8. සංවර ජාතකය (462)
ජානන්තො නො මහා රාජ යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් හරනා ලද වීර්යය ඇති එක් භික්ෂුවක අරබයා දේශනා කළ සේක. ඒ සැවැත්නුවර වැසි කුලපුත්රයා ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පැවිදි වී ආචාර්ය උපාධ්යාය වත් පුරන්නේ උභය ප්රාතිමෝක්ෂයෙන් ප්රගුණ කොට පිරිපුන් පස්වස් ඇත්තේ කමටහන් ගෙන වනයෙහි වසන්නෙමියි ආචාර්ය උපාධ්යායන් විමසා කොසොල්රට එක් පසල් ගමකට ගොස් එහි ඉරියව් පැවැත්වීමෙහි ප්රසන්න වූ මිනිසුන් විසින් පන්සලක් කොට උපස්ථාන කරන්නේ වෑයම් කරන්නේ අතිශයින් අරඹන ලද වීර්යයෙන් තෙමසක් කමටහන් වඩා ආලෝකය පමණදු උපදවන්නට නොහැකි වන්නේ මෙසේ සිතුවේය. ඒකාන්තයෙන් මම බුදුන් විසින් දේශනා කළ සිව්වැදෑරුම් පුද්ගලයන් අතර පදපරමයෙක් වෙමි. මට වන වාසයෙන් කවර ප්රයෝජනයක්දැයි ජේතවනයට ගොස් බුදුරදුන්ගේ රූපශ්රීය බලමින් මිහිරි වූ ධර්මදේශනාව අසමින් ගෙවන්නෙමියි වීර්යය අත්හැර එතැනින් නික්මුනේ පිළිවෙලින් ජේතවනයට ගොස් ආචාර්ය උපාධ්යායන් විසින් දැක පුරුදු මිත්රයන් හා දැඩි මිත්රයන් විසින්ද පැමිණි කරුණ විමසන ලද්දේ ඒ කරුණ කියා ඔවුන් විසින් කුමක් හෙයින් මෙසේ කළෙහි දැයි ගර්හා කොට බුදුන් සමීපයට පමුණුවා මහණෙනි, කුමක් හෙයින් නොකැමති වන්නා වූ භික්ෂුවක් ගෙන එව්දැයි කී කල්හි ස්වාමීනි, මෙතෙමේ වීර්යය හැර ආවේ යයි දැන් වූ කල්හි ශාස්තෲන් වහන්සේ ඇත්තදැයි විමසා ස්වාමීනි, සත්යයයි කී කල්හි භික්ෂුව කුමක් හෙයින් වීර්යය හළේද? මේ ශාසනයෙහි වීර්යය නැති කුසීත පුද්ගලයාට අග්රඵලය වූ රහත් බව නම් නැත. පටන් ගන්නා ලද වීර්යය ඇත්තෝ මාර්ගඵල ලබාගැනීම සංඛ්යාත ධර්මය ලබා ගනිත්. ඔබ පළමුව වීර්යයවත්ව අවවාද ක්ෂම වීය. ඒ කරුණින්ම බරණැස් රජගේ පුතුන් සියයෙහි සියල්ලන්ට වඩා කනිෂ්ඨ වී පණ්ඩිතයන්ගේ අවවාදයෙහි සිට රජ බවට පත් වූවෙහියි පවසා අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්ය කරවන කල්හි ඔහුට පුතුන් සියයකට කණිටු වූ සංවර නම් වූ කුමාරයෙක් විය. රජු එක් එක් පුතාට උගැන්විය යුත්ත උගන්වව යි එක් එක් අමාත්යවරයාට දුන්නේය. සංවර කුමාරයාගේ ආචාර්ය වූ ඇමතියා බෝධිසත්ත්වයෝ වූහ. පණ්ඩිත වූ දක්ෂ වූ ඔහු රජකුමරුගේ පිය තනතුරෙහි සිටියේය. අමාත්යයෝ උගන්වන ලද ශිල්ප ඇති ඒ රාජපුත්රයන් රජුට දැක්වූහ. රජු ඔවුන්ට ජනපද දී පිටත්කර හැරීය. සංවර කුමාරයා සියළු ශිල්පයන්හි නිමාවට පැමිණ බෝසතුන් විචාළේය. පියාණනි, ඉදින් පියා මා ජනපදයට යවයිද එවිට කුමක් කරම්ද? දරුව, ඔබ ජනපදයක් දෙනවිට එය නොගෙන දේවයන් වහන්ස, මම සියල්ලන්ටම බාල වෙමි. මාද ගියකල්හි ඔබගේ පාමුල හිස් වන්නේය. මම පාමුලම වසන්නෙමියි කියන්නේය යි. ඉක්බිති එක් දිනයක රජු, වැඳ එකත්පස්ව සිටි සංවර කුමාරයාගෙන් විචාළේය. දරුව, කිම ඔබගේ ශිල්ප ඉගෙනීම අවසන්දැයි. එසේය දේවයන් වහන්ස. තොපට ජනපදයක් තෝරා