10. සරභමිග ජාතකය (483)
ආසිං සෙථෙව පුරිසො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් තමන් වහන්සේ විසින් කෙටියෙන් විමසන ලද ප්රශ්නයට ධර්මසේනාපති සැරියුත් තෙර විසින් විස්තර සහිතව විවරණය කිරීම අරභයා දේශනා කළ සේක. කවර නම් සමයක ශාස්තෲන් වහන්සේ තෙරුන් වහන්සේගෙන් කෙටියෙන් ප්රශ්න විචාළ සේක්ද? දේවාරෝහණයෙහිදීය. මේ එහි කෙටියෙන් වූ අනුපිළිවෙල කථාවයි. රජගහනුවර සිටුවරයා සමීපයෙහිදී සඳුන්පාත්රය ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිර විසින් සෘද්ධියෙන් ගොස් ගත් කල්හි ශාස්තෲන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සෘද්ධි ප්රාතිහාර්ය පෑම ප්රතික්ෂේප කළ සේක. එකල්හි තීර්ථකයන් විසින් ශ්රමණ භවත් ගෞතමයන් විසින් සෘද්ධිප්රාතිහාර්යය කිරීම ප්රතික්ෂේප කරන ලදි. දැන් තමන් වහන්සේද නොකරන්නෝය යයි සිතා හැකුළුනා වූ සිය ශ්රාවකයන් විසින් ස්වාමීනි, කුමක් හෙයින් සෘද්ධියෙන් පාත්රය නො ගත්තහුදැයි කියනු ලබන්නාහු ඇවැත්නි, මෙය අපට දුෂ්කර වූවක් නොවේ. ලාමක වූ දැවමුවා පාත්රයක් සඳහා අපගේ සියුමැලි ගුණය කවරෙක් නම් ගිහියන්ට ප්රකාශ කරන්නේදැයි නොගත්තෙමු. ශාක්ය පුත්රීය ශ්රමණයෝ ලොල් බව හා අඳබාල බව නිසා සෘද්ධිය දක්වා ගත්තාහුය. සෘද්ධි දැක්වීම අපට බරක් යයි නොසිතව්. ශුමණ භවත් ගෞතමයන්ගේ ශ්රාවකයෝ සිටිත්වා. බලාපොරොත්තු වන්නා වූ අප ශ්රමණ භවත් ගෞතමයන්ගේ ශ්රාවකයෝ සිටිත්වා. බලාපොරොත්තු වන්නා වූ අප ශ්රමණ භවත් ගෞතමයන් සමගම සෘද්ධිය දක්වන්නෙමු. ඉදින් ශ්රමණ භවත් ගෞතම තෙමේ එක් ප්රාතිහාර්යයක් කරන්නේද අපි දෙකක් කරන්නෙමු. ශ්රමණ භවත් ගෞතම තෙමේ තෙවැන්නක් කරන්නේද අපි දෙගුණයක් කරන්නෙමුයි කීවාහුය.
භික්ෂූන් වහන්සේලා ඒ අසා භාග්යවතුන් වහන්සේට දැන්වූහ. ස්වාමීනි, තීර්ථකයෝ ප්රාතිහාර්යය කරන්නාහ යයි ප්රකට කළාහුය. මහණෙනි, (ඔවුහු) කරත්වා! මමද කරන්නෙමියි. ඒ අසා බිම්බිසාර රජු අවුත් ස්වාමීනි, ප්රාතිහාර්යය කරන්නහුදැයි භාග්යවතුන් වහන්සේගෙන් විචාළේය. මහරජතුමනි, එසේයයි වදාළ සේක. ස්වාමීනි, ශික්ෂාපදයක් පනවන ලද්දේ නොවේද මහරජතුමනි, මා විසින් එය ශ්රාවකයන්ට පනවන ලදි. බුදුවරුන්ට ශික්ෂාපද නැත. මහරජතුමනි, යම්සේ ඔබගේ උයනෙහි මල් හා ගෙඩි අන්යයන්ට වළක්වන ලදි. ඔබට තහනම් නොවේ. මෙසේ මේ සම්ප්රදාය දතයුතුය. ස්වාමීනි, කොහිදී ප්රාතිහාර්යය කරන්නහුදැයි. සැවැත්නුවර ගණ්ඩබ්බ ගස මුල යයි වදාළ සේක. අප විසින් එහි කවරක් කළයුතු? මහරජතුමනි, කිසිවක් නැතැයි දෙවන දවස්හි ශාස්තෲන් වහන්සේ කරන ලද බත් කිස ඇත්තේ චාරිකාවෙහි වැඩි සේක. මිනිස්සු ස්වාමීනි, ශාස්තෲන් වහන්සේ කොහි වඩනා සේක්දැයි විචාරති. සැවැත්නුවර ගණ්ඩබ්බ ගසමුලදී තීර්ථකයන් මැඩීම පිණිස යමක මහා ප්රාතිහාර්යය කරන්නට යයි භික්ෂූහු ඔවුන්ට කියත්. මහජනයා ආශ්චර්යමත් ප්රාතිහාර්යයක් වන්නේය. එය බලන්නෙමුයි ගෙදොරවල් අතැර ශාස්තෲන් වහන්සේ සමගම ගියහ.
