7. අකිත්ති ජාතකය (480)
අකිත්තිං දිස්වාන සම්මත්තං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් සැවැත්නුවර වැසි එක් දානපතියෙකු අරභයා දේශනා කළ සේක. හෙතෙම ශාස්තෲන් වහන්සේට ආරධනා කර බුද්ධප්‍රමුඛ සංඝයාට සත්දිනක් මහදන් දී අවසන් දිනයෙහිදී ආර්ය සංඝයාට සියළු පිරිකර දුන්නේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ පිරිස මැදදීම ඔහුට අනුමෝදනා කරන සේක් උපාසකය, ඔබගේ පරිත්‍යාගය මහත් වූවකි. ඔබ විසින් ඉතා දුෂ්කර වූවක් කරන ලදි. මේ දන් පරපුර පැරණි පඩුවන්ගේ පරපුරයි. දානය නම් ගිහි වූවහු විසින්ද පැවිද්දා විසින්ද දිය යුත්තේමය. පැරණි පණ්ඩිතයෝ පැවිදි වී වනයෙහි වසන්නාහු ලුණු හා තෙම්පරාදුවක් නැති දිය පමණක් වක්කර උයන ලද කරකොල කනු ලබන්නාහුද පැමිණි යාචකයන්ට ඇති පමණ දී තෙමේ ප්‍රීති සුවයෙන් යැපුනාහුයයි කියා ස්වාමීනි, මේ සියළු පිරිකර දීම මහජනයාට ප්‍රකට වූයේ වෙයි. ඔබවහන්සේ විසින් වදාරන ලද්ද අප්‍රකටය. එය අපට වදාරව මැනවයි ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය නෙහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝසතුන් වහන්සේ අසූකෙළක් ධනය ඇති බමුණු මහසල් කුලයක උපන් සේක. ඔහුට අකිත්ති යයි නම් කළාහුය. ඔහු පයින් යන කල්හි සොහොවුරියක් උපන්නාය. ඇයට යසවතී යයි නම් කළාහුය. මහබෝසත් තෙමේ සොළොස් වයස් කාලයෙහි තක්ෂිලාවට ගොස් සියළු ශිල්පයන් ඉගෙන පෙරළා පැමිණියේය. ඉක්බිති ඔහුගේ මව්පියවරු කළුරිය කළාහුය. හෙතෙම ඔවුන්ගේ මළවුන් පිළිබඳ කටයුතු කරවා රත්නාවලෝකය කරන්නෝ අසවලා මෙතෙක් ධනය රැස්කර තබා මියගියේය. අසවලා මෙතෙකැයි යන වචනය අසා කළකිරුණු සිත් ඇත්තේ වී මේ ධනයම පෙනෙයි. ධනය ගෙන යන්නෙක් නොපෙනෙයි. සියල්ලෝම මේ ධනය අත්හැරම ගියාහුය. මම ඒ ධනය ගෙන යන්නෙමියි සොහොවුරිය කැඳවා ඔබ මේ ධනය පිළිපදුවයි කීවේය. තොපගේ කවර අදහසක් දැයි පැවිදිවනු කැමැත්තෙමියි. දරුව, මම තොප විසින් හරනා ලද කෙළ හිසින් පිළිනොගන්නෙමි. මට මෙයින් වැඩක් නැත. මමද පැවිදි වන්නෙමියි කීවාය. හෙතෙම රජු විමසා ධනයෙන් ප්‍රයෝජනයක් ඇත්තෝ පණ්ඩිතගේ ගෙට පැමිණෙත්වායි බෙර හසුරුවාලීය.
