4. චුල්ලනාරද ජාතකය (477)
න තෙ කට්ඨානි හින්නානි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ථුල්ලකුමාරිකාවගේ පෙළඹවීමක් අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර වැසි එක් කුලයක පසළොස්-සොළොස් අවුරුදු වයස් ප්‍රමාණයෙහි වූ රූපශ්‍රීයෙන් අගතැන්පත් දුවණියක වූවාය. කිසිවෙක් ඇයට විවාහ යෝජනා නො කළේය. ඉක්බිති ඇයගේ මව මගේ දියණිය සුදුසු වයසට පැමිණියාය. කිසිවෙක් ඇයට විවාහ යෝජනා නොකරයි. ඇමට හඹා එන මසෙකු මෙන් ආමිෂයට වහවැටුණු එක් ශාක්‍යපුත්‍රීය භික්ෂුවක මැය පොළඹවා උපැවිදි කරවා ඔහු ඇසුරුකොට ජීවත් වන්නෙමුයි සිතුවාය. එකල්හි සුවැත්නුවර වැසි එක් කුලපුත්‍රයෙක් සසුනෙහි සිත් දී පැවිදි වී උපසම්පදා වූ කල් පටන් ශික්ෂාකාමී බව හැර අලස වූයේ සිරුර සැරසීමෙහි යෙදුනේ වාසය කෙළේය. මහා උපාසිකා නිවසෙහි කැඳ හා කෑයුතු දේ අනුභව කළ යුතු දේ සම්පාදනය කර දොරටුවෙහි සිට වීථි මධ්‍යයෙහි යන්නා වූ භික්ෂූන්ගෙන් එක් භික්ෂුවක් රස තෘෂ්ණාවෙන් බැඳ ගන්නට හැකිවන ස්වරූපයේ කෙනෙකු සොයා බලන්නී ත්‍රිපිටකධාරී-ආභිධම්මික-විනයධර ආදී වූ මහත් පිරිවර සමග යන භික්ෂූන් අතර ගැනීමට සුදුසු කිසිවෙක් නොදැක ඔවුන්ගේ පසුපසින් යන්නා වූ මිහිරි ලෙස බණ කියන්නා වූ භික්ෂූන් අතරද වැසුනු වළාවන් හා සමාන පිණ්ඩපාතික භික්ෂූන් අතරද එවැන්නෙකු නොදැක ඇස්වලින් පිටත බැමෙහි අඳුන් ගා කෙස් වටකොට සකසා දුහුල් අඳනයක් හැඳ ගටනා ලද මටසිළුටු සිවුරක් පොරොවා මැණික් පැහැ ඇති පාත්‍රයක් ගෙන සිත්කළු කුඩයක් දරන්නා වූ විසුරුණු ඉඳුරන් ඇති කායික බුහුටිතාවයන් බහුල කොට ඇති එන්නා වූ එක් පුද්ගලයෙකු දැක මොහු ගැනීමට හැකියයි සිතා ඔහු වෙත ගොස් පාත්‍රය ගෙන ස්වාමීනි, පැමිණෙන්න යයි ගෙට කැඳවා හිඳුවා කැඳ ආදිය වළඳවා කරන ලද බත් කිස ඇති ඔහුට ස්වාමීනි, මෙතැන් පටන් මෙහිම පැමිණෙවු යයි කීවාය. හෙතෙමද එතැන් පටන් එහිම ගොස් මෑත කාලයෙහි විශ්වාසවන්තයෙක් වීය.
