3. ජවනහංස ජාතකය (476)
ඉධෙව හංස නිපතා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දළ්හධම්ම සූත්‍ර දේශනාව අරභයා වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ විසින් මහණෙනි, යම්සේ දුනු ශිල්පයෙහි ඉතා දක්‍ෂ වූ ශිල්පය මනාව උගත්, කළ පුරුදු ඇති කරන ලද ඇසුරු කිරීම් ඇති දුනුවායෝ සතරදෙනෙක් සිවුදිගෙහි සිටියාහු වෙත්ද? ඉක්බිති එක් පුරුෂයෙක් පැමිණ මම ඉතා දක්‍ෂ වූ ශිල්පය මනාව උගත්, කළපුරුදු ඇති, කළ ඇසුරු කිරීම් ඇති මේ දුනුවායන් සිව්දිගට විදින ලද ඊතල පොළොවෙහි නොපිහිටි කල්හි ගෙන එන්නෙමියි කියයි. මහණෙනි, ඒ කුමක්දැයි සිතහුද? දිවීමෙහි සමත් වූ ඒ පුරුෂයා ඉතා උසස් දිවිීමේ හැකියාවෙන් යුක්ත වූයේ වෙයි. වචනයෙන් කීමෙන් වැඩක් නැතැයි වදාළහ. භික්‍ෂූහු ස්වාමීනි එසේ යයි කීහ. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම්සේද? සඳහිරු දෙදෙනාගේ ජවය යම්සේද එයටත් වඩා අතිශයින් ශීඝ්‍ර වෙයි. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම් සේද යම්තාක් දෙවිවරු සඳහිරු දෙදෙනාගේ ඉදිරියෙන් දුවත්ද ඒ දෙවිවරුන්ගේ ජවයටත් වඩා අතිශයින් ශීඝ්‍ර වේ. මහණෙනි, ඒ පුරුෂයාගේ ..... පෙ..... ඒ දෙවියන්ගේ ජවය වේද එයටත් වඩා අතිශයින් ශීඝ්‍රව ආයුෂ පැවැත්මට ඇති ශක්තිය ක්‍ෂය වෙයි. මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය. උපන්නා වූ කාමරාගයන් පිළිබඳ පවස දුරුකරන්නෙමු. කාමරාගයන් පිළිබඳ පවස අපගේ සිත් මැඩගෙන නොසිටිත්ද එලෙස අප්‍රමාද වූවෝ වන්නෙමුයි මහණෙනි, මෙසේ තොප හික්මිය යුතු යයි වදාළහ.
මේ සූත්‍රය දේශනා කළ දිනයට දෙවන දිනයෙහි දම්සභාවෙහි කථාවක් උපදවාලූහ. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තමාගේ බුද්ධ විෂයෙහි සිට මේ සත්ත්වයන්ගේ ස්වල්ප වූ ආයු සංස්කාරයන් දුබල වූවන් කොට දක්වන සේක්, පුහුදුන් භික්‍ෂූන් අතිශයින් සිත් තැවුලියට පත් කරවීය. බුද්ධ බලය නම් පුදුමය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවකැයි කී කල්හි මහණෙනි, එ් මම දැන් සර්වඥතාඥානයට පත්වූයේ ආයු සංස්කාරයන්ගේ ස්වල්පකාලීන බව දක්වා භික්‍ෂූන්ට සංවේග ඇතිකර ධර්මය දේශනා කරමි. පෙර අහේතුක ප්‍රතිසන්‍ධියක් වූ හංස යෝනියෙහි ඉපිදුනා වූ මවිසින් ආයු සංස්කාරයන්ගේ ස්වල්පකාලීන බව දක්වා බරණැස් රජු ආදීන් කොට සියළු රජ පිරිස සංවේගයට පත් කරවා ධර්මය දේශනා කරන ලද්දෙමියි අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි මහාසත්ත්ව තෙමේ ජවනහංස ජාතියෙහි ඉපදී අනූදහසක් හංසයන් විසින් පිරිවරන ලදුයේ චිත්‍රකූට පර්වතයෙහි වාසය කරයි. හෙතෙම එක් දිනයක දඹදිව්හි එක් විලෙක පිරිවර සහිතව ඉබේ හටගත් හැල් කා අහසෙහි රන් කලාලයක් පතුරන්නාක් මෙන් මහත් වූ පිරිවර සමග බරණැස් නුවර මත්තෙන් මඳ මඳ ගමනින් (ලැසි ගමනින්) චිත්‍රකූට පර්වතයට යයි. ඉක්බිති බරණැස රජු ඔහු දැක මොහුද මා හා සමාන වූ රජෙකු විය යුතුය යි. ඇමතියන්ට කියා ඔහු කෙරෙහි සෙනෙහෙ උපදවා මල් ගඳ විලවුන් ගෙන මහා සත්ත්වයන් බලන්නේ සියළු තූර්ය භාණ්ඩයන් පැවැත්වීය. මහ බෝසතාණන් තමාට ගෞරව කරන්නා වූ ඔහු දැක හංසයන්ගෙන් විචාළේය. රජු මට මෙබඳු සත්කාර කරන්නේ කුමක් අපේක්‍ෂා කරන්නේදැයි. දේවයන් වහන්ස, තොප සමග මිත්‍ර භාවයයි. එසේනම් රජුගේ අප සමග මිත්‍රභාවය වේවායි රජු සමග මිත්‍රභාවයට පත්ව ගියේය. ඉක්බිති එක් දිනයක රජු උයනට ගියකල්හි අනෝතත්ත විලට ගොස් එක් පියාපතකින් ජලයද එක් පියාපතකින් සඳුන්සුණු ද ගෙනවුත් රජු ඒ ජලයෙන් නහවා සුණුවලින් ගල්වා මහජනයා දකිද්දීම පිරිවර සහිතව චිත්‍රකූට පර්වතයට ගියේය. එතැන් පටන් රජු මහබෝසතුන් දකිනු කැමතිව අද මගේ යහළුවා එන්නේ යයි එන්නා වූ මාර්ගය බලන්නේම කල් ගෙවයි.