එහි කස්සපාමන්තයාමි තං යනු කස්සප+ආමන්තයාමි+තං වේ. (කාශ්‍යපය ඔබ අමතමි.) ගන්තවෙ යනු යන්නට. ආචාරං යනු යම් ජනපදයක වාසය කරම්ද එහි වසන්නේ යම්සේ හැසිරීම් රටාව වෙයිද ඒ ජනපද චාරිත්‍රය සික්ඛෙය්‍යං දැන ගන්නේය. තං ධම්මං අනුසාස අවවාද කරව කියයි.
මහබෝසත් තෙමේ දරුව මැනවි. ප්‍රදේශ චාරිත්‍රයක් ඔබට කියන්නෙමියි ගාථා දෙකක් කීවේය.
4. ඉදින් වනයද වනමුල් ඵලාඵලද හැර රටෙහි වාසය කිරීම රුචි කරන්නෙහිද මවිසින් කියන ඒ දහම අසව.
5. විස සේවනය නොකරව. ප්‍රපාතය දුරු කරව. මඩෙහි නොගිලෙව. යන්ත්‍රයක් පැළඳි අයෙකු මෙන් සර්පයන් දුරුකරව.
එහි ධම්මෙ යනු ඉදින් රටෙහි විසීම කැමති වන්නෙහිද එසේ වීනම් ඔබ ජනපද චාරිත්‍ර ධර්මයන් අසව. යත්තො ආසිවිසෙ යනු සර්පයෙකුගේ සමීපයෙහි යන්තරයකින් සැරසුන අයෙකු මෙන් හැසිරෙන්නෙහිය. හැක්කේ නම් සර්පයා දුරුකරන්නෙහිය යි අර්ථයි.
තාපස කුමාරයා කෙටියෙන් කියන ලද්දෙහි අර්ථය නොදන්නේ විචාළේය.
6. බ්‍රහ්මචාරීන්ට විෂ යනු කුමක්ද ප්‍රපාතය හෝ මඩ හෝ කුමක්ද සර්පයා කවරෙක්ද ඔබ විමසන්නා වූ මට ඒ කරුණ කියව.
අනිකා ඔහුට මෙසේ විස්තර කළේය.
7. දරුව, ලෝකයෙහි (ඇති) මනෝඥ වු, සුවඳ ඇත්තා වූ. සිත්කළු වූ දඬුවැල් බෑ මී මෙන් මිහිරි රස ඇති ආසවය සුරා නම් වෙයි. නාරදය එය බ්‍රහ්මචර්යාවට විෂ වැනියයි ආර්යයෝ කීහ.
8. දරුව, ලෝකයෙහි වසන ස්ත්‍රීහු පමා වූ තැනැත්තා මඩිති. ඈලා සුළඟ ගසෙන් ගිලුහුන පුළුන් රොදක් මෙන් තරුණයන්ගේ සිත පැහැර ගනිති. නාරදය මෙය බ්‍රහ්මචර්යාවට ප්‍රපාතයයි කියන ලදි.
9. නාරදය, ලාභය කීර්තිය, සත්කාරය, අන්කුලයන්හි මිදීම යන මෙය බ්‍රහ්මචර්යාවට මඩ යයි කියන ලදි.
10. දරුව, රජවරු මේ පොළොවෙහි ආයුධ ගත් අත් ඇතිව වාසය කරති. දරුව නාරදය, එවන් ප්‍රපාතවත් මහරජවරුන් (ඇසුරු නොකරව)
11. නාරදය ආඪ්‍ය වූ අධිපති වූ එ් රජවරුන්ගේ සමීපයෙහි නොහැසිරෙන්නේය. ඔහු බ්‍රහ්මචර්යාවට සර්පයෙක් වැනි යයි කියන ලදි.
12. ආහාර වේලාවෙහි ආහාර කැමැත්තේ යම් යම් ගෙයකට එළඹෙන්නේද ඒවා අතර යම් තැනක් නිවරද යයි දන්නේ නම් ආහාර පිණිස එහි හැසිරෙන්නේය.
