5. දූත ජාතකය (478)
දූතෙ තෙ බ්‍රහ්ම පාභෙසි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් තමාගේ නුවණ පැසසීම් අරභයා දෙශනා කළ සේක. (සිව්වනක් පිරිස) දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, දසබලධාරීන් වහන්සේගේ උපායෙහි දක්ෂ බව බලව්. නන්දකුල පුත්‍රයාට, අප්සරා සමූහයා දක්වා රහත් බව දුන් සේක. චුල්ලපන්ථකට රෙදිකඩක් දී පිළිසිව්සිඹියාපත් සහිත රහත් බව දුන් සේක. කර්මාරපුත්රයාට පියුමක් පෙන්වා අර්හත් බව දුන් සේක. මෙසේ නොයෙක් උපායන්ගෙන් සත්ත්වයන් හික්මවන සේක යි. ශාස්තෲන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නහුදැයි විමසා මෙනම් වූවෙකිනැයි කී කල්හි මහණෙනි, තථාගතයන් වහන්සේ මේ නිසා මෙය වෙයි යන උපාය දැනීමෙහි දක්ෂ වූයේ දැන් පමණක් නොවේ. පෙරද උපාය කුසලතාවයෙන් යුක්ත වූවෙමැයි කියා අතීත කථා ප්‍රවෘත්තිය ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි ජනපදය රත්තරන් රහිත වූවක් වීය. ඔහු ජනපදය පෙළා ධනයම රැස් කරවීය. එකල්හි බෝධිසත්ත්ව වූයේ තක්ෂිලාවට ගොස් පසුව දැහැමි ලෙස සිඟා ගොස් ශිල්ප හදාරා නිමවන ලද ශිල්ප ඇත්තේ වනපොත් දී ආචාර්යතුමනි, නුඹවහන්සේට ගුරුපූජා වශයෙන් ධනය ගෙන එන්නෙමියි විමසා නික්ම ජනපදයෙහි හැසිරෙන්නේ දැහැමෙන් සෙමෙන් සොයා රන්කාසි සතරක් ලැබ ආචාර්යවරයාට දෙන්නෙමියි යන්නේ අතරමගදී ගංගාවක් තරණය කරන්නට නැවට නැංගේය. එහිදී නැව පෙරලෙන කල්හි ඔහුගේ ඒ රන් ජලයෙහි වැටුනේය. හෙතෙම “ජනපදයෙහි රත්තරන් දුලබය. නැවත ගුරුපඬුරු වශයෙන් ධනය සෙවීමෙහිදී ප්‍රමාද වන්නේය. යම් හෙයකින් මම ගංගා තීරයෙහිම නිරාහාරව හිඳින්නෙමි. ඒ මා හුන් බව ක්‍රමයෙන් රජු දැනගන්නේය. අනතුරුව ඇමතිවරුන් එවන්නේය. මම ඔවුන් සමග කථා නොකරන්නෙමි. අනතුරුව රජු තෙමේම පැමිණෙන්නේය. මේ ක්‍රමයෙන් මහුගේ සමීපයෙන් ගුරුපඬුරු සඳහා ධනය ලබන්නෙමියි සිතුවේය. හෙතෙම ගංතෙරහි උතුරු සළුවක් පොරොවා යාගනූල පිටත තබා රිදීපටක පැහැය ඇති වැලිතලාවෙහි රන්පිළිමයක් මෙන් හුන්නේය. මහජනයා නිරාහාරව හුන් ඔහු දැක කුමක් හෙයින් හුන්නේ වෙහිදැයි විචාරයි. කිසිවෙකු සමඟ කථා නොකළේය. දෙවන දවස්හි දොරගම් වැසියෝ ඔහු එහි හුන් බව අසා විමසූහ. ඔවුන් සමගද කථා නොකළේය. ඔහු ඒ බ්‍රාහ්මණයාගේ ක්ලාන්ත බව දැක හඬන්නාහු පෙරළා ගියාහුය. තෙවන දවස්හි නුවරවැසියෝ ආවාහුය. සිව්වන දිනයෙහි නගරයෙන් ඉසුරුමත් ජනයන්ද පස්වන දිනයෙහි රාජපුරුෂයන්ද සවන දිනයෙහි රජු ඇමතියන්ද එවීය. ඔවුන් සමඟද කථා නොකළේය. සත්වන දිනයෙහිදී රජු බියට පත් වී ඔහු සමීපයට ගොස් විමසන්නේ පළමු ගාථාව කීවේය.
දූතෙ තෙ බ්රහ්මෙ පාභෙසිං - ගඞ්ගා තීරස්මිං ජායතො,
තෙසං පුට්ඨො න ව්යාකාසි - දුක්ඛං ගුය්හං මතන්නු තෙ ති
තෙසං පුට්ඨො න ව්යාකාසි - දුක්ඛං ගුය්හං මතන්නු තෙ ති
1. බ්‍රාහ්මණය ගංතීරයෙහි සිතමින් සිටින ඔබ වෙත දූතයන් එවිමී. ඔවුන් විසින් විමසන ලදුයේ නමුත් තොපගේ සැඟවුනු දුක් සහිත සිතැඟි ප්‍රකාශ නො කළෙහිය.
