2. ඵන්දන ජාතකය (475)
කූටාරි හත්ථො පුරිසො යන මේ ගාථා. ශාස්තෲන් වහන්සේ රෝහිණී ගංතෙර නෑදෑයන්ගේ කලහයක් අරබයා දේශනා කළ සේක. කථාපුවත කුණාල ජාතකයෙහි පෙනෙන්නේය. එකල්හි ශාස්තෲන් වහන්සේ නෑයන් අමතා මහරජවරුනි, අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි පිටත නගරයෙහි වඩුගමක් වීය. එහි එක් බ්රාහ්මණවංශික වඩුවෙක් වනයෙන් දැව ගෙනවිත් රිය කරවා ජීවිතය ගෙවීය. එකල්හි හිමවත පෙදෙසෙහි මහත් වූ කොළොම් ගසක් වීය. එක් කළු සිංහයෙක් (වලසෙක්) ගොදුරු සොයා ගොස් අවුත් ඒ ගසමුල හොත්තේය. ඉක්බිති එක් දවසක් වාතය හමනකල්හි එක් වියලි දණ්ඩක් වැටී කඳෙහි මැඩගෙන සිටියේය. හෙතෙම මදක් කඳ රිදීමෙන් බියෙන් තැති ගත්තේ නැගී සිට පැනගොස් නැවත නැවතී ආවා වූ මාර්ගය බලන්නේ කිසිවෙක් නොදැක මා ලුහුබඳින්නා වූ අන් සිංහයෙකු හෝ ව්යාඝ්රයෙකු නැත. මේ වෘක්ෂයෙහි අධිගෘහිත දෙවියා මෙහි නිදියන්නා වූ මා නොඉවසයි යයි සිතමි. වේවා! කළයුතු දෙය දනිමි යයි අස්ථානයෙහි කෝපය බැඳ ගසට ගසා ඔබගේ ගසෙහි කොළ නොකමි. අතු නොකඩමි. අන් මුවන් මෙහි සයනය කරන කල්හි ඉවසහි. මා නොඉවසයි. මගේ කවර වරදක් වෙයිද අන් දින කීපයක් පැමිණේවා! ගස උගුල්ලවා තඩ කඩ කොට සිඳුවන්නෙමියි වෘක්ෂ දේවතාවාට තර්ජනය කර එක් පුරුෂයෙකු සොයමින් හැසිරුණේය. එකල්හි ඒ වඩුවා මිනිසුන් දෙතුන් දෙනෙකු ගෙන රිය සඳහා දැව පිණිස යානාවකින් ඒ ප්රදේශයට ගොස් එක් තැනක යානය (කරත්තය) තබා වෑ-පොරෝ ගත් අත් ඇත්තේ ගස් සොයමින් යන්නේ කොළොම් ගස සමීපයට පැමිණියේය. කළු සිංහයා (වලසා) ඔහු දැක අද මගේ පසමිතුරා පිටු දකින්නට වටීයයි ගොස් ගසමුල සිටියේය. වඩුවාද ඔබිනොබ බලන්නේ කොළොම් ගස සමීපයෙන් ගියේය. හෙතෙම යම්තාක් මොහු ඉක්මවා නොයයිද එතෙක් මොහුට කියන්නෙමියි සිතා පළමු ගාථාව කීවේය.
කුඨාරිහත්ථො පුරිසො වනමොගය්හ තිට්ඨසී,
පුට්ඨො මෙ සම්ම අක්ඛාහි - කිං දාරු ඡෙතු මිච්ඡසී
පුට්ඨො මෙ සම්ම අක්ඛාහි - කිං දාරු ඡෙතු මිච්ඡසී
1. පොරොවක් ගත් අත් ඇති පුරුෂයෙක් වනයට පැමිණ සිටී. යහළුව, විමසන්නා වූ මට කියව. කවර දැවයක් කපනු කැමැත්තෙහිදැයි?
එහි පුරිසො යනු ඔබ, පොරොවක් ගත් අත් ඇති පුරුෂයෙක් මේ වනය පැමිණ සිටිහී යයි.
ඒ පුරුෂයා ඔහුගේ වචනය අසා පිංවත ඒකාන්තයෙන් ආශ්චර්යයකි. මින්පෙර මිනිස් වචන කථා කරන්නා වූ සිවුපාවෙක් නොදුටු විරූය. මෙතෙමේ කරත්තවලට සුදුසු දැව දන්නේය. ඔහුගෙන් විමසන්නෙමියි සිතා දෙවන ගාථාව කීවේය.
2. වලසෙක් වෙහිය. සම විසම වූ වනයන්හි හැසිරෙයි. යහළුව, ඔබගෙන් අසන ලද්දා වූ මට කවර දැවයක් නිම් වළල්ල සඳහා ශක්තිමත් දැයි කියව.
