8. තක්කාරිය ජාතකය (481)
අහමෙව දුබ්භාසිතං භාසිං බාලො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් කෝකාලික අරභයා දේශනා කළ සේක. එක් වැසි සමයකදී අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේ සමූහයා අත්හැර වෙන්ව වාසය කරනු කැමැත්තාහු ශාස්තෲන් වහන්සේ විමසා කෝකාලික රටෙහි කෝකාලික වසන තැනට ගොස් මෙසේ කීවාහුය. ඇවැත්නි කෝකාලිකයෙනි, ඔබ ඇසුරුකොට අපද අප ඇසුරුකොට ඔබද පහසු විහරණ ඇතිව මෙම තෙමස මෙහි වසන්නෙමු යයි. ඇවැත්නි මා ඇසුරුකොට නුඹ වහන්සේලාට කිනම් වූ පහසු විහරණයක් වේද? ඇවැත්නි, ඉදින් නුඹ අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේලා මෙහි වසත් යයි කිසිවෙකුට නොකියන්නෙහිය. (එසේ ඇතිකල්හි) අපි සැපසේ වාසය කරන්නෙමු. මේ ඔබ ඇසුරුකොට අපගේ පහසු විහරණය වන්නේය යි. අනතුරුව නුඹවහන්සේලා නිසා මට කවරනම් පහසු විහරණයක් වේද. අපි තෙමස තුළ තොපට ධර්මය දේශනා කරන්නෙමු. බණ කථා කියන්නෙමු. මේ තොපට අප නිසා වන පහසු විහරණයයි. ඇවැත්නි, කැමති පරිදි වාසය කරව්යි හෙතෙම උන්වහන්සේලාට සුවපහසු සෙනසුන් දුන්නේය. උන්වහන්සේලා සමාපත්ති ඵලසුවයෙන් සුවසේ විසූහ. කිසිවෙක් ඔවුන් එහි වසන බව නොදනිත්.
වසන ලද වස් ඇති ඔවුහු පවාරණය කර ඇවැත්නි, ඔබ නිසා සුවසේ විසූවෙමු. ශාස්තෲන් වහන්සේ වඳින්න යමුයි ඔහුගෙන් විමසූහ. හෙතෙම මැනවයි පිළිගෙන ඔවුන් රැගෙන ගොදුරු ගම්හි පිඬු පිණිස හැසුරුණේය. තෙරුන්වහන්සේලා කරන ලද බත්කිස ඇත්තාහු ගමෙන් නික්මුණාහුය. කෝකාලික තෙමේ උන්වහන්සේ පිටත් කර යවා පෙරළා අවුත් මිනිසුන්ට කීවේය. “උපාසකවරුනි, තෙපි තිරිසනුන් හා සමාන වූවාහුය. අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේ ගොදුරු විහාරයෙහි වසන කල්හි නොදනින්නෙහුද? දැන් උන්වහන්සේලා වැඩියහ යි” කියාය. ස්වාමීනි, කුමක් හෙයින් අපට නොදැන්වූවහුදැයි කියා බොහෝ ගිතෙල් තලතෙල් ආදිය බෙහෙත්ද හඳනා වස්ත්‍රයන්ද ගෙන තෙරුන් වහන්සේලා වෙත එළඹ වැඳ ස්වාමීනි, අපට ක්‍ෂමා කරවුව මැනව. අප ඔබ වහන්සේලා අග්‍රශ්‍රාවක බව නොදනිමු. අද අපගේ පිංවත් කෝකාලික ස්ථවිරයන්ගේ වචනයෙන් දත්තෝ වෙමු. අපට අනුකම්පාවෙන් මේ බෙහෙත් හා වස්ත්‍ර ආදිය පිළිගනිවු යයි කීවාහුය.