13. පැන් සඳහා හෝ ආහාර සඳහා අනිකෙකුගේ ගෙට පිවිස පමණ දැන කන්නේය. පමණ දැන අනුභව කරන්නේය. ස්ත්‍රී රූපයෙහි සිත නො යොදන්නේය.
14. ගවගාලද, මත්පැන්හලද, ධූර්තයන් හා කපටි අය සිටින තැනද ජනයන් රැස්වන තැනද රන්රුවන් නිපදවන තැනද යන මේ ස්ථානයන් තෙල් ගිතෙල් පුරවා ගත් යානයක් විෂම මාර්ගය මගහරින්නාක් මෙන් දුරු කරව.
එහි ආසවො යනු මල්වලින් පැසවා කරන ලද මද්‍ය ආදිය. විසං තදාහු යනු ඒ ආසාව නම් වූ සුරාව ආර්යයෝ බ්‍රහ්ම චර්යාවට විෂයක් යයි කියති. පමත්තං යනු මුලා වූ සිහිය ඇති. තුලභට්ඨං වා යනු ගසෙන් ගිලිහී වැටුන පුළුන් මෙනි. අක්ඛාතො බුදුවරු ආදීන් විසින් කියන ලදි. සීලොකො යනු කීර්ති වර්ණනා. සක්කාරො යනු බැඳදැලි කිරීම් ආදිය. පූජා යනු සුවඳ වර්ග හා මල් ආදියෙන් පූජා කිරීමයි. පංකො යනු මෙය ගිලීමෙහි අර්ථයෙන් මඩ යයි කියන ලදි. මහන්තෙ යනු මහාත්ම භාවයට පත්. න තෙසං පාදනො චරෙ යනු ඔවුන්ගේ සමීපයෙහි නො හැසිරෙන්නේය. රජු වෙත නිතර එළඹෙන්නෙක් නොවිය යුතු යන අර්ථයි. රජවරු මොහොතින් සර්පයෙකු මෙන් මොහොතින් කිපී විපත්තීන්ට පමුණුවත්. තවද අන්තඃපුරයෙහි පිවිසීමෙහි ලා කියන ලද ආදීනවයන් වශයෙන්ද මෙහි අර්ථය දත යුතුයි.
භත්තත්‍ථො යනු බත් කැමැත්තේ වී. යදෙත්‍ථ කුසලං යනු යන්ත්‍රයක් සහිතව එළඹිය යුතු සර්පයන් පිළිබඳව. කුසලං නිවරදව. නුසුදුසු වූ පස්වැදෑරුම් කරුණුවලින් තොරව. ජානෙය්‍යාසී එහි ආහාර සෙවීම සඳහා හැසිරෙන්නෙහිය යන අර්ථයි. මා ච රූපෙ මනං කරෙ යනු අන් නිවෙසෙහි පමණ දැන ආහාර අනුභව කරන්නේද එහි ස්ත්‍රි රූපයන්හි සිත නොකරව. ඇස හැර ස්ත්‍රි රූපයෙහි නිමිති නොගත යුත්තේ යයි කියයි. ගුට්ඨංමජ්ජං කිරාසඤ්ච යිද යන මෙය පොත්වල එන පෙළකි. අර්ථකථාවෙහි ගොට්ඨං මජ්ජං කිරා සඤ්ච යයි කියා ගොට්ඨං යනු ගවයන් සිටි තැනයි. මජ්ජං යනු මත්පැන් හලයි. කිරාසං යනු ධූර්ත-කෛරාටික ජනයා යයි කියන ලදි. සහානිකරණානිච යනු යහළුවාද රන් රදී කර්මාන්ත කරන තැනද ආරකා යනු මේ සියළු තැන් දුරින්ම දුරු කටයුතුය. යානීච යනු ගිතෙල් තලතෙල් ගෙනයන්නා වූ යානයෙන් යන්නේ විෂම මාර්ගය අත්හැරිය යුතුවාක් මෙනි.