ගනුවයි. දේවයන් වහන්ස, ඔබේ පාමුල හිස් වන්නේය. පාමුලම වසන්නෙමියි. රජු සතුටු වී මැනවයි පිළිගත්තේය. එතැන් පටන් රජුගේ පාමුලෙහිම වී බෝධිසත්ත්වයන්ගෙන් විචාළේය. පියාණනි, අන් කවරක් කරමිදැයි. රජුගෙන් එක් පැරණි උයනක් ඉල්වවයි කීය. හෙතෙම මැනවයි උයනක් ඉල්ලා එහි හටගත් මල්-ගෙඩිවලින් නුවර ඉසුරුවත් ජනයාට සංග්රහ කර නැවත කුමක් කරමි දැයි විචාළේය. දරුව, රජු විමසා ඇතුළත නගරයෙහි බත්වැටුප් තොපට දෙවයි කීය. ඔහු එසේ කොට ඇතුල් නගරයෙහි කිසිවෙකුගේ කිසිවක් නොනසා බත් වැටුප් දී නැවත බෝසතුන් විමසා රජුට දන්වා ඇතුල් නිවසෙහි දාස පුරුෂයන්ට ද අශ්වයන්ට ද බලසෙනඟට ද පිළිවෙල නොපිරිහෙලා දුන්නේය. වෙනත් ජනපදයෙන් ආවා වූ දූතයන්ට වාසස්ථාන ආදියද වෙළදුන්ට තීරුබදු දැයි සියලු කටයුතු තමා ම කළේය. මෙසේ හෙතෙම මහාසත්ත්වයන්ගේ අවවාදයෙහි සිට සියලු ඇතුළත ජනයා ද පිටත ජනයා ද නගරයෙහි ද රටෙහි ද වැසියන්ය. නොයෙක් තැනින් ආ ආගන්තුකයන්ට ඒ ඒ සංග්රහ වස්තුවෙන් සම්බන්ධ කරව. සංග්රහ කෙළේය. සියල්ලන්ට ප්රිය මනාප වීය.
මෑත කාලයෙහි රජු මරණ මඤචකයෙහි හොත් කල්හි ඇමතියෝ විචාළහ. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ ඇවෑමෙන් සේසත කවරෙකුට දෙමුදැයි. දරුවනි, මගේ පුත්රයෝ සියල්ලෝම සේසතට හිමිකරුවෝ වෙති. යමෙක් නුඹලාගේ සිත ගනීද ඔහුටම දෙන්නහුයයි. ඔවුහු ඒ රජු කළුරිය කළ කල්හි ඔහුගේ සිරුරට කළයුතු ගෞරවය කර සත්වන දිනයෙහි එකතු වී රජු විසින් යමෙක් නුඹලාගේ සිත ගන්නේද ඔහුට සේසත ඔසවව් යයි කියන ලදි. මේ සංවර කුමාරයා (අපගේ) සිත ගනී යයි නෑයන් විසින් පිරිවරන ලද්දේ ඔහුට රන්මාලාව ද සේසත ද ඔසවුවාහුය. සංවර මහරජු බෝසතුන්ගේ අවවාදයෙහි සිට දැහැමිව රාජ්යය කරවීය. සෙසු එකුන්සිය කුමාරවරු - අපගේ පියා කළුරිය කළේය. සංවර කුමරුට (ඇමතියෝ) සේසත් ඔසවූහ. ඔහු සියල්ලන්ටම බාල වූයේය. ඔහුට සේසත නොපැමිණේ. සියල්ලන්ගේම වැඩිමහල් වූවහුට ඡත්රය ඔසවමුයි සියල්ලෝම එකතුව අවුත් අපට ඡත්රය හෝ දෙව. යුද්ධ හෝ කරවයි සංවර මහරජුට පණිවුඩ යවා නගරය වැටලූහ. රජ බෝධිසත්ත්වයන්ට ඒ පුවත දන්වා දැන් කුමක් කරමුදැයි විචාළේය. මහරජ ඔබගේ සොහොවුරන් සමග යුද්ධ කිරීමක් නැත. ඔබ පියා සතු ධනය කොටස් සතක් කරවා එකුන්සිය සොහොවුරන්ට යවා මේ තොපගේ පියා සතු කොටස ගනුව. මම තොප සමග යුද නොකරන්නෙමියි හසුන් යවවු යයි කීවේය. ඔහු එසේ කෙළේය. ඉක්බිති ඔහුගේ සියල්ලන්ට වැඩිමහල් වූ උපෝසථ කුමාරයා සෙස්සන් අමතා දරුවනි, රජවරුන් අභිභවනය කරන්නට සමර්ථයෙක් නම් නැත. අපගේ මේ බාල සොහොවුරා සතුරෙක් වී නොසිටී. අපගේ පියා සතු දේ එවා මම තොප සමඟ යුද්ධ නොකරමියි පණිවුඩ එවීය. අපි සියල්ලෝම එක් අවස්ථාවකම ඡත්රය නොඔසවන්නෙමු. එකෙකුටම ඡත්රය ඔසවන්නෙමු. මොහුම රජ වේවා! එව්. ඔහු දැක රජපවුල පිළිගෙන භාරගෙන අපගේ ජනපදයටම යමු යයි කීය. ඉක්බිති ඒ සියළුම කුමාරයෝ නගරය හරවා පිළිමළුන් නොවී නගරයට පිවිසුනාහුය.