එහි ගුය්යාං මතන්නු තෙ යනු බ්‍රාහ්මණය කිම? ඔබට යම් දුකක් උපන්නේද එය ඔබගේම සැඟවුන සිතුවිල්ලකි. අනිකෙකුට නොකිවයුත්තක් දැය.
ඒ අසා මහබෝසත් තෙමේ මහරජතුමනි, දුක නම් දුරු කරන්නට සමර්ථ වූවහුටම කිව යුතුයි. අනිකෙකුට නොකිව යුතු යයි කියා ගාථා සතක් කීවේය.
2. කසී රටවාසීන්ගේ රට වඩන්නා වූ රජතුමනි, ඉදින් ඔබට යම් දුකක් උපදින්නේද යමෙක් ඒ දුකින් ඔබ නොමුදවන්නේද ඔහුට ඒ දුක නොකියව.
3. යමෙක් හටගත් දුක් ඇතිව එය කියන්නහුගේ එම දුක ඒකාන්තයෙන් දැහැමිව මුදවා නම් ඒකාන්තයෙන් (එය) කියන්නේය.
4. සිවලුන්ගේද පක්ෂින්ගේද නාදය පහසුවෙන් දතහැකිය. රජතුමනි, මිනිසුන්ගේ හඬ දැනගැනීම ඊට වඩා බෙහෙවින් දුෂ්කරය.
5. ඉදින් යම් පුරුෂයෙක් නෑයෙක් මිත්‍රයෙක් යහළුවෙක් කොට සිතයිද ඔහු පළමුව සතුටු සිත් ඇත්තෙක් වී පසුව සතුරෙක් වෙයි.
6. යම් සත්ත්වයෙක් තමාගේ දුක නැවත නැවත විමසන ලද්දේ නුසුදුසු අවස්ථාවක කියන්නේද ඔහුගේ සතුරෝ (එය අසා) සතුටු වෙත්. ඔහුගේ හිතෛශී තැනැත්තෝ දුක් වෙත්.
7. (රහස් කීමට) සුදුසු කාලයද දැන, තමා සමාන අදහස් ඇති නුවණැත්තෙකු දැන එවැන්නෙකුට දුකට හේතු වූ කරුණු කියන්නේය. නුවණැති තැනැත්තා අර්ථවත් වූ ද මොලොක් වචනයෙන් අනුන්ට කියන්නේ ය.
8. ඉදින් තමාගේ දුක ඉවසිය නොහැක්කක් කොට දන්නේද එකල්හි මේ අටලෝ දහම මට සැප එළවන්නක් නොවේ යයි සිතා නුවණැති තැනැත්තා හිරිඔතප් උපදවා හුදකලාව තියුණු දුක් සැබවින්ම ඉවසන්නේය.
එහි උප්පජ්ජෙ යනු ඉදින් තොපට උපදින්නේ ය. මා අක්ඛාහි නොකියව. දුබ්බිජාන්තරං තතො යනු තිරිසන් ගතවූවන්ගේ නාදයට වඩා අපහසුවෙන් දත යුතුය. එහෙයින් ඇති පරිද්දෙන් නොදැන දුරලන්නට අසමත් වූවහුට තමාගේ දුක නොකිවයුතුම යයි. අපි චෙ යනු ගාථාවන් කී හෙයින්ම. අනානුපුට්ඨො යනු නැවත නැවතත් විමසන ලදුයේ පවෙදයති කියයි. අකාල රූපෙ යනු නොකල්හි. කාලං යනු තමාගේ රහස කියන කාලයයි. තථාවිධස්ස යනු පණ්ඩිත වූ පුරුෂයා තමා හා සමාන සිත් ඇත්තෙකු බව දැන එවැනි වූවහුටයි. තිප්පාති යනු දුක්.
සචෙ යනු ඉදින් තමාගේ දුක. අවිසය්හං තමාගේ හෝ අනුන්ගේ හෝ පෞරුෂයෙන් පිළියම් යෙදිය නොහැක්කෙකුට කොට දන්නේ නම්. නීති යනු ලෝකයෙහි ප්‍රවේණිගත අෂ්ටලෝක ධර්මයයි අර්ථයි. මෙය කියන ලද්දේ වෙයි. මේ අෂ්ටලෝක ධර්මයෝ මට පමණක් නොවේ. සුඛාගමාය. උපන්නා වූ අෂ්ටලෝක ධර්මයන්ගෙන් මිදුනෙක් නම් නැත. මෙසේ ඇතිකල්හි සැපයම ප්‍රාර්ථනය කරන්නහු විසින් අනුන්ට දුක් ආරෝපණය කිරීම නුසුදුසුය. මෙය ලජ්ජා බය යන දෙකින් යුක්ත වූවහු විසින් මට හිරිඔතප් ඇතැයි සිතා නොකළ යුතුය. සච්චං තමා කෙරෙහි පවත්නා වූ. හිරොත්තප්පං අපක්ඛමානොව අනිකෙකුට නොදන්වා. එකොව තිප්පානි සහෙය්ය ධීරො යනු ප්‍රාඥයා තනිවම දුක් ඉවසන්නේය.