අන්ය තීර්ථකයෝද අපිද ශ්රමණ භවත් ගෞතමයන් ප්රාතිහාර්යය කරන තැනම ප්රාතිහාර්ය කරන්නෙමුයි උපස්ථායකයන් සමග ශාස්තෲන් වහන්සේ අනුවම ගියාහුය. ශාස්තෲන් වහන්සේ පිළිවෙලින් සැවැත් නුවරට ගොස් රජු විසින් ස්වාමීනි, ප්රාතිහාර්යය කරන සේක්දැයි විමසන ලද්දේ කරන්නෙමියි කියා ස්වාමීනි, කෙදින දැයි කී කල්හි මෙයින් සත්වන දින ඇසළ පුර පසළොස්වක දිනයෙහිදීයි කීවේය. ස්වාමීනි, මණ්ඩපයක් කරමියි කීවේය. මහරජ කම් නැත. ශක්රයා මා ප්රාතිහාර්ය කරන තැන දොළොස් යොදුන් පමණ වූ රුවන් මණ්ඩපයක් කරන්නේ යයි වදාළ සේක. ස්වාමීනි, මේ කරුණ නගරයෙහි පතුරුවාලන්නෙමි යි. මහරජතුමනි, පතුරුවාලව. රජු ධර්මඝෝෂකයා අලංකාර කර සරසන ලද ඇතුපිට නංවා ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර දොර ගණ්ඩබ්බ ගස මුලදී තීර්ථකයන් මැඩීමේ ප්රාතිහාර්ය මෙයින් සත්වන දිනයෙහි කරන සේකැයි දිනපතා ඝෝෂා කරවීය. තීර්ථකයෝ ගණ්ඩබ්බ ගස මුලදී ප්රාතිහාර්ය කරන්නේ යයි (අසා) හිමියන්ට ධනය දී සැවැත්නුවර සමීපයෙහි තිබූ අඹගස් කැප්පවූහ. ධර්මඝෝෂකයා පුන්පොහෝ දින උදෑසනම අද ප්රාතිහාර්යය වන්නේ යයි ඝෝෂා කළේය. දෙවියන්ගේ මහිමයෙන් සියළු දඹදිව දොර දොරහි සිට ඝෝෂා කළාක් මෙන් වීය. යම් යම් කෙනෙක් යන්නට සිත් උපදවත්ද ඔවුහු තෙමේ සැවැත්නුවරට පත්වූවෙකු කොටම දුටහ. දොළොස් යොදුනක පැතිර සිට පිරිසක් වූහ.
ශාස්තෲන් වහන්සේ උදෑසනම සැවැත්නුවර පිඬු පිණිස පිවිසීම සඳහා නික්මුණ සේක. ගණ්ඩ නම් වූ උයන්පල්ලා පොකුර පිටින්ම ඉදුන පුහුල් ගෙඩියක් ප්රමාණ වූ මහත් වූ ඉදුනු අඹගෙඩියක් රජුට ගෙන යන්නේ නගර දොරටුවෙහිදී ශාස්තෲන් වහන්සේ දැක මෙය තථාගතයන් වහන්සේ පිළිගන්වවා පසෙක වැඩහුන් සේක් වළදා ආනන්දය, මෙ ඇටය මෙතැන රෝපණය කිරීම සඳහා උයන්පල්ලාට දෙව. මේ අඹගස ගණ්ඩබ්බ නම් වන්නේය යි වදාළ සේක. තෙරුන් එසේ කළහ. උයන්පල්ලා පස් විසුරුවා රෝපනය කළේය. එකෙනෙහිම ඇටය බිඳී මුල් බැස්සේය. නඟුල්හිසක් පමණ වූ රතු අංකුරයක් නැගී මහජනයා බලා සිටියදීම පනස් රියන් පමණ කඳ ඇති පනස්රියන් පමණ ව අඹගසක් හට ගත්තේය. එකෙනෙහිම එම ගසේ මල්ද ගෙඩිද හටගත්තේය. ඒ ගස මීමැස්සන්ගෙන් පිරිවරන ලදුයේ රන්වන් ගෙඩිවලින් බර වූයේ අහස පුරවා සිටියේය. සුළඟ හමන කල්හි මිහිරි වූ පැසුන ගෙඩි වැටුනහ. පසුව පැමිණෙන්නා වූ භික්ෂූහු ඒවා වළදා පැමිණියාහුය.