6. කාලිංගබෝධි ජාතකය (479)
රාජා කාලිංගො චක්කවත්ති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ආනන්‍ද තෙරුන් විසින් කරන ලද මහා බෝධිපූජාව අරබයා දේශනා කළ සේක. තථාගතයන් වහන්සේ හික්මවිය යුතු ජනයාට සංග්‍රහ පිණිස ජනපද චාරිකාවෙහි වැඩමවූ කල්හි සැවැත් නුවරවාසී වූ ගඳ-මල් ආදිය ගත් අත් ඇත්තාහු ජේතවනයට ගොස් අන් පූජනීය ස්ථානයක් නොලබන්නාහු ගඳකිළි දොර හෙලා යත්. ඔවුහු දැඩි ප්‍රසාද ඇත්තෝ නොවේ. අනේපිඬු සිටුතුමා ඒ කරුණ දැන තථාගතයන් වහන්සේ දෙවුරමට වැඩම වූ කල්හි ආනන්‍ද තෙරුන්ගේ සමීපයට ගොස් ස්වාමීනි, තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම වූ කල්හි මෙම විහාරය අසරණ වෙයි. මිනිසුන්ට ගඳ-මල් ආදිය පුදන්නට තැනක් නොවෙයි. ස්වාමීනි, තථාගතයන් වහන්සේට මේ කරුණ දන්වා එක් පූජනීය ස්ථානයක් (පිහිටුවන්නට) හැකි බව හෝ නොහැකි බව දන්නහු නම් මැනවයි කීවේය. හෙතෙම මැනවයි පිළිගෙන ස්වාමීනි, චෛත්‍යයෝ කෙතෙක් දැයි තථාගතයන් වහන්සේගෙන් විමසීය. ආනන්‍දය තුනකි. ස්වාමීනි, කවර වූවෝද? ශාරීරික පාරිභෝගික උද්දේසික වශයෙනි. ස්වාමීනි, ඔබවහන්සේ වැඩසිටින කල්හි චෙත්‍යයන් කරන්නට හැකිද? ආනන්‍දය, ශාරීරික චෛත්‍ය කරන්නට නොහැකිය. බුදුරදුන්ගේ පිරිනිවි කල්හි වෙයි. උද්දේසික චෛත්‍ය අවසතුකය. (වස්තු රහිතය) මමායනය පමණින්ම වේ. බුදුවරුන් විසින් පරිභෝග කරන ලද මහා බෝධිය බුදුවරුන් වැඩ සිටින කල්හිද පිරිනිවන් පෑ කල්හිද චෛත්‍යමයයි. ස්වාමීනි, නුඹවහන්සේ චාරිකාවෙහි වැඩමවූ කල්හි ජේතවනාරාම මහා විහාරය පිළිසරණ නැත්තක් වේ. මිනිස්සු පිදිය යුතු තැනක් නොලබති. ස්වාමීනි, මහාබෝධියෙන් අංකුරයක් ගෙන ජේතවනාරාම දොරටුවෙහි රෝපනය කරන්නෙමු. ආනන්‍දය මැනවි. රෝපණය කරව. මෙසේ ඇති කල්හි ජේතවනාරාමයෙහි මා නිරතුරුව වසන්නෙම් මෙන් වන්නේ යයි.
