9. සුප්පාරක ජාතකය (463)
උමමුජ්ජන්ති නිමුජ්ජන්ති යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ප්‍රඥා පාරමිතාව අරබයාදේශනා කළ සේක. එක් දවසක් සවස් කාලයෙහි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන්නට නික්ම පැමිණීම අපේක්ෂා කරන්නා වූ භික්ෂූහු දම්සභාවෙහි හිඳ ඇවැත්නි, පුදුමයකි. ශාස්තෲන් වහන්සේ මහත්වූ ප්‍රඥා ඇති සේක. පුළුල් වූ ප්‍රඥා ඇති සේක. දිළියෙන ප්‍රඥා ඇති සේක. දිවෙන ප්‍රඥා ඇති සේක. තියුණු ප්‍රඥා ඇති සේක. විනිවිද යන ප්‍රඥා ඇති සේක. ඒ ඒ තන්හි උපාය ඥානයෙන් යුක්ත වූ උන්වහන්සේ පුළුල් වූ බැවින් මහපොළොව මෙන්ද මහමුහුද මෙන් ගැඹුරින්ද පැතිරුණ බැවින් අහස මෙන්ද වූයේ මුළු දඹදිව තලයෙහි නැගුණ ප්‍රශ්න දසබලධාරී බුදුන් ඉක්මවා යන්නට සමත් වූයේ නම් නැත. යම්සේ මහ මුහුදෙහු උපන් රළ ඉවුර ඉක්මවා නොයයිද වෙරළට පැමිණම බිඳේද මෙසේ කවරෙකුවත් නුවණින් බුදුන් නොඉක්මවයි. ශාස්තෲන් වහන්සේගේ පාමුලට පැමිණ බිඳෙයි ම යයි බුදුරදුන්ගේ මහා ප්‍රඥා පාරමිතාව වර්ණනා කළාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් වූ කථාවෙකින් යුක්ත වූවාහු දැයි විමසා මෙනම් වූවෙකිනැයි කී කල්හි මහණෙනි, බුදුරජු නුවණැති වූයේ දැන් පමණක් නොවේ. නොපිරිපුන් ඤාණය ඇති පෙරද නුවණැති වූයේම යයිද අන්ධයෙක් වීද මහමුහුදෙහි ජලය පිළිබඳ හැඳිනීමෙන් මේ මුහුදෙහි මෙනම් වූ මෙනම් වූ රත්න වේයයි දත්තේ යයි කියා අතීත ප්‍රවෘත්තිය නෙහැර පා වදාළ සේක.
අතීතයෙහි භරු රට භරු නම් රජු රාජ්‍යය කරවීය. (එහි) භරු කච්ඡ නම් පටුන් ගමක් වීය. එකල්හි බෝධිසත්ත්ව තෙමේ භරු කච්ඡයෙහි නැව්පතියාගේ පුතු වී උපන්නේය. පැහැපත් වූ රන්වන් වූ ඔහුට සුප්පාරක යයි නම් කළාහුය. ඔහු මහත් පිරිවරින් වැඩෙන්නේ සොළොස් අවුරුදු කාලයෙහිම නැව් මෙහෙයවීමේ ශිල්පයෙහි නිමාවට පැමිණ මෑත කාලයෙහි පියා ඇවෑමෙන් නැව්පතියා වී නැව් මෙහෙයවීමේ කාර්යය කළේය. ඔහු පණ්ඩිතය. නුවණින් සමන්විතය. ඔහු නැගි නැවෙහි විපතක් නම් නැත. මෑත කාලයෙහි ලුණු වතුරෙන් පහර ලද ඔහුගේ දෙඇස් නැසුනි. ඔහු එතැන් පටන් නැව් මෙහෙයවන්නන්ගේ ප්‍රධානියා වී මෙහෙයවීමේ කටයුතු නොකර රජු ඇසුරුකොට ජීවත් වන්නෙමියි. රජු වෙත එළඹියේය. ඉක්බිති රජු ඔහුට මිල නියම කිරීමේ කාර්යයෙහි තැබීය. ඔහු එතැන් පටන් රජුගේ ඇත් රුවන්, අස් රුවන්, මුතු, මැණික් ආදීන් මිල නියම කරයි.
ඉක්බිති එක්දිනක් රජුගේ මඟුල් ඇතා වන්නේ යයි කළුගල් කුලක පැහැ ඇති එක් ඇතෙකු ගෙන ආවාහුය. රජු ඌ දැක පණ්ඩිතයාට දකුවවු යයි කීය. ඉක්බිති හෙතෙම ඔහු සමීපයට ගෙන ගියේය. හෙතෙම අතින් ඌගේ ශරීරය පිරිමැද මොහු මඟුල් ඇතා වීමට සුදුසු නොවේ. මෙතෙම පාදයන්ගෙන් කුරු වූ මූල ප්‍රකෘති ඇත්තෙකි. මව මොහු වදන්නී ඇකයෙන් පිළිගැනීමට නොහැකි වීය. එහෙයින් බිම වැටී පසුපාදයන්හි කුරු වූ ප්‍රකෘති ඇත්තේ වී යයි කීය. ඔවුහු ඇතු ගෙන ආ අයගෙන් විමසූහ. ඔවුහු පණ්ඩිතයා ඇත්තක් කියයි යයි කීවාහුය. රජ ඒ කාරණය අසා සතුටු වී ඔහුට කහවනු අටක් දෙවීය.
නැවත එක්දිනක් මඟුල් අසු වන්නේ යයි එක් අශ්වයෙකු ගෙන ආවාහුය. රජු ඌද පණ්ඩිතයාගේ සමීපයට යැවීය. හෙතෙම අතින් ස්පර්ශ කර මේ අශ්වයා මංගල අශ්වයා වීමට නුසුදුසුය. මොහු උපන් දවසෙහිම මව මළාය. එහෙයින් මව්කිරි නොලබන්නේ මනාව නොවැඩුනේ යයි කීය. ඉක්බිති අශ්වයා ගෙන ආ මිනිස්සුද ඔහුගේ කථාව සත්‍ය යයි කීහ. රජු එයද අසා සතුටු වී කහවනු අටක්ම දෙවීය. ඉක්බිති එක් දවසක මගුල් රිය වන්නේ යයි රථයක් ගෙන ආවේය. රජු එයද ඔහුගේ සමීපයට යැවීය. ඔහු එය අතින් ස්පර්ශ කර මේ රථය සිදුරු සහිත ගසකින් කරන ලදි. එහෙයින් රජුට නුසුදුසු යයි කීවේය. ඔහුගේ ඒ කථාවද සත්‍යයම වීය. රජු එයද අසා කහවනු අටක්ම දෙවීය. ඉක්බිති ඔහුට බොහෝ වටනා වූ උතුම් ලොම්වලින් කළ වස්ත්‍රයක් ගෙන ආවාහුය. එයද ඔහුටම යැවීය. ඔහු එය අතින් පිරිමැද මෙහි මීයන් විසින් සිඳින ලද එක්තැනක් ඇතැයි කීය. පිරිසිදු කරන්නෝ එය දැක රජුට දැන්වූහ. රජු සතුටු වී කහවනු අටක්ම දෙවීය.