ඉක්බිති එක් දවසක් මහා උපාසිකාව ඔහුගේ ඇසෙන මානයෙහි සිට මේ ගෙහි ප්‍රයෝජන ගනු පමණ ධනය ඇත. මට මෙවැනි ගෙදොර පිරිමසා ගැනීමට සමත් පුතෙකු හෝ බෑණනුවෙකු හෝ නැතැයි කීවාය. හෙතෙම ඇයගේ වචනය අසා කුමක් සඳහා කියන්නීදැයි මදක් ළය විද ගියාක් මෙන් වීය. ඇය දුවට මොහු පොළඹවා තිගේ වසඟයෙහි තිබුව යයි කීවාය. ඇය එතැන් පටන් සැදී පැහැදී ස්ත්‍රී ලීලාවන්ගෙන් ඔහු පෙළඹවූවාය. ස්ථුල කුමාරිකාව යයි ඇය ස්ථුල ශරීර ඇත්තී යයි නොදත යුතුය. ස්ථුල හෝ වේවා! කෘශ හෝ වේවා පස්කම් ගුණයන්ගෙන් මහත් බැවින් ස්ථුල කුමාරිකායයි කියනු ලැබේ. ඒ තරුණ භික්ෂුව කෙළෙස් වසඟ වූවෙකු වී දැන් මම බුදුසසුනෙහි පිහිටන්නට නොහැක්කෙමි යි සිතා විහාරයට ගොස් පාත්‍රාසිවුරු බාරදී අසවල් තැනට යන්නෙමි. මගේ ඇඳුම් එහි එවවු යයි කියා විහාරයට ගොස් පාසිවුරු ගනිවු. උකටලී වූයෙමියි ආචාර්ය උපාධ්‍යායයන්ට කීවේය. ඔවුහු ඒ භික්ෂුව ගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට පමුණුවා ස්වාමීනි, මේ භික්ෂුව උකටලී වූවේ යයි දැන්වූහ. ශාස්තෲන් වහන්සේ භික්ෂුව ඔබ උකටලී වූයේ සැබවදැයි විමසා ස්වාමීනි, සත්‍ය යයි කීවේය. කවර කරුණකින් උකටලී වූූයේ වෙහිද? ස්වාමීනි, ස්ථුල කුමාරිකාව නිසාවෙනි කී කල්හි මහණ, මැය පෙරද වනයේ වසන්නා වූ ඔබගේ බ්‍රහ්මචර්යාවට අනතුරු කර මහත් වූ අවැඩක් කළාය. නැවත නුඹ මැයම නිසා කුමක් හෙයින් උකටලී වූවේ දැයි කියා භික්ෂූන් වහන්සේලා විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝධිසත්ත්ව තෙමේ කසීරට මහසල් බ්‍රාහ්මණ කුලයක ඉපදී උගතමනා ශිල්පයන් උගත්තේ පවුලක් පිහිටුයේය. අනතුරුව ඔහුගේ බිරිඳ එක් පුතෙකු වදා කළුරිය කළාය. හෙතෙම මගේ ප්‍රිය වූ භාර්යාවට යම් පරිදි වූයේද එසේම මා වෙතද මරණය පැමිණෙන්නේය. මට ගිහිගෙයි විසීමෙන් කවර ප්‍රයෝජනයක්ද පැවිදි වන්නෙමියි සිතා කාමයන් හැර පුතුද ගෙන හිමාලයට පිවිස ඔහු සමග තවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන අභිඥාවන් උපදවා වන මුල් ගෙඩි ආහාරකොට ඇත්තේ. වනයෙහි වාසය කළේය. එකල්හි පිටිසර ප්‍රදේශ වැසි සොරු ජනපදයට පිවිස ගමට පහරදී කොල්ලකා බඩු ඔසවවා නැවත පිටිසර ප්‍රදේශයටම යැවූහ. ඔවුන් අතර එක් මනා රූ ඇති කුමාරිකාවක වූවාය. කපටි නුවණින් යුත් ඇය “මොවුහු අප ගෙන ගොස් වහල් මෙහෙ ගනිති. එක් උපායකින් පලා යෑමට වටනේයයි සිතුවාය. ඇය ස්වාමීනි, ශරීර කෘත්‍යය කරන්නට කැමැත්තෙමැයි කියා මදක් ඉවත්ව සිටුවයි කියා සොරුන් රවටා පලා ගොස් වනයෙහි හැසිරෙන්නී බෝසතුන් පුතු ආශ්‍රමයෙහි තබා ලොකු කුඩා ගෙඩි සඳහා ගිය කල්හි පෙරවරු කාලයෙහි ඒ අසපුවට පැමිණ ඒ තාපස කුමාරයා කාම රතියෙන් පොළොඹවා සිල් බිඳ තමා වසඟයෙහි තබා තොපට වනයහෙි විසීමෙන් කවර ප්‍රයෝජනයක්ද එව ගමට යමුයි එහි රූපාදී කම්සුව සුලබයයි කීවාය. හෙතෙම මැනවයි පිළිගෙන පළමුකොට මගේ පියා වනයෙන් ඵලාඵලයන් ගෙන පැමිණේවා,ඔහු දැක දෙදෙනාම එකතුව යන්නෙමුයි කීවේය.