තෙරුන් වහන්සේ කොසොල් රජුටද අනේපිඬු සිටුතුමාටද විශාඛා මහ උවැසිය ආදීන්ටද දන්වා ජේතවන විහාර දොරටුවෙහි බෝධිය රෝපණය කරන තැන වළක් කප්පවා මහමුගලන් තෙරුන්ට මෙසේ කීය. ස්වාමීනි, මම ජේතවන විහාර දොරටුවෙහි බෝධියක් රෝපනය කරවන්නෙමි. මට මහා බෝධියෙන් පැසුණු ගෙඩියක් ගෙන එවයි යනුවෙනි. තෙරුන් වහන්සේ මැනවයි පිළිගෙන අහසින් බෝමැඩට ගොස් නැට්ටෙන් ගිලිහෙන පැසුණ ගෙඩියක් බිමට නොවැටෙද්දීම සිවුරෙන් පිළිගෙන ගෙනවුත් ආනන්ද තෙරුන්ට දුන්හ. ආනන්ද තෙරුන් අදම බෝධිය රෝපනය කරන්නෙමියි කොසොල් රජුට දැන්වීය. රජ සවස් කාලයෙහි මහත් වූ පිරිවරින් සියළු උපකරණ ගෙන්වාගෙන පැමිණියේය. අනේපිඬු සිටුතුමාද විශාඛාවද සෙසු ශ්‍රද්ධාවන්ත ජනයාද එසේම පැමිණියහ. තෙරුන් වහන්සේ මහා බෝධිය සිටුවන තැන රන් කටාරමක් තබා යටින් සිදුරක් කරවා සුවඳැති මඩ පුරවා මහරජතුමනි, මේ ඉදුන ගෙඩිය රෝපනය කරවයි රජුට දුන්නේය. හෙතෙම සිතුවේය. රාජ්‍යය නම් හැමකල්හි අපගේ අතෙහි නොසිටී. මවිසින් මෙය අනේපිඬු සිටු ලවා රෝපනය කරවන්නට වටනේ යයි ඒ ඉදුන ගෙඩිය මහසිටුතුමාගේ අතෙහි තැබීය. අනේපිඬු සිටුතුමා සුවදැති මඩ විසුරුවා එහි (එය) හෙලීය. එය ඔහුගේ අතින් මිදුන මොහොතේම සියල්ලන් දකිද්දීම බෝධි වෘක්‍ෂය නගුල් හිස් පමණ වූයේ පණස් රියන් පමණ උස්වූයේ පැන නැගුනේය. සිව්දිසාවෙහිද උඩදැයි මහ අතු පසක් පනස් රියන්වම නික්මුනාහුය. මෙසේ එම වෘක්‍ෂය එකෙනෙහිම විශාල වනස්පති වෘක්‍ෂයක් වී සිටියේය. මහත් වූ පෙළහරද වීය. රජු අටසියයක් පමණ රන්රිදී කල සුවඳ පැනින් පුරවා නිලුපුල් ගත් අත් ඇත්තවුන් ආදී සැරසිලිවලින් බෝමැඩ වටකොට පුන්කලස් තැබිබවීය. සත්රුවන්මුවා වේදිකාවක් කරවීය. රන් මුසු වැලි විසිරවීය. පවුරකින් වට කරවූවක්ද කරවීය. සත්රුවන්මුවා දොරටු කරවීය. මහත් වූ සත්කාර වීය.
තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, ඔබවහන්සේ විසින් මහබෝමුල සමවන් සමාපත්තිය මවිසින් රෝපිත බෝධිය මුල හිඳ මහජනයාට හිතසුව පිණිස සමවදුවයි කීහ. ආනන්‍දය, කුමක් කියෙහිද? මා බෝමැඩෙහි සමවන් සමාපත්තියට සමවැඳී සිටින කල්හි අන් පෙදෙසක් දරා සිටින්නට නොහැකි යයි වදාළහ. ස්වාමීනි, මහජනයාට හිතපිණිස මේ බිම් පෙදෙසට ඉසිලිය හැකි ක්‍රමයෙන් සමවත් සුවයෙන් ඒ බෝධිමූලය පරිහරණය කළ මැනවයි ඉල්ලීය. ශාස්තෲන් වහන්සේ එක්රැයක් සමවත් සුවයෙන් ඒ බෝධිමූලය පරිහරණය කළ සේක. තෙරුන් වහන්සේ කොසොල්රජු ආදීන්ට කියා බෝධි උත්සවයක් කරවීය. ඒ බෝධිය ආනන්ද තෙරුන් විසින් රෝපනය කරවූ බැවින් ආනන්දබෝධිය මැයි ප්‍රසිද්ධ වීය. එකල්හි දම්සභාවෙහි “ඇවැත්නි, ආයුෂ්මත් ආනන්ද තෙරුන් තථාගතයන් වහන්සේ වැඩසිටින කල්හිම බෝධිය රෝපණය කර මහත් වූ පූජාවක් කරවීය. තෙරුන් වහන්සේ මහත් වූ ගුණ ඇත්තේය. පුදුමයි යනුවෙන් කථාවක් ඉපිදවූහ. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකිනැයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද ආනන්දයන් කොදෙව් සහිත සතර මහා දිවයින්හි මිනිසුන් ගෙන බොහෝ සුවඳ හා මල් ගෙන්වා බෝමැඩ බෝධි උත්සවය කරවූයේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළසේක.