනු කැමැත්තෙමි. ඉදින් ලබන්නෙම් නම් ජීවත් වන්නෙමි. ඉදින් එසේ නොවන්නේ නම් මගේ ජීවිතය නැතැයි කීවාය. රජු ඇය අස්වසා ඉදින් එවැන්නෙක් මිනිස් ලොව ඇත්නම් ලබන්නෙහි යයි කියා බමුණන් කැඳවා රන්වන් මුවෝ වෙත්දැයි විචාරා එසේය ස්වාමීනි වෙත් යයි අසා අලංකාර කර සරසන ලද ඇතෙකුගේ සිරුර මත රන් කරඬුවක දහසින් බැඳි පියල්ලක් තබා යමෙක් රන්වන් මුවෙක් ගැන කියයිද ඔහුට දහසින් බැඳි පියල්ල සමඟ ඉන්මතු ඒ ඇතුද දෙනු කැමැත්තේ වී රන්පටෙක ගාථාවක් ලියවා එක් ඇමතියෙකු කැඳවා, දරුව එව. ඔබ මගේ වචනයෙන් මෙම ගාථාව නුවරවැසියන්ට කියවයි මේ ජාතක කථාවෙහි පළමු ගාථාව කීවේය.