13. තේරසක නිපාතය
1. අම්බ ජාතකය (474)
[missing pali] යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජෙතවනයෙහි වාසය කරන සේක් දෙව්දත් අරබයා දේශනා කළ සේක. දෙව්දත්ද මම බුදු වන්නෙමි. ශ්‍රමණ භවත් ගෞතමයෝ මගේ ආර්යයයෝ නො වෙති. උපාධ්‍යායයන් වහන්සේ නො වෙති යි ආචාර්යයන් වහන්සේව ප්‍රතික්‍ෂේප කොට ධ්‍යානයන්ගෙන් පිරිහුනේ සංඝයා බිඳ පිළිවෙලින් සැවැත් නුවරට එන්නේ ජේතවනාරාමයෙන් පිටත පොළොවෙහි විවරයක් දුන් කල්හි අවීචියට පිවිසියේය. එකල්හි දම්සභාවෙහි ඇවැත්නි, දෙව්දත් තෙමේ ආචාර්යවරයා ප්‍රතික්‍ෂේප කර මහා විනාශයට පත්ව අවීචි මහා නරකයෙහි උපන්නේ යයි කථාවක් ඉපිදවූහ. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, දෙව්දත් ආචාර්යවරයා ප්‍රතික්‍ෂේප කර මහා විනාශයට පත් වූයේ දැන් පමණක් නොවේ. පෙරද පත්වූයේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි ඔහුගේ පුරෝහිත කුලය අභිවාතක රෝගයෙන් නැසුනේය. එකම පුතු බිත්තිය බිඳ පලා ගියේය. හෙතෙම තක්‍ෂිලාවට ගොස් දිසාපාමොක් ආචාර්යයන්ගේ සමීපයෙන් වේදයන්ද සෙසු ශිල්පයන්ද ඉගෙනගෙන ආචාර්යවරයා වැඳ නික්මුනේ ඒ ඒ දේශයන්හි සිරිත් දැනගන්නෙමියි හැසිරෙන්නේ එක් ප්‍රත්‍යන්ත නගරයකට පැමිණියේය. ඒ නගරය ඇසුරුකොට මහත් වූ සැඩොල් ගමක් වීය. එකල්හි බෝධිසත්ත්වයෝ ඒ ගමෙහි වාසය කරති. පණ්ඩිතය, ව්‍යක්තය. අකල්හි ගෙඩි ගන්වන මන්ත්‍රයක් දනී. ඔහු උෑසනම නැගිට කඳ ගෙන ඒ ගමෙන් නික්මී වනයෙහි එක් අඹගසක් වෙත එළඹ පියවර සතක් පමණ තැන සිටියේ ඒ මන්ත්‍රය පිරිවහා අඹ ගසට එක් වතුර අල්ලකින් ගසයි. ඒ ඇසිල්ලෙහිම ගසෙන් පැරණි කොළ වැවේ. අළුත් කොළ නැගේ. මල් පිපී වැටේ. අඹගෙඩි හටගෙන මොහොතකින් පැසී මිහිරි යුෂ ඇති දිව්‍යමය ගෙඩි වැනි වී ගසෙන් වැටෙයි. මහා සත්ත්ව තෙමේ ඒවා අහුලා ඇති පමණ කා කඳ පුරවා ගෙටගොස් විකුණා අඹුදරුවන් පෝෂණය කෙළේය.
ඒ බමුණු කුමාරයා නොකල්හි ඉදුණු අඹ ගෙනවුත් විකුණන ඒ මහා සත්ත්වයන් දැක ඒකාන්තයෙන්ම මන්ත්‍ර බලයෙන් මේවා උපන්නේ විය යුතු යයි සිතා මේ පුරුෂයා ඇසුරු කොට මේ වටිනා මන්ත්‍රය ලබන්නෙමියි සිතා මහා සත්ත්වයන් අඹ ගන්නා වූ ක්‍රමයෙන් (ලෙසින්) පරීක්‍ෂා කරන්නේ ඇති පරිදෙන් දැන ඔහු වනයෙන් නොපැමිණි කල්හිම ඔහුගේ ගෙට ගොස් නොදන්නාක් මෙන් ඔහුගේ භාර්යාවගෙන් ආචාර්යවරයා කොහිදැයි විමසා වනයට ගියේ යයි කී කල්හි ඔහුගේ පැමිණීම අපේක්‍ෂා කරමින් සිට එන්නාවූ ඔහු දැක පෙර ගමන්කොට අතින් කද ගෙන ගෙනවුත් ගෙහි තැබීය. මහා සත්ත්ව තෙමේ ඔහු බලා භාර්යාවට කීවාය. සොඳුර, මේ මානවකයා මන්ත්‍රය ඉගෙනීම පිණිස පැමිණියේය. මොහුගේ අතෙහි මන්ත්‍රය නොපිහිටයි. මෙතෙම අසත්පුරුෂයෙකි. මානවකයාද මම ආචාර්යවරයාට උපකාර කරන්නේක් වී මේ මන්ත්‍රය ලබන්නෙමියි සිතා එතැන් පටන් ඔහුගේ ගෙහි කළයුතු කටයුතු කරයි. දර ගෙන එයි. වී කොටයි. බත් පිසයි. මුහුණ සෝදන උපකරණ ආදිය ළගට දෙයි. පාදයන් සෝදයි. මහා සත්ත්වයා විසින් එක් දිනයක දරුව මානවකය, නිදාගැනීම සඳහා ඇඳට ගිය මගේ පාදයන්ට ආධාරකයක් දෙවයි කී කල්හි අනිකක් නොදැක මුළු රැයම කලවය මත තබා හුන්නේය. මෑත කාලයෙහි බෝසතුන්ගේ භාර්යාව පුතකු වැදුවාය. ඇගේ ප්‍රසූතියෙන් සියළු පිළියම් සියල්ලද කළේය.
ඇය එක් දවසක් මහා සත්ත්වයන්ට මෙසේ කීවේය. ස්වාමීනි, මේ මානවකයා උසස් කුලයකට අයත් වීද මන්ත්‍රය ඉගෙනීම පිණිස අපට වතාවත් කරයි. මොහු වෙත මන්ත්‍රය පිහිටාවා නැතහොත් නොවේවා. මොහුට මන්ත්‍රය දෙවු යයි. හෙතෙම මැනවයි පිළිගෙන ඔහුට මන්ත්‍රය දී මෙසේ කීවේය. දරුව, මේ මන්ත්‍රය වටිනා එකකි. මෙය නිසා තොපට මහත් වූ ලාභ සත්කාර වන්නේය. රජු විසින් හෝ රජුගේ මහාමාත්‍යයන් විසින් හෝ ඔබගේ ආචාර්යවරයා කවරෙක්දැයි විමසූ කල්හි නොසැඟවිය යුතුය. ඉදින් සැඩොළෙකු වූ මා වෙතින් මන්ත්‍රය ගන්නා ලද්දේ යයි ලජ්ජා වන්නේ මගේ ආචාර්යවරයා මහත් වූ ධනය ඇති බ්‍රාහ්මණයෙකැයි කියන්නෙහි නම් මේ මන්ත්‍රයේ ප්‍රතිඵල නො ලබන්නෙහිය. හෙතෙම, කවර කරුණක් නිසා සඟවන්නෙමිද කවරෙකු විසින් හෝ විමසූ කල්හි තොප පිළිබඳව කියන්නෙමියි කියා වැඳ සැඩොල් ගමෙන් නික්මී මන්ත්‍රය පරීක්‍ෂා කර පිළිවෙලින් බරණැසට පැමිණ අඹ විකුණා බොහෝ ධනය ලැබුවේය.