එහි ඉසො යනු ඔබ එක් වලසෙකි. වනයන්හි හැසිරෙහි. ඔබ රිය (කරත්තය)ට සුදුසු දැව දන්නෙහිද?
ඒ අසා වලසා මෙතැනින් දැන් මගේ අදහස මුදුන්පත් වන්නේයයි සිතා තුන්වන ගාථාව කීවේය.
1. නිම්වළල්ල සඳහා අශ්වකර්ණ නම් වූ සල්ගස සුදුසු නොවෙයි. ධව නම් වූ කිහිරි ගස කෙසේනම් සුදුසු වේද? කොළොම් නම් වූ ගසක් ඇත. ඒ දැවය නිම් වළල්ල සඳහා ශක්තිමත් වෙයි.
ඔහු එය අසා සොම්නසට පත්වූයේ ඒකාන්තයෙන් මනා වූ දවසකින් අද වනයට පවිසියේ වෙමි. තිරිසන්ගත වූවෙකු මගේ රියට සුදුසු දැවය කියයි. අහෝ මැනවයි විමසන්නේ සිවුවන ගාථාව කීවේය.
4. යහළුව, ඒ ගසේ කොළ කෙබඳුද? කඳ කවර ආකාරද? කොළොම්ගස යම් සේ දනීද විමසන්නා වූ මට එලෙස කියව.
ඉක්බිති ඔහුට කියන්නා වූ හෙතෙම ගාථා දෙකක් කීවේය.
5. යම් ගසක අතු එල්වෙයිද නැමෙයිද නොකැඩෙයි. යම් ගසක් මුල මා සිටියේද ඒ ගස කොළොම් ගස නම් වේ.
6. අර (රෝද දැත්ත) සක්නැඹ, රිය හිස නිම්වළලු යන මේ රථයේ සියල්ලෙහි කටයුතුවලට සුදුසු වූ මේ ගස කොළොම් ගස වන්නේය.
එහි අරානං යනු ඒ වලසා කෙදිනක හෝ හෙතෙම මේ ගස නොගන්නේද එහි ගුණයන්ද කියන්නෙමිය සිතා මෙසේ කීවේය. එහි ඊසානෙමි රථස්ස ච යනු රිය හිසටද නිම් වළල්ලටද ඔබගේ රථයේ සෙසු සියල්ලටද මෙ ගස කම්මනියො වැඩට සුදුසු වන්නේය යි.
ඔහු මෙසේ කියා සතුටු සිත් ඇත්තේ හාත්පස හැසිරුනේය. වඩුවාද ගස කැපීමට පටන් ගත්තේය. වෘක්ෂ දේවතාවා මෙසේ සිතුවේය. මා විසින් මොහු මත්තෙහි කිසිවක් නොහෙලන ලදි. මෙතෙම නොතන්හි වෛර බැඳ මගේ විමානය නස්වයි. මමද නැසෙන්නෙමි. එක් උපායකින් මේ වළසාද නස්වන්නෙමියි ඒ දේවතාවාද කාර්මික පුරුෂයෙක් මෙන් වී ඔහු සමීපයට අවුත් විචාළේය. එම්බා පුරුෂය, තොප කැමති ගසක් ලබන ලද්දේය. මෙය කපා කුමක් කරහිද? යි රියසක නිම් වළල්ල කරමි. මේ ගසෙන් රියක් වන්නේ යයි කවරෙකු විසින් තොපට කියන ලදදැයි ඇසුවාය. එක් වලසෙකු විසින්ය. මැනවි. ඔහු විසින් මනාව කියන ලදි. මේ රුකෙන් රිය සුන්දර වන්නේය. වලසාගේ ගෙල සම උපුටා අගල් සතරක් පමණ තැන යකඩ පටකින් මෙන් නිම් වළල්ල වටකළ කල්හි නේමිය ස්ථිර වන්නේය. බොහෝ ධනයද ලබන්නෙහි යයි කීවේය. වලස් හමක් කොහෙන් ලබන්නෙමි දැයි ඇසීය. කිම ඔබ නුවණ නැත්තෙහිද? මේ ඔබේ ගස වනයේ තිබූයේ පලා නොයයි. ඔබ යමෙකු විසින් ගස පිළිබඳව ඔබට කියන ලදද ඔහුගේ සමීපයට ගොස් ස්වාමීනි, ඔබ විසින් දක්වන ලද ගස කවර තැනෙක්හි සිඳමිදැයි රවටාගෙන එව. අනතුරුව ඔහු නිසැකවම මෙහිද සිඳුවයි හොටය. (හොම්බ) විහිදුවා දක්වන්නහු තියුණු මහපොරොවෙන් කොටා ජීවිතක්ෂයට පමුණුවා සම ගෙන උතුම් මස් කා ගස සිඳුවයි වෛරය පාකොට හැරියේය. එම කරුණ දක්වන්නා වූ ශාස්තෲන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.