හෙතෙම සත්දිනක් මහදන් පවත්වා ධනය ක්ෂය නොවන කල්හි මෙසේ සිතුවේය. මගේ ආයුෂ පැවැත්මේ ශක්තිය ක්ෂය වෙයි. මට මේ ධන ක්‍රීඩාවෙන් කවර ප්‍රයෝජනයක්ද? වැඩ ඇත්තෝ ගන්නාහු යයි නිවෙස් දොර හැර දෙන ලද්දක් මෙන්ම ගෙන යත්වයි රන් රිදී සහිත ගෙය හැර නෑදෑ සමූහයා හඬද්දීම සොහොවුරියද කැටුව බරණැස් නුවරින් යම් දොරකින් පිටත් වූයේද එය අකීර්ති ද්වාර නම් වීය. යම් තොටකින් නදිය තරණය කළේද එයද අකීර්ති තොට යයි නම් වීය. හෙතෙම දෙතුන් යොදුනක් ගොස් සිත්කළු තැනක පන්සලක් කොට සොහොයුරිය සමග පැවිදි වූයේය. ඔහු පැවිදි වූ තැන් පටන් බොහෝ ගම් නියම්ගම් රාජධානිවාසීහු පැවිදි වූවාහුය. මහත් පිරිවර ඇත්තේ වීය. මහත් වූ ලාභ සත්කාර උපන්නේය. බුදුවරයෙකුගේ ඉපදීම මෙන් වීය. ඉක්බිති මහ බෝසත් තෙමේ “මේ මහා ලාභ සත්කාර ඇත්තේය. මේ පිරිවර අතිමහත්ය. මවිසින් හුදකලාව වාසය කරන්නට වටනේයයි සිතා නොකල්හි යටත් පිරිසෙයින් සොහොයුරියට හෝ නොදන්වා හුදකලාව නික්මී පිළිවෙලින් දමිළ රටට පැමිණ කාවීර පටුන සමීපයෙහි උයනෙහි වාසය කරන්නේ ධ්‍යාන අභිඥාවන් ඉපිදවීය. ඔහුට එහිදීද මහත් වූ ලාභ සත්කාර ඉපදුණි. හෙතෙම එය පිළිකුල් කරමින් අත්හැර අහසින් ගොස් නාගදීපය සමීපයෙහි කාර දිවයිනෙහි බැස්සේය. එකල්හි කාර දිවයින අභිදීප නම් වෙයි. හෙතෙම එහි මහත් වූ කරගසක් ඇසුරුකොට පන්සලක් ඉදිකරවා වාසය කෙළේය. එහි ඔහු වසන බව කිසිවෙකුත් නොදනී. ඉක්බිති ඔහුගේ සොහොයුරිය සොහොයුරා සොයන්නී පිළිවෙලින් දෙමළ රටට පැමිණ ඔහු නොදැක ඔහු වාසය කළ තන්හිම වාසය කළාය. ධ්‍යාන ඉපිදවීමට නම් නොහැකි වීය.
මහබෝසත් තෙමේ අල්පේච්ඡතාවය නිසා කිසිතැනක නොගොස් ඒ ගසෙහි ගෙඩි හටගන්නා කාලයෙහි ගෙඩි කයි. කොල කාලයෙහි පැන් ඉස පිසා කොල කයි. ඔහුගේ සිල් තෙදින් ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණුවූ ලෙසක් දැක්වීය. ශක්‍රයා කවරෙක් මා මගේ තැනින් පහකරනු කැමැත්තේ දැයි විමසා බලන්නේ අකීර්ති පණ්ඩිතයා දැක මේ තවුසා කවර ප්‍රයෝජනයක් සඳහා සිල් රකීද? ශක්‍ර සම්පත් පතන්නහුදැයි එසේ නොවේ නම් අනිකක් දැයි? ඔහු විමසන්නෙමියි සිතා මොහු දුකසේ ජිවිතය ගෙවයි. පැන් පමණක් ඉස පිසූ කරකොළ කයි. ඉදින් ශක්‍ර බව පතන්නේද තමාගේ පැන් ඉසින ලද කරකොල මට දෙන්නේය. එසේ නොවේ නම් නොදෙන්නේය යි බ්‍රාහ්මණයෙකුගේ ස්වරූපයෙන් ඔහු සමීපයට ගියේය. බෝධිසත්ත්වයෝද කරකොළ පිස බහා තබා සිසිල් වූ විට කන්නෙමියි පන්සල් දොරටුවෙහි හුන්නේය. ඉක්බිති ශක්‍රයා ඔහුගේ ඉදිරියෙහි පිඬු පිණිස සිටියේය. මහබෝසත් තෙමේ ඔහු දැක සොම්නසට පත්වී මවිසින් ලාභයක් ලබන ලද. යාචකයෙකු දකින්නෙමි. අද මගේ සිතැඟි මස්තකප්රාප්ත කරවා දන් දෙන්නෙමියි පිසූ භාජනය සමගම ගෙනවුත් මේ මාගේ දානය සර්වඥතාඥානය සඳහා කාරණා වේවායි තමාට ඉතිරි නොකරම ඔහුගේ සිඟන භාජනයෙහි බහාලූය. බ්‍රාහ්මණයා දානය ගෙන අතුරුදහන් වූයේය. මහබෝසත් තෙමේද ඔහු දන් දී නැවත නොපිසා ප්රීතිසුවයෙන්ම ගෙවා දෙවන දවස්හිද (කරකොළ) පිස එලෙසින්ම පන්සල් දොරටුවෙහි හුන්නේය.