කෝකාලික තෙමේ “අග්‍රශ්‍රාවක තෙරවරු අල්පේච්ඡ වූවාහුය. ලද දෙයින් සතුටු වන්නෝය. මේ වස්ත්‍ර තමා විසින් නොගෙන මට දෙන්නාහු යයි සිතා උපාසකයන් සමගම තෙරුන් වහන්සේලාගේ සමීපයට ගියේය. අග්‍රශ්‍රාවක තෙරවරු භික්‍ෂූත්‍වයේ පිරිපුන් බවට ගිය හෙයින් ඉන් කිසිවක් තමා නොගත්තාහුය. කෝකාලිකට නොද දෙවූහ. උපාසකයෝ (කියන්නාහු) ස්වාමීනි, දැන් (පූජාවන්) නොගන්නාහු නැවත අපට අනුග්‍රහ පිණිස මෙහි පැමිණෙවු යයි ඉල්ලූහ. අග්‍රශ්‍රාවකයෝ ඉවසා ශාස්තෲන් වහන්සේ සමීපයට වැඩියහ. කෝකාලික තෙමේ මේ තෙරවරු තමා නොගන්නාහු මටද නො දෙවවාහුය යි වෛර බැන්දේය. තෙරවරුද ශාස්තෲන් වහන්සේ සමීපයෙහි මද කලක් වාසය කර සිය පිරිවර වූ පන්සියයක් භික්‍ෂූන් ගෙන භික්‍ෂූන් දහසක් සමග චාරිකාවෙහි හැසිරෙන්නාහු කෝකාලික රටට පැමිණියාහුය. ඒ උපාසකවරු පෙරගමන් කොට තෙරුන් වහන්සේලා කැඳවාගෙන එම විහාරයටම පමුණුවා දිනපතා මහත් වූ සත්කාර කළාහුය. බොහෝ බෙහෙත් වස්ත්‍රාදිය උපදී. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සමඟ ගිය භික්‍ෂූන් සිවුරු ආදියෙන් විමසා සමඟ පැමිණි භික්‍ෂූන් වහන්සේලාටම දෙත්. කෝකාලිකට නොදෙත්. අග්‍රශ්‍රාවකයෝද ඔහුට නොදෙවවති. කෝකාලික තෙමේ සිවුරු නොලැබ පවිටු අදහස් ඇත්තේ. සැරියුත් මුගලන් දෙනම පෙර දෙනු ලබන ලාභයන් නොගෙන දැන් ගනිත් (තම අභිලාශයන්) පුරවන්නට නොහැකි වන්නාහුය. අන්‍යන් දෙස නොබලත් යයි තෙරුන් වහන්සේලාට නින්දා කරයි. අපහාස කරයි. අග්‍රශ්‍රාවක ස්ථවිරවරු හෙෙතම අප නිසා අකුසල් රැස් කරයි යයි පිරිවර සහිතව නික්මී ස්වාමීනි, තවත් දින කීපයක් වසවු යයි මිනිසුන් විසින් ඉල්වනු ලබන්නාහුද නවතින්නට නොකැමති වූවාහුය.
ඉක්බිතිව එක් තරුණ භික්‍ෂුවක් මෙසේ කීවේය. උපාසකවරුනි, අග්‍රශ්‍රාවක තෙරවරු කෙසේ නම් වසත්ද? තොපගේ කුළූපග තෙරුන්වහන්සේ මුන්වහන්සේලාගේ මෙහි විසීම නො ඉවසති. ඔවුහු ඒ කෝකාලික සමීපයට ගොස් ස්වාමීනි, තෙපි අග්‍රශ්‍රාවක තෙරවරුන්ගේ මෙහි විසීම නොඉවසුවද යවු ඔවුන් ක්‍ෂමා කරවා හෝ නවත්වහුයයිද (නැතහොත්) මෙයින් පලාගොස් අන්තැනක වසහු යයි කීවාහුය. හෙතෙම උපාසකයන්ට බියෙන් උන්වහන්සේලා වෙත ගොස් තෙරවරුන්ගෙන් ඉල්ලීය. තෙරවරුන් ඇවැත්නි, යව. අපි නොවතින්නෙමු යි පිටත්ව ගියාහුය. හෙතෙම නවතාලන්නට නොහැකි වන්නේ විහාරයටම පෙරළා පැමිණියේය. ඉක්බිති උපාසකයෝ ඔහුගෙන් විමසුවාහුය. ස්වාමීනි, ඔබ විසින් තෙරවරු නවත්වන ලද්දාහුදැයි. ඇවැත්නි, නවත්වන්නට නොහැකි වූයෙමියි. ඉක්බිති ඔහුට මේ පවිටා මෙහි වසන කල්හි සුපේශල භික්‍ෂූන් වහන්සේලා නොවසත්. ඔහු බැහැර කරමු යයි සිතා ස්වාමීනි, ඔබ මෙහි නොවසුව. අප නිසා තොපට කිසිවක් නැතැයි කීවාහුය. ඔවුන් විසින් අවමන් කරන ලද හෙතෙමේ පාත්‍රා සිවුරු ගෙන ජේතවනයට ගොස් ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, සැරියුත් මුගලන් දෙනම පවිටු අදහස් ඇත්තාහුය. පවිටු අදහස්වල වසඟයට ගියාහුයයි කීවේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ කෝකාලිකය මෙසේ නොකියව. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදුව. උන්වහන්සේලා සුපේශල භික්‍ෂූහු යයි වැළැක්වීය. කෝකාලික තෙමේ කියනුයේ ස්වාමීනි, නුඹවහන්සේ නුඹවහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් අදහන්නෙහුය. මොවුහු පවිටු අදහස් ඇත්තාහු බවද පිළිසන් කටයුතු ඇත්තාහු බවද දුස්ශීලයෝ බවද පුත්‍යක්‍ෂ වශයෙන් මම දුටුවෙමි යි කියා තෙවන වර දක්වා ශාස්තෲන් වහන්සේ විසින් වළක්වන ලද්දේ නමුත් එසේම කියා හුනස්නෙන් නැගිට ගියේය. (ඔහු) ගියකල්හිම ඔහුගේ සියළු ශරීරයෙහි අබ ඇට පමණ බිබිලි මතුවී ක්‍රමයෙන් වැඩී බෙලිගෙඩි පමණ වී බිදී ලේ සැරව වැගුරුනේය. හෙතෙම වේදනාව ඇත්තේ කෙඳිරි ගාමින් ජේතවනයෙහි දොරටුවෙහි හොත්තේය. කෝකාලික විසින් අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේට ආක්‍රෝශ කළේ යයි බඹලොව දක්වා එකම කෝලාහලයක් වීය.